අපේ කුරුඳු – හෙට දවස

Share post:

ලෝක කුරුඳු වෙළඳපොළ පරිමාණය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 760 කි. එයින් 35% ක ප්‍රමාණයක් සපිරෙන්නේ “සැබෑ කුරුඳු -True Cinnamon” නොහොත් “ලංකා කුරුඳු -Ceylon cinnamon” ලෙසින් ලොව ජනප්‍රියව පවත්නා ලාංකීය කුරුඳු නිෂ්පාදනයෙනි. ඉතිරි 65% සපිරෙන්නේ මූලික වශයෙන්ම ඉන්දුනීසියානු Korintje, චීනය ප්‍රමුඛ නිෂ්පාදනයක් වන Cassia සහ Sigon කුරුඳු වලිනි.

ලංකා කුරුඳු එහි පවතින සුවිශේෂී සුමුදු ගුණය නිසාම ඇත්තෙන්ම වසර සිය ගණනක් කිසිදු තරගකරුවකු නොමැති වෙලඳපොලක් අත්කරගත් නිෂ්පාදනයකි. අප වැනි රටකට තරගකාරී වෙළඳපොළ සමග ගැටීම ලෝක මට්ටමේදී ඉතා අපහසු කාර්යයකි. මූලික වශයෙන්ම ශ්‍රම වියදම අධික වීම, මහා පරිමාණ නිෂ්පාදනයන්ට යොමුවීම හරහා ලාභ ලැබීමට ඇති හැකියාවේ අවමකම ආදිය ඊට හේතු වේ. ශ්‍රම වියදම අධික වන්නේ රටේ මූලික අවශ්‍යතා තෘප්ත කරගැනීම උදෙසා වන වියදම අධික නිසා මිස ලංකාවේ කම්කරුවන් වැඩි පඩි ගෙන සුඛිත මුදිත ජීවිත ගෙවන නිසා නොවේ. එහෙයින් අපට ඒකාධිකාරය රඳවාගතහැකි නිෂ්පාදන කෙරෙහි අපේ සුවිශේෂී අවධානය යොමු විය යුතුය.

අපේ ප්‍රමුඛම කුරුඳු ගැනුම්කරුවන් වන්නේ මෙක්සිකෝව සහ උතුරු අමෙරිකාවයි. ඊට අමතරව තුර්කිය, මැදපෙරදිග සහ යුරෝපීය රටවල් කිහිපයක්ද True cinnamon පාරිභෝගිකයෝ වෙති. ඔවුන් අපෙන් මිලදීගන්නේ සල්ෆර් ප්‍රතිකාරය කළ සහ නොකළ කුරුදු පොතු වශයෙනි. අපෙන් අගය එකතු කළ නිශ්පාදන මිළදීගන්නට ඔවුන් එතරම් රුචියක් නොදක්වන්නේ අප පිළිබඳ විශ්වාසය හීන වී ඇති බැවිනි. ආහාර, ඖෂධ, විලවුන්, ශරීර ශීතහාරක නිශ්පාදන ආදී විශාල පරාසයක අගය එකතුකල නිෂ්පාදන රැසක් සඳහා ඔවුහු කුරුඳු යොදාගනිති.

වසර 2025 දක්වා සිදුකර ඇති ලෝක වෙළඳපොළ බහිර්නිවේශනයන් අනුව අපේ කුරුඳු සැපයුම ප්‍රමාණාත්මකව නොවෙනස් වුවද ඉන්දුනීසියානු සහ චීන කුරුඳු ක්‍රම ක්‍රමයෙන් අපේ වෙළඳපොළ ඩැහැගනිමින් සිටී. එයිනුත් Cassia කුරුඳු මේ වනවිට සීඝ්‍ර වෙළඳපොළ වර්ධනයක් පෙන්නුම් කරයි. ඔවුනට සමස්ත වෙළඳපොළ ආක්‍රමණය සඳහා ඇති එකම බාධාව වන්නේ අක්මාව ආශ්‍රිත පිළිකා සහ තවත් සංකූලතා තත්වයන් ඇතිකිරීමෙහි සමත් Coumarin සංඝටකය Cassia ප්‍රමුඛ අනෙකුත් කුරුඳු ප්‍රභේදයන්හි අධිකව අන්තර්ගතවනමුත් ලංකා කුරුඳුවල එය අවම මට්ටමකින් පවතින බව වෛද්‍යවිද්‍යානුකූලව තහවුරු වීමයි. එහෙයින් මේ වනතෙක් අපට ලෝක වෙලඳපොළෙහි ඒකාධිකාරයක් හිමිව පවතී. එවන් අවස්ථාවක් වෙනත් කිසිවකුටත් මෙතෙක් කල් හිමිව තුබුණේ නැත.

එහෙත් අලුත් තත්වය වෙනස් ය. මැඩගස්කරය, සීෂෙල්ස් දූපත් ඇතුළු තවත් රටවල් කිහිපයක් මේ වනවිට “සැබෑ කුරුඳු” නිෂ්පාදනයට අවතීර්ණවීමට උත්සාහ කරමින් සිටිති. ලංකා කුරුඳු ඇටවලින් ඉපැද්දවූ වගාවන්ගෙන් “සැබෑ කුරුඳු” නිෂ්පාදනය සඳහා ලංකාවෙන්ම කුරුඳු තලන්නන් රැගෙන ගොස් පරීක්ෂණ පැවැත්වීමට ඔවුහු සමත්ව සිටිති. ඉදිරියට අපේ ඒකාධිකාරය ගිලිහෙන්නට ඇත්තේ ඉතා විශාල ඉඩකඩකි. උපායමාර්ගිකව කල්පනා කරන, ශක්තිමත් රජයන් අපට තුබුණානම් මේ මොහොතේ ඒ රටවල කුරුදු නිෂ්පාදනයන් වෙනුවෙන් අපේ ආයෝජකයින්ට ඉඩ ප්‍රස්ථා ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කරන්නට අපට හැකියාව ලැබෙන හොඳම අවස්ථාව මේකය. එහෙත් අපි උඩ බලාගෙන සිටිමු.

එපමණක් නොව, එබදු තත්වයකදී වෙළඳපොළෙහි බිංදුවටම ඇදවැටීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් අපි මේ වනවිට සපුරාගෙන ඇත්තෙමු. කුරුඳු තැලීම මේවනවිට මාෆියා කර්මාන්තයක් තත්වයට වැටී ඇත. තත්වයෙන් උසස් කුරුඳු සැපයීම වෙනුවට කුඩා ලාභය උදෙසා පාරිභෝගිකයින් රැවටීමේ අජූත මානසිකත්වය එහි ඔඩු දුවා ඇත. නිල් පට්ටා එකතු කිරීම, යකඩ ඇණ ආදිය යොදා බර වැඩිකිරීමට උත්සාහ කිරීම ආදිය මූලික ක්‍රියාවලියේදී සිදුකිරීම නිසා කුරුඳුවල තත්වය පහල වැටේ. ද්විතීයික සහ පැසුරුම් ක්‍රියාවලියේදී මේවා හසු නොවුණහොත් පාරිභෝගිකයාගේ ප්‍රතික්ෂේපකිරීමට අනිවාර්යයෙන්ම ලක්වේ. කුරුඳු වගාකරුවා පසුගිය කාලයේ ආණ්ඩු නැටූ පොහොර විගඩම් මැද අන්ත අසරණ තත්වයකට පත්වූ අතර කුරුඳු තැලීමේ මාෆියාවටද මුහුණදෙන්නට ඔහුට සිදුවේ. කුරුඳු තැලීමේ ක්‍රියාවලිය මේ වනතෙක් කිසිදු කාර්යක්ෂමතා සංවර්ධනයකට ලක් වී නැත. සාම්ප්‍රදායික අත් උපකරණ කිහිපයට අමතරව මීට වසර දෙක තුනකට පෙර කිසිවෙකු විසින් හදුන්වාදුන් පොතු බුරුල්කරන කුඩා යන්ත්‍රය හැරෙන්නට එය තවමත් සියවස් ගණනක් පුරා අලුත් නොවූ ක්‍රියාදාමයකි. මේ ක්‍රියාදාමය නිසා අපේ කුරුඳු අනවශ්‍ය තරම් අධික මිලකින් යුතුවීම අපේ කුරුඳු වෙළඳපොළ ප්‍රසාරණය නොවීමට එක් මූලික හේතුවකි. Alba වැනි මිලාධික කුරුඳු නිපදවීම වෙනුවෙන් මේ ක්‍රියාවලිය රැකගන්නා අතර විශාල විභවයක් සහිත මධ්‍ය මිල කාණ්ඩයේ නව කුරුඳු වෙළඳපොළ අවස්ථාව වෙනුවෙන් නව කාර්යක්ෂම ක්‍රියාමාර්ගයන් සොයාගැනීම අත්‍යවශ්‍යය.
කුරුඳු අපනයනයත් මේ වනවිට සීමිත අපනයන කරුවන් පිරිසක් අත පවතින මාෆියාවකි. එහි භයානකම තත්වය වන්නේ මුදල් විශුද්ධිකරණයේ අයථා මාර්ගයක් ලෙසට මෙම ව්‍යාපාරය යොදාගන්නා බවටද සාක්ෂි පැවතීමයි. එයින් අපේ කුරුඳු ලෝක වෙළඳපොළේ ප්‍රතික්ෂෙප වීමත්, මිල අඩුවීම නිසා දේශීය නිශ්පාදකයා සහ අපනයනකරුවා කඩාවැටීමත් යන දෙකම එකවර සිදුවේ.

නිසි නියාමනයත්, ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, කර්මාන්තය පර්යේෂණ හරහා රටේ සුදුසු ප්‍රදේශ හදුනාගෙන ව්‍යාප්ත කිරීමත් යන රජයේ මූලික වගකීම් කුරුඳු කර්මාන්තයේදී කිසිසේත්ම ඉටුවන්නේ නැත. මේ තත්වය ඉදිරි වසර කිහිපය තුලත් මෙපරිද්දෙන්ම පැවතියහොත් ලංකාවේ කුරුඳු මියගිය කර්මාන්තයක් ලෙස සලකන්නට සිදුවන කාලය වැඩි ඈතක නොවේ. අපට අහිමිකල තවත් බොහෝ දේ මෙන්ම කුරුඳු ද අතීත ශ්‍රී විභූතියක් පමණක් බවට ඉතාමත් මෑත කාලයකදී පත්වනු ඇත.

සිතුමිණි රත්නමලල (fb)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...