සසද සසදා සූම්ව දකින්න, වැන්ගෝ

Share post:

Van Gogh in Sri Lanka ගැන දැනුනු හැඟුණු දේ කෙටියෙන් | [කලා විචාරයක් නොවේ]

  • වැන්ගෝට ආරෝපණය කරලා තියෙන දේවත්වය පැත්තකට කරලා, ඔහු මනුස්සයෙක් ලෙස අරගෙන, පුද්ගල කැරිස්මාවෙන් මොහොතකට මුදවලා, චිත්‍ර කියවීමට ඔළුව හදාගැනීම මේ ප්‍රදර්ශනයට පයතියද්දි ම තිබුණු පළවෙනි අභියෝගය.
  • මම වැන්ගෝ හඹායන්නෙක් හෝ ඔහුගේ චිත්‍ර ප්‍රාමාණිකව ගැඹුරින් කියැවුව කෙනෙක් හෝ නෙමේ. ඔහුගේ තෝරගත්ත චිත්‍ර කිහිපයකට හැර, එහෙම ආසාවක් දැනිලත් නැහැ. නමුත්, මේ ප්‍රදර්ශනයට ගියාට පස්සෙ ඒකෙ පොඩි වෙනසක් වුණ බව පිළිගන්න ඕනෙ.
  • පොදුවේ සැලකුවොත්, ඔහුගේ චිත්‍රවල විකාශන අවස්ථා දකින්න ලැබෙනවා මේ ප්‍රදර්ශනයේ චිත්‍රවල. දළ සටහන් වගේ චිත්‍ර, අවර්ණිත චිත්‍ර, Masterpiece චිත්‍ර, Masterpiece එක වෙන්න කලින් ඒ මට්ටමට එන්න තැත් කළ චිත්‍ර, අත්හදා බැලීම්.

සූම්ව දකින්න –

  • වැන්ගෝගේ චිත්‍ර අන්තර්ජාලයෙන් බාගෙන බැලුවත් නොපෙනෙන පොඩි පොඩි details මෙතනදි බලන්න පුලුවන්. ප්‍රධාන චිත්‍රයක, අස්සෙ මුල්ලෙ පොඩියට නොපෙනෙන තරමට ඇඳලා තියෙන පුද්ගල රූප, ස්වාභාවික වස්තූන් උදාහරණ. හරියට, ගහේ පාටට ම ඇඟේ පාට මාරුකරන සත්තු වගේ, වැන්ගෝගෙ චිත්‍රවල තියෙන වර්ණ එක්ක ඒ පාට ම ගත්ත සමහර පොඩි රූප සහ විස්තර වෙන්කරල අඳුරගන්න අමාරුයි. මෙතනදි ඒ අමාරුව දැනෙන්නෙ නෑ. සූම් කළා වගේ.
  • චිත්‍රවල පින්සල් පාරවල් ඉතා ම පැහැදිලිව පෙනෙන තරම්. වර්ණ මිශ්‍ර කිරීම්, රේඛා, රළු – මෘදු පින්සල් පහරවල් ආදිය දකින්න පුලුවන් සූම් කළා වගේ. වැන්ගෝගේ ඔරිජිනල් චිත්‍රය හැබැහින් දැක්කා වගෙ.

සසද සසදා දකින්න –

  • මේකෙන් අදහස් කළේ, චිත්‍ර ප්‍රදර්ශනය කරලා තියෙන විදිය නිසා සන්සන්දනය කරන්න පහසුයි. ගැලරියෙ චිත්‍ර එල්ලලා තියෙන්නෙ, කොටස් දෙකක් විදියට. මැදින් ඉඩ තියෙන අර්ධ සෘජුකෝණාස්‍ර දෙකක් වගේ.
  • වැන්ගෝ විසූ කාලය සහ අපි වෙසෙන කාලය ගැන ආයෙ හිතන්න හොඳ තැනක් මේ. ගොවි ජනතාවගේ ජීවිත, ඒකාලෙ චිත්‍ර ශිල්පියෙක්ගේ ඔළුව වැඩකළ හැටි වගේ ම, මේ ප්‍රදර්ශනය බලන්න එන අයව නිරීක්ෂණය කිරීම් ගැන වුණත් චිත්‍රයෙ ශිල්ප ලක්ෂණවලින් ටිකක් බැහැරව අවට අනෙක් දේවල් එක්ක හිතන්න හිතෙන වෙලාවක් එනවා මෙතන ඉද්දි. ඒකාලය සමඟ මේකාලය සසදන්න ලැබෙන චිත්‍ර මෙතන තියෙනවා.
  • වැන්ගෝගේ චිත්‍රවල, මිනිස් මුහුණුවල භාව ලක්ෂණ, ඇහි බැමක උස් පහත්වීමකින් සෝක ප්‍රකාශ කරන අවස්ථා, සමානව සමාන්තරව මුහුණේ ලක්ෂණ නොඇඳීම එනම්, එක ඇහැක් තියෙන මට්ටමට වඩා පහළට අනෙක් ඇහැ ඇඳීම (හැම චිත්‍රයෙම නෙමෙයි,පිකාසෝගේත් මේ ලකුණ තියෙනවා) මේවා in details ඇඳීමේ හැකියාව, වැන්ගෝ ඒ ඒ අවදිවල ඇන්ද චිත්‍ර, එනම් ගැලරියෙ තියෙන ඒ ආකාරයේ අනෙක් චිත්‍ර එක්ක සසඳමින් බලන්න ලැබෙනවා.
  • මීට අමතරව, ඇතුළුවෙන දොරටුවෙ පියන් දෙක, මහගිරිදඹේ වගේ ආකාසෙට දිවෙන Sky Gallery යේ නොනිමෙන පඩිපෙළ, ප්‍රදර්ශනයට පිවිසෙන තැන තියෙන දිය පිරුණු මල් බඳුන් සහ දාහය උනන රතු වර්ණිත බිත්තිය(දයලෙක්තිකයක් වගේ), වුණත් කියවගන්න පුලුවන්. ගාෂියා මාකේස් සහ ගුණදාස අමරසේකර සමඟ වැන්ගෝ කියවීම් එක්ක Sky Gallery යට ගිය දවස මතක හිටින දවසක් කළා.

මේ අත්දැකීම ලබාදෙන්න දායකවුණු මෙහි බර දැරූ සියල්ලන්ට ස්තූතියි.

ප.ලි | පහතින් අමුණා තියෙන්නෙ වැන්ගෝගේ මං කැමති චිත්‍රවලට අලුතෙන් එකතුවුණු චිත්‍ර කිහිපය. කහ පැහැ චිත්‍රය හැර සෙසු චිත්‍රවල ජායාරූප ලබාගත්තෙ ප්‍රගීත් රත්නායකගේ මුහුණුපොතෙන්.
කහ පැහැති චිත්‍රය, ලියෝ තෝල්ස්තෝයි පොඩි ළමයින්ට ලිව්ව කතා තියෙන පොතේ පැන්සල් චිත්‍රයක් මතක් කරනවා සහ අපේ චූටි මාමාව මතක් කරවනවා මොකක්දෝ හේතුවකට. තාම මං ඒ හේතුව හිතනවා.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...