කවි පොත්, සිංහල නවකතා සහ කෙටිකතා කියවීම සෑහෙන මගහැරෙමින් තියෙන කාලෙක – දින කිහිපයකට පෙර තැපෑලෙන් මවෙත ආ නිරෝෂ ප්‍රනාන්දුගේ “නොපාගා එන්න පරමල්” මගේ අනෙක් කියවීම් සටහන් අතරේ තබාගෙන මේ දිනවල දැඩි රස්නය නිසා දිවා කල මා පොතපත කියවන මගේ පුස්තකාලය පසෙක ඇති පුංචි ඕලු විල අසලට ආවෙමි. නොපාගා එන්න පරමල් තැනින් තැන කියවද්දී ඒ කවි ආරෙහිමලා ගිණිය හැකි අපේ පරම්පරාවේ සියුම් කවියෙකු වන ළහිරු කරුණාරත්නගේ “ගොළු වෙණ තුරුලු කරගෙන” කාව්‍ය සංග්‍රහය යළිත් අතට ගන්නට මට සිත් විය. කරුණාරත්නගේ කවි පොත මා මෑතක කියවූ අතළොස්සක් සිංහල කවි පොත් අතරින් මා වඩාත් කැමති කවි පොතයි. ඒ ගැන සති කිහිපයකට පෙර මගේ සටහන් පොතක තරමක් දිග සටහනක් එහෙන් මෙහෙන් කුරුටු ගා තිබුණත් එය එකළාසයක් කරන්නට සිතක් පහළ නොවිණි. ඒ ඒ කවි පොතෙහි වරදක් නිසා නොව ෆෙස්බුක් සැරිසැරිය තුළ ගලායන අදහස් අතරේ සාහිත්‍ය මොකටදැයි යන ජේආරියානු ප්‍රශ්නය වෙන වෙන කටහඬවල්වලින් නිතර නිතර මට ඇසෙන්නට පටන්ගෙන ඇති නිසාය. මා මේ සටහන ලියන්නේ නොපාගා එන්න පරමල් හෝ ගොළු වෙණ තුරුලු කරගෙන යන කවි පොත් ගැන නොව මා තුළම ලියලන සාහිත්‍ය පිළිබඳ විරෝධාභාෂය ගැන වචනයක් දෙකක් කියන්නට පමණි.
එය තරමක් දුරට අර නතාෂා එදිරිසූරිය නමැති ප්‍රාසාංගික ප්‍රහසන-නිරූපිකාවගේ එක වීඩියෝවක එන ස්ත්‍රිය හා බ්‍රා එක ගැන ඇය කියන විහිළුව සිහිකරන්නකි. ඇය එම වීඩියෝවේ පැරඩොක්සය ගැන අතිසරල විග්‍රහයක් කරමින් කාන්තාව හා බ්‍රා එක අතර ඇති පැරඩොක්සයක් ගැන කියයි. ඇගේ ඒ කතාව ඇත්ත බව පිළිගනිමින්ම සාහිත්‍ය සහ අපේ මිතුරු සමාජය අතර ඇති ස්ත්‍රි-බ්‍රා සාහිත්යික පැරඩොක්සය ගැන මේ ටික කියන්නට ඉඩ දෙන්න.
සාහිත්‍ය මොකටද කියා සිතෙන සිතුවිල්ල මේ දිනවල සිතෙන්නේ ජේආරියානු “කෑම” සංසිද්ධියක් මුල් කරගෙන නෙමෙයි. එනම් සාහිත්‍යයෙහි ඇති ප්‍රයෝජ්‍යතාවක් නැතැයි යන අර්ථ කේන්ද්‍රයක් වටා නොවේ. කෙටියෙන්ම කියන්නේ නම් සමකාලීන සමාජයෙහි සංකීර්ණ ගතිකතා සාහිත්යික නූතන අදහස් සමග සියුම්ව පරීක්ෂා කරමින් ඉතා ප්‍රගතිශීලී ලෙස සමාජය විග්‍රහ කෙරෙමින් තිබුණු සමයක, ඒ අයගේ සාහිත්යික ගැඹුර අතරින්ම සමකාලීන දේශපාලනික භාවිතයේ ඇති නොගැඹුරු- අති සරල- පසුගාමී භාවිතයයි. මා මේ කියන දෙය වැඩිදුර පැහැදිලි කරන්නට තරම් දෙයක් නැත. මේ ෆේස්බුක් අවකාශයේ උඩට පහළට යාමම පමණක් ප්‍රමාණවත්ය. තත් ලෝකය ඉගැඹුරු ලෙස විනිවිදිමින් විශ්වීය මිනිස් පැවැත්ම පිළිබඳ දියුණු අදහස් පළ කළ අයම – ඒවා මේ පොළොවෙහි වැපිරූ අයගේම සාහිත්යික භාවිතයට පරස්පර අදහස් ඔවුන්ටම උදහස් පාන්නක් මෙන් “අදහස් ප්‍රකාශනයේ නිදහස සහ නොනිදහස” අතර පැල්ම මැදම මේ දැනුත් ඔබට කියවන්නට පුළුවන් වීමයි. මීට අවුරුදු ගණනාවකට පෙර (මට අවුරුද්ද හරියටම මතක නැත. එකල අපි සරසවි සිසුවෝ වීමු) රාත්‍රියක ක්‍රිෂාන් රාජපක්ෂ “ලංකාවේ පිළිම” ඉවරයි කියා කෑගසමින් සාහිත්යික පිළිරූ කඩා බිඳ වැටී ඇති සැටි අපූරු ලෙස කියාපෑවේය. ඒ බෘහස්පති නම් සාහිත්‍ය කලා ඇකඩෙමිය පටන්ගත් දිනයයි. එදා සභාව මහාචාර්ය සුචරිත ගම්ලත්ද දේශනයක් පැවැත් වූ එකකි. රත්න ශ්‍රීද එදා ක්‍රිෂාන් රාජපක්ෂ බෘහස්පති සභාවේ නිමාවේ පැවැති රෑ සාදයේ ක්‍රිෂාන් කෑගසන අතරතුර සිටියේය. ඒ සමග තවත් සාහිත්යික දැවැන්තයෝ කිහිපදෙනෙක්ම අප සමග සිටියහ. මට මේ සටහන ලියන අතරේ ක්‍රිෂාන්ගේ “පිළිම ඉවරයි” කතාවද සිහි විය. ඔහුගේ කතාව ඇත්ත බවද මම අදද පිලිගනිමි. එවැනි පිළිම ඉදි කිරීම හෝ සාහිත්යික දෙවිවරු ඇදහීම ගැන කවදත් මට ඇත්තේ විරෝධයකි. ඒවා පිළිම නොව පිළිල සේ සාහිත්‍ය සම්බන්ධයෙන්ම ක්‍රියා කරන සැටි අවශ්‍ය නම් දීර්ඝ ලෙස කතා කළ හැකිය. එහෙත් මේ ඒ ගැන කතාවක් නොවේ. ඒක පුද්ගල ලෙස දැවැන්ත සාහිත්‍ය චරිත ඔවුන්ගේ සාහිත්යික ප්‍රගතිශීලිභාවයම කඩාබිඳ දමමින් ඇදවැටෙන සැටි ගැන නිරීක්ෂණයක් නොවේ මට මෙහි ලියන්නට අවශ්‍ය වූයේ. කාලයක් තිස්සේ සාහිත්‍ය ඇසුරේ ඉඳිමින් ඉතා දියුණු සාහිත්යික සම්ප්‍රදානයන් අපට තිළිණ කරමින් සමහරු සංස්කෘතික ප්‍රාග්ධනය උපයාගෙන දැවැන්තයන් වී ඒ සාහිත්යික සම්ප්‍රදානයන්ටම ගරහමින් – ඒ අදහස්ම බිල්ලට දෙමින් – සාහිත්‍යයෙන් බැස ගොස් “ප්‍රාග්ධනවත්” චරිත බවට පත්වනු අප අත්දැක ඇත. එදා ක්‍රිෂාන්ගේ විරෝධය එල්ල වූයේ මේ චරිත පිළිරූ කඩාවැටීමේ ඛේදය ගැනය. මම දැන් ඔහුගේ කියමන් සිහි කරමින් මේ ටික ලීවේ සාහිත්‍ය මොකටදැයි යන ප්‍රශ්නය මා තුළ මේ දිනවල ලියලන්නේ මේ පිළිරූ බිඳවැටීම නිසා නොවන බව කියන්නටය. මා සිතන්නේ දැන් තත්ත්වය ඊට වඩා සෑහෙන සංකීර්ණ වී ඇති බවයි.
මා මෙතැනදී කියන සාහිත්යික නූතනත්වය හෝ සාහිත්යික ප්‍රගතිශීභාවය විස්තර කරන්නට යාම මේ සටහන සෑහෙන දික්ගැස්සෙන වැඩකි. සර්වභෞමික මනුෂ්‍යයත්වයක් සමාජය වෙනුවෙන් පරිකල්පනය කරමින් අදහස් පළ කළ අයම ඊට පරස්පරව යමින් වර්ගවාදී, ග්‍රෝත්‍රික ලක්ෂණ ප්‍රකට කරමින් හඬ තලනු පෙන්නට තිබීම එම තත්ත්වය පැනෙන සැටි ගැන කෙටියෙන් කිව හැකි එක විදියකි. මෙවැනි ගෝසතරවාදී පරස්පර අදහස් එක්වරම පැනනගින අමුතු මනුෂ්‍යත්වයේ ෆේස්බුක් තර්කණයක් දැන් දැන් පෙනෙන්නට තිබේ. මේ සටහන ලියන අතරෙත් පෙනෙන කළණ ගුණසේකර වැන්නෙකුගේ අදහස් භාවිතයත් ආසන්න උදාහරණයක් සේ ගිණිය හැකිය. එවැනි නිදසුන්වලින් මේ ෆේස්බුක් අහස පිරී ඇති බව මේ පසළොස්වක සඳ එළියේ හොඳින් පෙනේ. සාහිත්‍ය මොකටදැයි කියන කියුමත් මා මෙහි කියන්නේ රූපක වැකියක් ලෙස මිස සාහිත්‍යකරුවෝ ගැන ඌනිත කියවීමකට නොවේ.
කෙසේවෙතත් නොපාගා එන්න පරමල් කියවන විට යළි මා තුළ ළහිරු කරුණාරත්නගේ කවිය ගැන කැරළි ගසන්නට පටන්ගත් අදහස් යළි ලියන්නට පටන්ගත යුතුය. ගොළු වෙණ තුරුළු කරගෙන කවිය ලුහුබඳින්නට මට මේ සාහිත්යික නුරුස්නාව මැද වුවත් යළි යළිත් සිත් වෙයි. මේ විරෝධාභාෂය නතාෂාගේ විහිළු කතාවක එන ස්ත්‍රී-බ්‍රා විරෝභාෂය හා සමකිරීම ගැන සමාවෙන්න. මේ පින්තූරවල ඇත්තේ මේ දිනවල මා කියවන්නට පැමිණෙන මගේ පුස්තකාලයට යාබද ඉඩහසරකි.