පාඨකයා මුල සිට අගටම නොකඩවා බැඳ තබාගැනීමට සමත් ‘බූමාටු’

Share post:

‘බූමාටු’- රෝහිත බ්‍රහ්මචාරී

මෑතදී කියවූ සිංහල නවකතා අතර රෝහිත බ්‍රහ්මචාරීගේ ‘බූමාටු’ නවකතාව විශේෂයෙන් සඳහන් කළ යුතු නිර්මාණයකි. එහි ඇති වැදගත්ම ලක්ෂණයක් වනුයේ කතාව කියවන්නා මුල සිට අගටම නොකඩවා බැඳ තබාගැනීමට ඇති සමත්කමයි.

පරම්පරාගත ගුරුකම් කරනා පොඩි ගුරුගේ චරිතය ඇසුරින් විහිදී යන කතාව යථාර්තවාදය ඉක්මවා යන ආඛ්‍යාන රටාවක් තුළින් ජීවිතයේ ඇති සංකීර්ණත්වය සාකච්ඡාවට බඳුන් කරයි. මිත්‍යා විශ්වාස සහ ඇදහිලි හිසින් ගත් මිනිස් සමාජයක සාම්ප්‍රදායික ගුරුන්නාන්සේ කෙනකුගේ චරිතයක් ලෙස මතුපිටින් පෙනෙන පොඩි ගුරුගේ චරිතය විකාශය වනුයේ ජීවිතය සහ ප්රේකමය මෙන්ම ජීවිත අරමුණ කුමක්ද යන පැණය ගැඹුරින් විමසන්නට ඉඩ විවර කරමිනි. කතාවෙහි සාකච්ඡාවට ගැනෙන අයුරින් පොඩි ගුරු යනු පලාතක් බය කිරීමට සමත් දැවැන්ත පෞරුෂයකි. ඔහු ස්ත්‍රීන් මෙන්ම පිරිමින්ද වශී කරන්නට සහ බිය කරන්නට සමත් දක්ෂතා පල කරන්නෙකි. එක් අතකින් තමා වටා සිටිනා මිනිසුන්ගේ ජීවිත තීරණය කිරීමේ බලයද ඔහු සතුය. ඔහු ගෙවනුයේ දැඩි අභිමානයෙන් දැපුන දිවියකි. එහෙත් සියල්ල උඩු යටිකුරු වනුයේ ඔහුට නියම ලෙස තමන්වම අභිමුඛ වන ස්ථානයේ පටන් ඉදිරියටය. එතැන් පටන් ඔහු හමුවෙහි පැනෙනා වැදගත්ම ප්‍රශ්නය වනුයේ තමන්ගේ ජීවිතයේ අරමුණ කුමක්ද යන්නයි. තමන්ගේම ප්‍රතිරූපය විසින් නගනා ඒ පැණය හමුවේ ඔහුගේ ජීවිතය උඩු යටිකුරුවී යයි.

මිනිසා ස්වභාවයෙන්ම බලය පසුපස හඹා යාම ප්‍රිය කරයි. එසේම බලය අත පත් තැන පටන් ඔහුගේ හැසිරීම වෙනස් ව යයි. බලයෙන් උමතු වන තරමට බලයෙහි වහලකු වන මිනිසා හැසිරෙනුයේ මිනිසාගේ රැකවලා සේ නොව ගහලයා ලෙසිනි. මිනිසුන්ට වෙදකම් කරනා පොඩි ගුරූ ඒ අතරම සිය මන්ත්‍ර ගුරුකම් හරහා ඔවුන්ගේ ජීවිතවල තීරකයා බවට පත්ව ඔවුන්ගේ මානසිකත්වය පාලනය කරයි. එහෙත් ඔහුට පලා යා නොහැකි සන්ධිස්ථානය වන්නේ තමන් කවුද යන තීරණාත්මක පැණයට පිළිතුරු සෙවීමට සිදුවන විටය. ඒ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙයි.

තම බිරිඳ තමන්ට වංචා කල බව දැන කිපෙන පොඩිගුරුගේ සියළු උත්සාහයන් අවසන ව්‍යර්ථ වනුයේ ඔහුට තමන් කවුද යන පැණයට පිළිතුරු සෙවීමට බල කරනා තම ප්‍රතිරූපය සමග වන ගැටුමෙහි පලය ලෙසටය. ඔහු ජීවිතය ගැඹුරින් වටහා ගන්නේ සිය ජීවිතය මාරක අභියෝගයකට මුහුණ දුන් අවස්ථාවෙහිදීය. ඔහු සැබෑ පෙම කුමක්දැයි වටහා ගන්නේ තම බිරිඳ තම සහෝදරයාට පෙම් කළ බව දැනගත් පසුවය. ඔහු සිය ජීවිතයේ පරිණත බව අත් කරගනුයේ තම බිරිඳ කෙරේ වන කෝපය පසෙක ලා ඇගේ පෙම්වතාගේ දිවි රැක දී තම දිවිය ඇපයට තබන්නට සිත හදා ගැනීමෙනි. ඒ ඔහු සැබෑ පෙම අවබෝධ කරගන්නා මොහොතයි. පෙම යනු සතු කරගැනීමම නොව අහිමි කරගැනීමද බව ඔහු වටහා ගන්නේ තමන්ගේ විනාශය අභිමුවෙහිය. එහෙත් ඔහු එයින් නොසැලෙයි. තම ජීවිතය වෙනුවට ඔහු තෝරා ගන්නේ මිනිසත් බවෙහි උසස් ගුණය ය.

රෝහිත ගේ නවකතාව මතුපිට වියමනට සීමා නොවී කියවන්නේ නම් ඒ මිනිස් ජීවිතයේ සියුම් සහ සංකීර්ණ බව කෙතරම්දැයි විමසන්නට බල කෙරෙනා නිර්මාණයක් ලෙස පාඨකයාට හැඟී යනු ඇත්තේය.

චූලානන්ද සමරනායක

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...