රාජ්‍ය සේවය යනු ලාංකීය සමාජය තුළ වඩාත් කතාබහට ලක්වෙමින් අවමානයට පත්වෙමින්, දිනෙන් දින මඩගොහොරුවක් තුළ ගිලෙමින් පවතින්නක් යයි දැනුම් දෙන්නකි. එහි කුමන තරාතිරමක වුව සිටින්නෙකු එකී මඩ ගොහොරුවෙන් ඉහළට නැගී නෙළුමක් සේ පිපෙන්නට උත්සාහ කරන්නෙ නම්, ඒ වෙනුවෙන් අවංකව උත්සාහ දරන්නේ නම් එය බොහෝදුරට සැබෑ නොවන සිහිනයක් වැනිය. ඒ පිපෙන්නට ඉඩ කෙසේ වුව, නැවත නැවතත් මඩ ගොහොරුව තුළටම ඇදගන්නට වෑයම් කරන්නවුන් බොහොමයක් සිටින නිසාය.
පෝලිමක බොහෝ වේලාවක් සිටින්නට සිදුවූ හෙයින්, දින ගණනාවක් කන්තෝරුවක රස්තියාදු වන්නට සිදුවූයෙන් අකාර්යක්ෂම සේවය විවේචනය කරන්නට පෙළඹෙන සාමාන්‍ය ජනතාව නොදන්නා විශාල වශයෙන් සිදුවන අක්‍රමිකතා, දූෂණ හේතු කොටගෙන සිදුවන්නාවූ හානිය කොතරම්ද? එවන් ජාත්‍යන්තරව පවා සම්බන්ධකම් ඇති ගනුදෙනු අතර අල්ලසට, දූෂණයට හසුව, අක්‍රමිකතා මැද අවංකත්වය වෙනුවෙන් සටන් කරන්නට සිදුවන ,හෘද ශාක්ෂියට අවනතව ජීවත් වීම දුෂ්කර වන, නීතිගරුක බව තවදුරටත් රකින්නට සිතන නිළධාරියෙකුට එය කෙතරම් අපහසු කාර්‍යයක් වන්නේද යන්න ඔහු විසින්ම ඉදිරිපත් කරන කතාවක කියවාගන්නට ඉඩ සැලසේ. ඒ පහනක අඳුර නම් කෘතිය තුළ කියවෙන්නාවූ සමාජ විවරණයයි.
“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යන ආදර්ශයක පිහිටා කටයුතු කිරීම පමණක් තවදුරටත් ජීවත් වීම පහසු කරවන්නක් නොවෙන සමාජයක දැනුම විසින්ම මුවහත් තැබුණු චරිතයක් කියවීමට හමුවන මෙහි විශේෂත්වය වනුයේද ඔහුගේ ශාස්ත්‍රීය දැනුම හා ඒ පිළිබඳව ඇති නොසන්සිඳෙන පිපාසාව බව මගේ හැඟීමයි. එයම ප්‍රයෝජනයට ගන්නා, එයම ඇතැම් විටෙක ආයුධයක් කොටගන්නා ප්‍රතිවාදී චරිතයද දුෂ්ටත්වය පමණක් නිරූපණය කරන්නක් නොවී පාඨක උනන්දුව වඩවාලන, ආකර්ෂණය හිමිකර ගන්නකි. පුෂ්පම් සෞන්ද්‍රනායගම්…
ඔහුගේ චරිතය විස්තර කරන්නට ඇතැම් විටෙක ඕලන්දයේ ටියුලිප් උන්මාදය නම් වූ ඓතිහාසික සිදුවීම පවා කරළියට ගෙන එයි. එය සූදුවක් ලෙස හැඳින්වීම කොතරම් උචිතද එහි අන්තුවෙකු ලෙස පුෂ්පම් අර්ථ දැක්වීම කොතරම් ගැළපෙන්නේද යන්න තීරණය කිරීම කියවන්නා සතුය. එසේම ඔහු සහමුලින්ම නරක නම් වූ පැත්තේ තබන්නට නොහැකි වන්නේ කතා නායකයා ඔහු සමඟ සතර අපායේ මෙන්ම මෝක්ෂයේද සැරි සරන්නට සූදානම් නිසාය. ඔහුගේ වර්ජිල් ලෙස පුෂ්පම් තෝරාගන්නා නිසාය.
“ඔබ කැමතිම රැකියාව ඔබ තෝරා ගත හොත් ජීවිතය පුරා එක ම දවසක්වත් ඔබ වැඩ කරන්නේ නැත.” (පිටුව 61) එය ලංකාව තුළ කොතරම් වලංගු වන්නේද යන්න වටහාගැනීමට උදාහරණ අවශ්‍ය වන්නේ නැති බව මගෙ හැඟීමයි. ඔබ කැමතිම රැකියාව වුවද නීරස, ආතතිය වඩ වඩා ඇති කරන්නක් බවට පත් කිරීමට ලාංකීය සමාජයට ඇත්තේ නොමඳ හැකියාවකි. එය කෙමෙන් කෙමෙන් වර්ධනය වූ සමාජ, ආර්ථික විපර්යාසයක ප්‍රතිඵලයක් බවත් එයට වගකිවයුතු වන්නේ තමන් සියළු දෙනා බවත් තේරුම් ගත යුත්තේ පාඨකයායි.
පිටු දෙසිය ගණනක් සමාජ හා ආර්ථික ව්‍යසනයක සියළු නිරූපණයන් වෙත ඉඩක් ලබාදෙන්නට තරම් ප්‍රමාණවත් නොවේ. එය දීර්ඝ වශයෙන් සාකච්ඡා විය යුතු, අධ්‍යයනය කළ යුතු, පිළියම් සෙවිය යුතු දෙයකි. එයින් අත්ලට ගත් සුඟක් විවරණය කරන නමුදු එකී පිටු ගණන තුළ ලේඛකයා සතු දැනුම සහ එය සොයායන පිපාසයද බහා තබා ඇත. එය පාඨකයා වෙත කරන සියුම් වූ ආරාධනයක් වැන්නකි. “පහනක අඳුර” තුළ කියවන්නා වෙනුවෙන් ආලෝකය දැල්වී ඇත. එය සොයාගැනීම ඔබ සතුය.