පාඨකයා මුල සිට අගටම නොකඩවා බැඳ තබාගැනීමට සමත් ‘බූමාටු’

Share post:

‘බූමාටු’- රෝහිත බ්‍රහ්මචාරී

මෑතදී කියවූ සිංහල නවකතා අතර රෝහිත බ්‍රහ්මචාරීගේ ‘බූමාටු’ නවකතාව විශේෂයෙන් සඳහන් කළ යුතු නිර්මාණයකි. එහි ඇති වැදගත්ම ලක්ෂණයක් වනුයේ කතාව කියවන්නා මුල සිට අගටම නොකඩවා බැඳ තබාගැනීමට ඇති සමත්කමයි.

පරම්පරාගත ගුරුකම් කරනා පොඩි ගුරුගේ චරිතය ඇසුරින් විහිදී යන කතාව යථාර්තවාදය ඉක්මවා යන ආඛ්‍යාන රටාවක් තුළින් ජීවිතයේ ඇති සංකීර්ණත්වය සාකච්ඡාවට බඳුන් කරයි. මිත්‍යා විශ්වාස සහ ඇදහිලි හිසින් ගත් මිනිස් සමාජයක සාම්ප්‍රදායික ගුරුන්නාන්සේ කෙනකුගේ චරිතයක් ලෙස මතුපිටින් පෙනෙන පොඩි ගුරුගේ චරිතය විකාශය වනුයේ ජීවිතය සහ ප්රේකමය මෙන්ම ජීවිත අරමුණ කුමක්ද යන පැණය ගැඹුරින් විමසන්නට ඉඩ විවර කරමිනි. කතාවෙහි සාකච්ඡාවට ගැනෙන අයුරින් පොඩි ගුරු යනු පලාතක් බය කිරීමට සමත් දැවැන්ත පෞරුෂයකි. ඔහු ස්ත්‍රීන් මෙන්ම පිරිමින්ද වශී කරන්නට සහ බිය කරන්නට සමත් දක්ෂතා පල කරන්නෙකි. එක් අතකින් තමා වටා සිටිනා මිනිසුන්ගේ ජීවිත තීරණය කිරීමේ බලයද ඔහු සතුය. ඔහු ගෙවනුයේ දැඩි අභිමානයෙන් දැපුන දිවියකි. එහෙත් සියල්ල උඩු යටිකුරු වනුයේ ඔහුට නියම ලෙස තමන්වම අභිමුඛ වන ස්ථානයේ පටන් ඉදිරියටය. එතැන් පටන් ඔහු හමුවෙහි පැනෙනා වැදගත්ම ප්‍රශ්නය වනුයේ තමන්ගේ ජීවිතයේ අරමුණ කුමක්ද යන්නයි. තමන්ගේම ප්‍රතිරූපය විසින් නගනා ඒ පැණය හමුවේ ඔහුගේ ජීවිතය උඩු යටිකුරුවී යයි.

මිනිසා ස්වභාවයෙන්ම බලය පසුපස හඹා යාම ප්‍රිය කරයි. එසේම බලය අත පත් තැන පටන් ඔහුගේ හැසිරීම වෙනස් ව යයි. බලයෙන් උමතු වන තරමට බලයෙහි වහලකු වන මිනිසා හැසිරෙනුයේ මිනිසාගේ රැකවලා සේ නොව ගහලයා ලෙසිනි. මිනිසුන්ට වෙදකම් කරනා පොඩි ගුරූ ඒ අතරම සිය මන්ත්‍ර ගුරුකම් හරහා ඔවුන්ගේ ජීවිතවල තීරකයා බවට පත්ව ඔවුන්ගේ මානසිකත්වය පාලනය කරයි. එහෙත් ඔහුට පලා යා නොහැකි සන්ධිස්ථානය වන්නේ තමන් කවුද යන තීරණාත්මක පැණයට පිළිතුරු සෙවීමට සිදුවන විටය. ඒ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙයි.

තම බිරිඳ තමන්ට වංචා කල බව දැන කිපෙන පොඩිගුරුගේ සියළු උත්සාහයන් අවසන ව්‍යර්ථ වනුයේ ඔහුට තමන් කවුද යන පැණයට පිළිතුරු සෙවීමට බල කරනා තම ප්‍රතිරූපය සමග වන ගැටුමෙහි පලය ලෙසටය. ඔහු ජීවිතය ගැඹුරින් වටහා ගන්නේ සිය ජීවිතය මාරක අභියෝගයකට මුහුණ දුන් අවස්ථාවෙහිදීය. ඔහු සැබෑ පෙම කුමක්දැයි වටහා ගන්නේ තම බිරිඳ තම සහෝදරයාට පෙම් කළ බව දැනගත් පසුවය. ඔහු සිය ජීවිතයේ පරිණත බව අත් කරගනුයේ තම බිරිඳ කෙරේ වන කෝපය පසෙක ලා ඇගේ පෙම්වතාගේ දිවි රැක දී තම දිවිය ඇපයට තබන්නට සිත හදා ගැනීමෙනි. ඒ ඔහු සැබෑ පෙම අවබෝධ කරගන්නා මොහොතයි. පෙම යනු සතු කරගැනීමම නොව අහිමි කරගැනීමද බව ඔහු වටහා ගන්නේ තමන්ගේ විනාශය අභිමුවෙහිය. එහෙත් ඔහු එයින් නොසැලෙයි. තම ජීවිතය වෙනුවට ඔහු තෝරා ගන්නේ මිනිසත් බවෙහි උසස් ගුණය ය.

රෝහිත ගේ නවකතාව මතුපිට වියමනට සීමා නොවී කියවන්නේ නම් ඒ මිනිස් ජීවිතයේ සියුම් සහ සංකීර්ණ බව කෙතරම්දැයි විමසන්නට බල කෙරෙනා නිර්මාණයක් ලෙස පාඨකයාට හැඟී යනු ඇත්තේය.

චූලානන්ද සමරනායක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...