ළහිරු කරුණාරත්න යනු සිංහල කවිය වෙනුවෙන් දිගු කාලීනව වෙහෙසෙන කවියෙක්

Share post:

‘නොඉම්’ – ළහිරු කරුණාරත්න

කෙටි කවිය යනු සිංහල කවියට අරුමයක් නොවුණද මෑතක සිට කෙටි කවියට අලුත් ආලෝකයක් ලැබී ඇතැයි පැවසිය හැකි ය. මේ හේතුවෙන්ම වචන කිහිපයක් එකතු කර ලියූ කවි බොහෝ සෙයින් දැක ගත හැකි කාලයක් උදා වී ඇත. එහෙත් කෙටි කවිය යනු කවි අතර සජීවීම කවිය යැයි මම දක්වමි. මන්ද කෙටි කවිය ඒ තරමටම සක්‍රීය වන බැවිනි. වරක් කියවා ගැනීම තුළින් පමණක් අනේක වාරයක් විඳිය හැක්කේ කෙටි කවිය බැවිනි. කෙටි කවිය වරෙක නෙල්ලි ගෙඩියක් තරම් රස මවන්නක් විය හැකි ය. තව වරෙක කෙටි කවිය මහා කතාවක් ගිලගත් කෘතියක් වැනි ය. කෙටි කවිය තුළ ඇත්තේ ස්ංකේතාත්මක බවක් ය. රූපකාර්තවත් වීම නිසා ම කෙටි කවිය බරැති ය. කෙටි කවිය ලියන්නා වචන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු ය. කෙටි කවියට අනවශ්‍ය එක් වචනයක් නිසා පමණක් වුව එහි කවි රසය මැකී යා හැකි ය. කවියක් යනු අදහසක් නොව. කවියට නගන ලද අදහසක රස තැවරී තිබිය යුතු ය. එකී රසට බාධාවක් වන කිසිම දෙයක් කෙටි කවිය තුළ නො පැවතිය යුතු ය. කෙටි කවියකට නගන ලද අද්දැකීම දිගු කවියකින් වුව දැක්විය හැකි ය. එවිට එහි විවිධ කවි රසයන් ගැබ් කරමින් විස්තරාත්මකව දක්වනු ඇත. එහෙත් කෙටි කවියක එලෙස රස ජනනය කිරීම සඳහා කරනු ලබන වෑයම් සියල්ල කවිය තුළ ගිල්වා තැබිය යුතු ය. එකී රස හඳුනා ගත හැකි වන්නේ කවිය කියවා හුරුවක් ඇති හොඳ විඳින්නෙකුට ය. ඉන් අදහස් වන්නේ කෙටි කවිය තුළ රස ඇති බවත් එකී රස විඳීම වූ කලී රසවත් වූ දෙයක් බවය. ඒ සඳහා කවියා කියා ඇති දෙය ගැන සෙමෙන් සිතිය යුතු ය. කෙටි කවියක පද සංඛ්‍යාව කෙටි වූ පමණින් එහි විඳීම කෙටි නොවනු ඇත. විටෙක පිටු ගණන් ලියා ඇති කවියකට වඩා විඳීමට දෙයක් කෙටි කවියක තිබිය හැකි ය. ඒ සඳහා කතිවරයා මෙන්ම පාඨකයා යන දෙදෙනාම හොඳ රසවන්තයින් විය යුතු ය.

ළහිරු කරුණාරත්න යනු සිංහල කවිය වෙනුවෙන් දිගු කාලීනව වෙහෙසෙන කවියෙක් ලෙස දැක්විය හැකිය. මීට පෙරෙද ඔහුගේ කවි පොත් දෙකක් ගැන සටහන් ලියූ මට ඔහුගේ කෙටි කවි පොතවන ‘නොයිම්’ මගහැර සිටිය නොහැකි විය. මේ සටහන ‘නොඉම්’ වෙනුවෙනි.
පායා
නොආ සඳකිනි
මේ සා
එළිය විහිදුම (කවිය 1)

ජීවිතය යනු අනපේක්ෂිත සිදු වීම්වල එකතුවක් ලෙස ගත හැකි ය. අප ජීවිතයේ බලාපොරොත්තු වන දේවල් සිදු නොවීම වෙන්ම සිදු වෙතැයි අපේක්ෂා කරන දේවල් වෙන්ත් හේතුවක් මත සිදු වීමද විය හැකි ය. එය ජීවිතයට ඉතා සුලභය. සමහර අවස්ථාවල අපේ ජීවිතයට හයියට පැමිණේවි යැයි බලාපොරොත්තු වන අය පැමිණීම සිදු විය නොහැකි වූවද බලාපොරොත්තු නොවූ පුද්ගලයෙකුගෙන් ජීවිතයට හයියක් ලැබිය හැකි ය. මෙකී කවියෙහි සඳ ප්‍රභල සංකේතයක් ලෙස ගත හැකිය. එය පුද්ගලයෙක්, අවස්ථාවක් ආදි ලෙස ගත හැකි ය. එකී සඳෙන් ලැබෙන ආලෝකයද අරුත් ගණනාවක ගත හැකි ය.

ගොවියාගේ අත්ලත
මුදු බවද
උදලු මිට මත (කවිය 7)

උදලු මිටක් නිරීක්ෂණය කළහොත් එහි ඇති සුමටබව හඳුනා ගත හැකිය. දැඩි සේ සුමුදු දිලිසෙන ලිස්සන සුළු මතුපිටක් සහිත උදලු මිටක් යනු ගොවියෙක් ළඟ දිගු කාලයක් තිබෙන උදලු මිටක් ය. උදලු මිටක පෙර කී ලක්ෂණ වැලි කඩදාසියක් හෝ වෙනයම් ක්‍රමයකින් ලබා ගන්නක් නොව. එය ගොවියාගේ අතට මැදීමෙන් ඔහු එහි වැඩ කිරීමෙන් උපදින්නකි. ගොවියාගේ උදැල්ල සුමට වන් වාරය්ක් පාසා ඔහුගේ අත රළු වීම සිදු වන්නේය කරගැට මත කරගැට එන්නේය. ඒවා කැඩෙන්නේ ය. නැවත කරගැට එන්නේ ය. අතගොරෝසු වන්නේය. මේ ආදි වශයෙන් ඔහු තම දෑත්වල වෙහෙස උපදවමින් වැඩ කිරීම මත පමණක්ම තම උදල්ල සුමට වනු ඇත. මෙහිදි ගොවියාත් උදැල්ලත් ගොවියාගෙ දෑතත් යන සියල්ල සංකේතමය ලෙස ගත හැකි ය. කවිය රූපකාර්තවත් වන්නේ එහෙයිනි.

සුදු කෙස් කළු කර
කුටියෙන් එළියට පැමිණි ඇය
සාලය පසුකර යන’තර
කඩා දැම්මා
දින දසුනේ
තවත් කොළයක් (කවිය)

කවියට නැගීමට උත්සාහ කරන අද්දැකීම වන්නේ වෙනස් කළ නොහැකි ලෙස සිදුවන කාලය ගත වීමත් ඒ සමඟම සිදුවන වයසට යාම සැඟවීමට ගන්නා උත්සාහයත් ය. වයසට යාම සැඟවීමට උත්සාහ ගන්නා ඇය ම කාලය ගත වීමත් වයසට යාමත් පිළිගන්නා අයුරු දින දසුනේ කොළය ඉවත් කිරීම තුළින් හඳුනා ගත හැකි ය. මිනිස් ජීවිතය තුළ යතාර්ථය පිළිගැනීමට අකමැති වීමත් යතාර්ථයට මුහුණ දීමට සිදු වීමත් යන කාරණා දෙකම එකම කවියකින් ගෙන ඒමට ළහිරු උත්සාහ කර ඇත.

අත්ල මඩ ඇති
කෙල්ලක්
දිගු කරයි
සුදු නෙළුමක් (කවිය 16)

සුදු නෙළුම මෙන්ම සුදු නෙළුමක් නෙලා ගැනීමට වෙහෙසෙන්නියකගේ දෑත්වල තැවරෙන මඩවලින්ද අපූරු කතාවක් ගෙන හැර පෑමට කවියා සමත් වී ඇත. යම් අගනා යැයි සම්මත වටිනා යමක් හිමි කර ගැනීමට කොපමණ වෙහෙස විය යුතු ද යන කාරණය මෙන්ම යහපත් වැඩක් කිරීමේදී නොයෙක් අවලාද ආදිය දරාගැනීමට සිදු වීමද කවිය තුළින් නිරූපිත ය. එහෙත් වඩා වැදගත් වන්නේ එසේ අසීරුවෙන් ලබා ගන්නා දෙයක් අනෙකෙකුට ලබා දීමට තරම් පරිත්‍යාගශීලී වීම ය.

මුදු, ලලිත
ඇඟිල්ල මගහැර
සඳ දිහා
බලන්නේ කොහොමද? (කවිය 25)

හඳ පෙන්නුවාම හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලන්න එපා යැයි ආප්තෝපදේශයක් සිංහල සාම්ප්‍රදායික යෙදුම් අතර දැකිය හැකිය. එහෙත් කවියා මේ පවසන්නේ අපි සමහර විට හඳ දිහා බලන්නේ ඇඟිල්ල නිසා වීම ය. වෙනත් අයෙක් අපිට ඒ හඳම පෙන්නුවද බලන්නට සිත් ඇති වන්නේ නැත. ඒ පෙන්නනු ලබන ඇඟිල්ලට අප අකමැති වීමය. ජීවිතයේ බොහෝ තැන් එලෙසය. යා ය්තු මග , කළ යුතු දේවක් ආදි බොහෝ දෑ අපි අපි ම දැන සිටියද වෙනත් බොහෝ අය පෙන්නා දුන්නද අපි නොකටන්නෙමු. එහෙත් සමහර අවස්ථාවල යම් පුද්ගකයෙකුගේ කීමට අපි ඒ වෙනුවෙන් වැඩ කරනු ඇත. සමහර විට එය තමන්ගේ පවුලේ අය වෙන්නට පුළුවන්. ඒ කෙසේ හෝ ඇඟිල්ල මගහැර හඳ දෙස බැලීම කළ නොහැක්කක් බව කවියා දක්වා ඇත.

නොදල්වනු මැනවි එය
මන්ද එතැන් සිට
නිවීම ඇරඹෙන බැවිනි (කවිය 55)

වෙන්වීම් සිදුවන්නේ හමු වීම් නිසාය, ප්‍රතික්ෂේප වීම් සිදු වන්නේ පිළිගැනීම් නිසාය ඒ අයුරින් නිවීම් සිදු වන්නේ දැල්වීම් නිසාය. අපිට ජීවිතයේ වියෝ වීම් දරා ගැනීම අපහසු ය. ඒ නිසා හමුවීම් අවම වන තරමට මානසිකව සැනසීමක් ඇත. බැඳීම් යනු දුකක් බව කවිය තුළින් මනාව නිරූපිතය. නිවී යාමට බියවන අප දැල්වීම ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය ය. මම කවිය විශිෂ්ට කවියක් ලෙස මම විඳිමි.

පළුදු වූ පහනෙහි
නොපළුදු එළියකි ( කවිය 85)

පහනක ආලෝකය සඳහා බලපාන්නේ පහනේ ස්වරුපය නොව. ආලෝකයේ තීව්‍රතාවය ය. පහන හා අලෝකය යන දෙකම රූපකාර්ථවත්ව ගෙන බැලූ කල ජීවිතය තුළ කොයිතරම් සංසිදිධින් හා මේ කවිය ගළපාගත හැකි ද. කවියක ඇති ප්‍රභලත්වය නම් එය ය.

මකුළු දැල් බැඳුණු
බිරිඳගේ පාවහන්
පිරිසිදු කරන සැමියෙකි (කවිය 97)

සීමා මායිම් පැනවුණු සැමියකගේ සිර ගෙයක වසන ගැහැනියක් ගැන අපූරු අයුරින් කවියට නැගීමට කවියා සමත් වී ඇති අයුරු ය. එහෙත් ඔහු විසින්ම පාවහන්වල මකුළු දැල් කැඩීම තුළින් කවිය ඉතා පුළුල්ව තවත් නේක අයුරින් කියවා ගැනීමට කවියා ඉඩහසර එකතුකර දී ඇත.
ඉහත දක්වා ඇත්තේ මා සිත් ගත් තවත් කවි කිහිපයක් අතරින් ඔබට මෙ මොහොතේ විඳීමට සුදුසු යැයි කියා සිතුණ කවි කිහිපයකි. තවත් විශිෂ්ට යැයි කිව හැකි කෙටි කවි කාව්‍ය සංග්‍රහය තුළ දැකිය හැකි වුවත් ඒ සියල්ල මෙහි සටහන් නොකරමි. කවිය වෙනුවෙන් ඉදිරියේදීත් තම උපරිමයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ළහිරු කරුණාරත්න කවියාට පතමි.

ශානක හිත්තැටියගේ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...