පෑගෙන තැලෙන මිනිසුන් වෙනුවෙන් ම සිය පෑන මෙහෙය වූ මානව වාදී ලේඛකයා ‘මුල්ක් රාජ් ආනන්ද්’

Share post:

පෑගෙන තැලෙන පොඩිවෙන මිනිසුන් වෙනුවෙන් ම ලියන්න ට සිය පෑන මෙහෙය වූ අල්ලපු රටේ අපූරු මානව වාදී ලේඛකයා, මුල්ක් රාජ් ආනන්ද්

ජන සමාජයක් තුළ පෑගෙන, අනන්ත වූ දුක්ඛ දෝමනස්සයන් හා අඩන්තේට්ටම් වලට ලක්වන ගොවීන් ,කම්කරුවන් , ස්ත්‍රීන්, ළමුන් හා කුල හීනයන් පිළිබඳව අපරිමිත වූ දයාවෙන් හා අනුකම්පාවෙන් යුතුව ඔවුන්ගේ ජීවිත වල ඇති කටුක යථාර්ථය ලෝකයා වෙත ගෙන හැර පාමින් ඔවුනගේ අවධානය ඒ වෙත දිනා ගනිමින් ඔවුන්ට හැකිතාක් සාධාරණයක් සලසා දීම වෙනුවෙන්ම සිය සාහිත්‍යය මෙහෙවර කැප කළ ආසියාවේ අභිමානනීය ම ලේඛකයා ආචාර්ය මුල්ක් රාජ් ආනන්ද් ය.

මුල්ක් රාජ් ආනන්ද්යන් ගේ ලේඛනය සුවිශේෂීතාවය වන්නේ නිරන්තරයෙන් ඔහු ඔහුගේ ලේඛණයන් සිදුකරනු ලැබුවේ සමස්ත පෑගෙන ජනතාව වෙනුවෙන් ම වීම නිසා ය. අතිශය සරල සුන්දර නිහතමානි ඉන්දියානු නිදහස් මතවාදයේ හා ඉන්දීය නිදහස් ලේඛනයේ පුරෝගාමියෙකු ද වන මුල්ක් රාජ්, කොමියුනිස්ට් වාදියෙකු මෙන්ම මහත්මා ගාන්ධි තුමාගේ විචාරශීලී අනුග්‍රහයකු ද වූ අතර එනමුත් එහි වහලකු නොවී අදින ස්වාධීන මිනිසෙකු ලෙස සිය දිවි සැරිය නිම කළ විශිෂ්ට ලේඛකයෙකි.

ඉංග්‍රීසි භාෂාවෙන් සුද්දන්ටත් වඩා හොඳින් මනාව ඉංග්‍රීසි බස හසුරවමින් විශිෂ්ට ලේඛනයක යෙදුනු ඔහු ගැන විශිෂ්ට ඉංග්‍රීසි රචක ඊ එම් ෆෝස්ටර් ද කියා ඇත්තේ ද අපිටත් වඩා හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරවමින් මොහු ලේඛනයේ යෙදෙන බවයි.

මුල්ක් රාජ් ආනන්දයන් ගැන මේ පූර්විකාව මට පවසන්න සිතුනේ ලංකාවේ අතිශය සමීප මිත්‍රයෙකු මෙන් ම ලංකාවට බොහෝ වාරයක් පැමිණ ගොස් ඇති මෙතුමා ගේ මුලින්ම සිංහලට අනුවර්තනය වූ පොත ගැන කියන්නට පොටක් පාදා ගැනීමටය.

ඒ මෙතුමාගේ “Two Leaves And A Bud” නම් විශිෂ්ට නවකතාවේ,ප්‍රවීන සාහිත්‍යයධර ඩබ්ලිව්. ඒ අබේසිංහයන්ගේ හෘද සංවෙිදී අනුවාදය යි “තේ දල්ලේ කඳුළ”. පොතයි.

ශ්‍රී ලංකාවේ අපට ද අතිශය සමීප එමෙන් ම වසර සිය ගණනාවක් තිස්සේ අඩම්තේට්ටම් වලට හා නොසලකා හැරීම් වලට භාජනය වී ඇති අහිංසක වතු කම්කරුවන්ගේ ඉන්දියානු දුක්ගැනවිල්ල යි මේ පොත.

ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා නොයෙක් සුන්දර සිහින මවා සුර පුරයක් වෙත කැන්දාගෙන යන ආකාරයෙන් ඉන්දියානුවන් මේ රටට කැන්දාගෙන ආ පරිදි ම, ඉන්දියාවේ වැවිලි කර්මාන්තය සඳහා ද ඉන්දියාවේ නන් දෙසින් මිනිසුන් රැගෙන ආවේ එවන් අපූරු සිහින මාළිගා රැසක් ඔවුන් ඉදිරියේ මවා පෙන්වා ය .

මෙම නව කතාවේ අප කතා නායකයා වන “ගන්ගු”ද සිය දරු දරු පවුල සමඟ පැමිණියේ ද එවන් සුරපුරක වාසය කිරීමට ය .තමන්ටම කියා නිවසක් ,සිය පවුලට ම තුන් වේලට කෑම, දරුවන්ට අධ්‍යාපනය ගැහැනුන්ට නිදහස වැනි අත්‍යාලංකාර බලාපොරොත්තු ගොන්නක් එම මිනිසුන් තුළ ඇති කර එම බලාපොරොත්තු සඵල කර ගැනීමට ඇති එකම මාර්ගය වැවිලි සමාගම් වලට සම්බන්ධ ව ඒවායේ සේවය කිරීම බව මිනාසුනිට කා වැද්ද වූ වැවිලි සමාගම් පොරොනිදු එම ජනයාගේ ඇස් නිලංකාර කළේය.

එහෙත් එය සත්‍යයක් ලෙසින් දැක පහන් එළියට රැවටී විත් විනාශයට පත්වූ පලගැටියන් ගේ ජීවිතයේ වන් වූ අහිංසකයන්ගේ ඒ අනුවේදනීය කතාවයි මේ .

ලංකාවේ වතු කම්කරුවන් මෙන් ම ඉන්දියානු කම්කරුවන් ද සේවයට පැමිණි දා සිට ම තමන් හට පෙන්වනු ලැබූ ලෝකය සිහිනයක් ම බවත්, ඒවා හුදෙක් කතාවට පමණක් සීමා වූ බොරු පොරොන්දු බවත් වටහා ගනු ලැබූව ද අරගල තුලින් ද තමාට සිදු වූ අසාධාරණයට අද දක්වා ම කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවෙමින් තැලී පොඩි වී නොසලකා හැරීමට ලක් වීම ඔවුන්ගේ උරුමය බව ඔවුන් ම සිතන තැනට පත් ජන කොටසක් බවට ඔහුන් අද පත්ව සිටී .

අප කතාවේ වීරයා ක්‍රම ක්‍රමයෙන් තමන්ට සිදුවන අසාධාරණය හදුනාගෙන ටිකින් ටික හිස ඔසවමින් අරගලයක් සඳහා මුල පුරන අතර එය කැරැල්ලක් දක්වා වර්ධනය කර යම් කිසි බලපෑමක් සුදු වතු පාලනාධිකාරිය වෙත දැක්වීමට ඔහු සමත් වන මුත් පාවා දීම්‍ අධෛර්ය හා අධික පීඩනය හමුවේ අවසන ඔහු පරාජය වන අතර අධිරාජ්‍ය ගැති පක්ෂග්‍රාහී අධිකරණ පද්ධතිය ද ඔවුනට එරෙහි වෙමින් ඔවුන් තව දුරටත් අසරණ කරමින් ඔවුන් ඔහුන් සදාකාලික පීඩිතයින් බවටම පත් කර දමයි . එහෙත් එම ක්‍රම වේදය ඉතා නිර්දය ලෙස විවේචනය කරමිනි මෙම විශිෂ්ට නවකතාව ලියවුන ද, එවන් වූ ජන කොටසක් ම වෙසෙන මුත් එම ජීවිත පිළිබඳ ව මුල්ක් රාජ් ආනන්දයන් ලෙස දුටු නවකතාකරුවන් නම් නොමැති තරම් ය .

මොවුන්ගේ දුක වේදනාව මහා පොත් ගණනාවක ලිවිය හැකි දුක්ඛ දෝමනස්සයන් ගෙන් පිරි එකම අපායක් වන මුත් එදා සිට අද දක්වා ම ඉන්දියාවේ ද ලංකාවේ ද ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ලබා දෙනු ලැබූ සිහින පොරොන්දු ම ලබා දෙමින් ගැලෙහි බැඳි හරකුන් සේ ඔවුන් ව දක්වා ගෙන යනු ලබන ඛේදනීය දසුන අප තව දුරටත් දකිමින් සිටිමු නොවෙද?!

” පෑගිජ්ච මිනිස්සු වෙනුවෙන් කතා කිරීම, ඔවුන්ගේ යහපතට කටයුතු කරන එක, මගේ නිර්මාණවල ඔහු ඔවුන්ට ගෞරවයක් තියෙනවා. වැසිකිළි සෝදන කෙනෙකුට වුණත් ආත්ම ගෞරවයට අයිතියක් තියෙනවා. හරියට රජ කෙනෙකු ට තියෙන භාග විට ඊටත් වඩා වෙන්න පුළුවන්” .
ඔහු අහිංසක මිනිසුන් ගැන සිතුවේ එලෙසයි.

ඔහුගේ මෙම අදීන ලේඛන කලාව නිසා ම මෙම තැළුණු පොඩි වුණු මිනිසුන් වෙනුවෙන් සැලසුණු සෙත ද අති මහත් ය.තැළුණු පොඩි වුණු මිනිසුන් පිළිබඳව ඔහු ගේ කථා හරහා ලෝකය දැනුවත් වීමත් ඒ ඔස්සේ ජන හඬක් නිර්මාණය වීමත් නිසා මුල්ක් රාජ් සිය පෑනේ බලයෙන් ඉන්දියානු සමාජයේ විශාල වෙනස්කම් රැසකට මුල පිරිය. එය මහත්මා ගාන්ධිගේ නිදහස් සටන තරම් ප්‍රබල ය.

සුද්දන්ගෙන් නිදහස් වුව ද පෑගෙන තැලෙන පොඩිවෙන මිනිසා ට සහනයක් ලබා දීමට නම් සමාජයේ ඉහළම ස්ථරයේ සිට ආකල්පමය වෙනසක් මෙන් ම බුද්ධියේ වෙනසක් ද සිදු විය යුතු බව සැලකූ මෙම ලේඛකයා දසක නමයක් පමණ කාලයක් වූ සිය දි සැරියේ දී ඒ සදහා ගත් වෙහෙස කෙතෙක් නම් පල දරා ඇද්දැ යි ඔහුගේ ලේඛන ඉතිහාසය හා ඉන්දියානු සමාජය වෙනස් කම් පිළිබඳව අධ්‍යනය කරන්නෙකුට පැහැදිලිව සොයාගත සොයා ගත හැකි වනු ඇත.

අපේ අසල් වැසියා මෙන්ම අප ආදරණීය මිතුරකු වූද මෙම විශිෂ්ට ලේඛකයාගේ නව කතා තව බොහෝ ප්‍රමාණයක් අප බසට පරිවර්තනය විය යුතු ව ඇත.

මෙම විශිෂ්ට ලේඛකයාගේ අනර්ඝ කෘතියක් අප වෙත ගෙන එමින් සිංහල සාහිත්‍යය ට නැවුම් අත්දැකීමක් එක් කළ ප්‍රවීණ සාහිත්‍යධර ඩබ්ලිව් ඒ අබේසිංහ යන්ට අප ප්‍රණාමය හිමි විය යුතු ය.

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

2023/05/25

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...