මැතිවරණ කොමිසමේ නම නැති වීම ගැන නීතිපති පාර්ශ්වයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් : තීන්දුව ලබාදීම දින නියමයක් නොමැතිව කල් තබයි !

Share post:

වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස මැතිවරණ කොමිසම නම් කර නොතිබීම නිසා සිදු කළ දීර්ඝ විරෝධතා දැක්වීමක් හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සම් 2ක තීන්දුව ලබාදීම දින නියමයක් නොමැතිව කල්තැබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙසේ විභාගයට ගන්නේද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම කල්තබන ලද්දේ ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (09) සලකා බැලූ අවස්ථාවේදී ය. බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු කෙරිණි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය. ඒ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස මැතිවරණ කොමිසම සඳහන් ව නොතිබීම සම්බන්ධයෙනි. ඒ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්වීමේ බලය පැවරී තිබෙන්නේ මැතිවරණ කොමිසමට බවත්, එම කොමිසමේ සාමාජිකයන් සිදුකරන්නේ අදාළ බලය ක්‍රියාවේ යෙදවීම පමණක් බවත් ය. ඒ අනුව මෙහි වගඋත්තරකරුවකු ලෙස කොමිසම නම් කර නොතිබීම බලවත් ඌණතාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ ජාතික ජන බලවේගයේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අවධාරණය කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නැති බවයි. ජනාධිපති නීතිඥවරයා සමග නීතිඥ ශාන්ත ජයවර්ධන මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි අතර, නීතිඥ අස්ථික දේවේන්ද්‍ර පැෆ්රල් ආයතනය වෙනුවෙන් පෙනීසිටියේය.

මෙහිදී මැතිවරණය පැවැත්වීමට බාධාවක් බව පවසන මූල්‍ය ගැටළුව සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා සඳහන් කළේ මෙම කරුණ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් ඉදිරියේ කැඳවිය යුතු බවයි.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම දින නියමයක් නොමැතිව කල්තබන ලදි.

පසුගිය මාර්තු 09දා පැවැත්වීමට නියමිත ව තිබූ පළාත් පාලන මැතිවරණය මේ වන විට දින නියමයක් නොමැතිව කල්දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ඊට හේතුව ලෙස ආණ්ඩුව සඳහන් කරන්නේ මූල්‍ය ගැටළුවයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව වෙත පවරා ඇති පරමාධිපත්‍ය බලය උරගා බැලීම අත්හිටුවා, ආණ්ඩුව අනවශ්‍ය කටයුතු සඳහා ජනතා මුදල් විශාල වශයෙන් වැයකිරීම දැඩි විවේචනයට ලක්වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...