“ලියනගේ අමරකීර්ති නම් කවියාව නැවත කියවීමේ අපේක්ෂාව තබාගනිමි”

Share post:

‘හමුවෙද අපේ වෙණ තත’ – ලියනගේ අමරකීර්ති

ලියනගේ අමරකීර්ති නම් අසහාය සාහිත්‍යධරයාගේ හමුවෙද අපේ වෙණ තත නම් ඔහුගේ දෙවන කාව්‍ය සංහ්‍රහය විඳීමේදී හිත නැවතුණු තැන් කිහිපයක් ගැන සටහනක් තැබිය යුතු යැයි හැඟෙන්නට විය. අද්දැකීම් සමුදායක් හිමි කියවීම් පරාසය ඉහළ මට්ටමක ඇති මේ කතුවරයාගේ කාව්‍යාවලිය කියවන්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන බව පැවසිය යුතුමය. මන්ද ඔහුගේ කාව්‍ය සංග්‍රහය විඳීමෙන් අනතුරුව දැනුම සෙවීමේ දොරටු කිහිපයක් විවර වන අතර නැවතිල්ලේ සිතා බැලිය යුතු කාරණා රැසක් මනස තුළ ඉතිරි වන්නේය. පරිකල්පනය පුබුදු කරන්නේ ය.

වර්තමාන සමාජය පිළිබඳව අපූරු කවක් ලියන කවියා සමාජයේ පැති දෙකක් දැක්වීමට යොදා ගන්නේ ඊතලය සහ වීණාව ය. ‘හමුවෙද අපේ වෙණ තත’ යන සිරසින් යුතු එකී දීර්ඝ කවිය තුළින් අපිව ඉතිහාසයට මෙන්ම විවිධ භූගෝලීය පරිසර තුළට කැඳවාගෙන යන්නේ නිරායාසයෙන් ය.ඒ අනුව අප්‍රිකාව, ඇමෙරිකාව, ආසියාව, ඇලස්කාව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආදි බොහෝ භූගෝලීය වපසරීන් තුළ, ඈත අතීතය ගැන කවියා දැක්වීමට උත්සාහ ගෙන ඇත. කවිය කියවීමෙන් අනතුරුව එකී ඉතිහාස හා ප්‍රාදේශීය තොරතුරු සොයා බැලීමට පෙළඹවීමක් ඇති කරන තරමට ඒවා කවිය තුළ කිඳා බස්වා ඇත.

“…අප්‍රිකාවේ ඈත කාලෙක
ආසියාවේ ඈත දේසෙක
ඇමරිකාවේ ඉතා පෙර කල
ඇලස්කාවේ හිම් තට්ටු යට
ඉන්දු නදි නිම්නයේ පස් යට
තිබී හමු වූ දේ බලා ඇත…”

කවියා දක්වන්නේ එම ස්ථානවල තිබී හමු වූ දෙවල දක ඇති බවය. ඒ සෑම තැනකම ඊයකට සමාන ඊයකැයි කිව හැකි දෙයක් හමු වී ඇතැයි ඔහු පවසයි. එමෙන්ම පුදුමය නම් එවැනි ඊයක් වැනි දෙයක් හමු වූ සෑම තැනකදීම වීණාවකැයි කිව් හැකි දෙයක් ද තිබී හමු වීමය.

“…ඊයකැයි කිව් හැකි යමක් ඇති
සෑම තැනකම සෑම කලෙකම
වීණාවකියි කියන්නට හැකි
පොඩි දෙයක් හෝ
හොයා ගෙන ඇත…”

ඒ අනුව එය පුදුමයක් ය. අතීත සමාජය ගැන තොරතුරු ලැබෙන තොරතුරු හොයන සෑම තැනක ම මෙකී ඊතලයත් වීණාවත් දෙකම එකට හමු වී ඇත.

කවිය තුළ කුතුහලය රඳවා ගන්නා කවියා යොදන යෙදුම කවිය යෝග්‍ය වන්නේ එය යොදන ආකාරය සහ එම යෙදුම ට පසුව කියවෙන එම මාර දෙය නිසා ය.

“…මචං අහපන් තවත් මාරයි!
ලෝකයේ හැම තැනම වාගේ
ගැහැනියකගෙ නිතඹෙ හැඩයට
මියුරු වීණා බඳ තනා ඇත…”

අද මෙන්ම එදාත ලිංගිකත්වය විකිණෙන ස්වරූපය කවිය තුළ සියුම්ව රැඳවෙන්නේ ඒ අයුරින් ය. ඉන් පැහැදිලි වන්නේ අද මෙන්ම එදාද මිනිසාගෙ සිතිවිලි එකාකාරීබවක් ය. වර්තමානයේ බොහෝ නිෂ්පාදන ලිංගිකත්වය ඉස්මතු කරමින් නිපදවීමටත් ඒවා ප්‍රචාරය කර ගැනීමට ලිංගික්ත්වය එකතු කර ගැනීමටත් කටයුතු කරනු දැකිය හැකි ය. ඒ අයුරින්ම වීණාවේ බඳ ද ඒ සා සියුම්ව නිර්මාණය කර ඇත. එසේ නම් ලිංගිකත්වය කලාවක් ලෙස වින්ඳනය කිරීමට හැකියාවක් ඇති පරපුරක් එදා සිටින්නට ඇත. එකී කලාව විඳින්නට ඇත.

එතරම් අතීතයේ නොව අපේ කුඩා කාලය තුළද අපි ඊතල සහ වීණා සාදාගෙන ක්‍රීඩා කර ඇත. කොලු ගැටව් කාලේ දුනු ඊතල සාදා ගැනීම පොල් පිත්තකට කෙහෙල් කෙඳි බැඳ වීණා සාදා ගැනීම සිදු කර ඇත. ඒ අනුව ඊතලයත් වීණාවත් එක තැන තිබී ඇත. කෙසෙල් ගස් සතුරන්ට ඊයෙන් විද කෙසෙල් කෙඳි තත් ඇද විණා වයා ඇත. ලොව කොතැන කොහොම වුවද එය එසේ සිදුවන්නට ඇත.

“…කෙහෙල් ගස් සතුරන්ට ඊ විද
කෙහෙල් තත් ඇද වෙණ වැයූ හැටි…”

වීණාවත් ඊතලයත් ගෙන බැලූ විට ඒ දෙකෙන් සිදු කෙරෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක් ය. ඊතල හද බිඳින්නේ ය. වේදනා ඇති කරන්නේ ය. වීණාව හද සනසවන්නේ ය. සතුට ගෙන දෙන්නේය. අතීතයේ සෑම තැනකම මේ දෙකම එකට තිබී ඇත. එකට විඳ ඇත.

“…ආදි මිනිසා කවර දෙස වුව ඊය හැදුවෙද
ඒත් සමඟම වෙණ තනා ඇත…”

එහෙත් අද වන විට ගැටලුවක් පැන නැගී ඇත. කවියා අපෙන් අසන්නේද එයය.

“…මිතුර කෝ ඒ අපේ වෙණ තත
කෙල්ලකගෙ බඳ දැවටි දැවටී
මියුරු නාදම නගන වෙණ තත
ඊ වැකුණ හද සනසවන තත…”

කවියා ඊතලයත් වීණාවත් ප්‍රභල සංකේත දෙකක් ලෙස කවිය තුළ භාවිත කර ඇති අයුරු පැහැදිලි ය. ඊතලය තුළින් ත්‍රස්තවාදය හා අනෙකාව නැසීම යන කාරණා පමණක් නොව තරගකාරී ජීවන් රටාව, තරගකාරී අධ්‍යාපනය, ලිංගිකත්වය මුදලට විකිණීම සහ ලිංගිකත්වයට නිසි ගෞරවයක් එනම එය කලාවක් කර නොගැනීම, අනෙකාව අබිබවා ජය ගැනීම, ආර්ථික කාරණා පසු පස පමණක් ගමන් ගැනීම ආදිය ද දැකිය හැකි ය. වීණාව තුළින් සංකේතවත් වන්නේ සංවේදී සමාජයක් ය. විඳීමක් ඇති ජන කණ්ඩායමක් ය. සහකම්පනයෙන් යුතු ජනතවක් ය අනෙකාට ආදරය කරන අනෙකාට ගරු කරන සමාජයක්‍ ය.

අතීතයේ මේ කාරණා දෙක සමබරව පවත්වාගෙන යෑමට මිනිසුන් සමත් වී ඇත. එහෙත් අද වන විට ඒ තත්ත්වය දැකිය නොහැකි ය. අප ළඟ ඊතල ඇත. එහෙත් වීණාව මග හැරී ඇත. අප ඒ වීණාව සොයා ගත යුතු ය. අලුත් පරපුර අතට වීණාවක් ලබා දිය යුතු ය. කවියා ඒ නිසාම කවිය අවසන් කර ඇත්තේ,

“…අපට හමුවෙද යළිත් ඒ තත”
(හමුවෙමුද අපේ වෙණ තත ; පිටු අංක 09)

යනුවෙන් දැක් වීමෙනි. අනිවාර්යයෙන්ම අපි එය සොයා ගත යුතු ය.
මේ අයුරින්ම ගෙදරක චිත්‍රය නම් හිසින් යුතු කවිය අප අතීතයට ගෙන යනවා මෙන්ම නැවත නැවත ප්‍රශ්නකර බැලිය යුතු අවබෝධ කර ගත යුතු සහ ක්‍රියාවට නැංවීමට උත්සාහ කළ යුතු තැනකට අපව රැගෙන යයි.

“…තට්ටු දෙකක් උස නිවසක
නිවසන පුතුහට ගෙදරක්
නොවේය ඔහු වසනා තැන
කියන්න බැරි දහදුක්
අලංකාර කළ නිවහන

ඔහුගේ සුන්දර ගෙදරට
දෙපලකි එක ජනේලයකි
කටුමැටි ගෑ බිත්ති හතර
ලොවට අරින එකම දොරකි…”
(ගෙදරක චිත්රය ; පිටු අංක 48)

මේ අයුරින්ම ම ‘මායි ඒ පිහිතලය’, ‘මංගලාලා’, ‘ටෝච් එළිය’ ආදි කවිවලින්ද මිනිස් සන්තානයන් තුළ ඇති ස්වරූපයන් විවර කිරීමට ඔහු ගත උත්සාහයන් සාර්ථක වී ඇත. පෞද්ගලික අද්දැකීම් කවියට නැගීමට වඩා මිනිස් සිතේ ස්වරූපය, සමාජයේ හසු නොවන කාරණා ආදිය කවියට නැගීමේ ලා දක්වන දක්ෂතාව අගය කළ යුතුමය. එමෙන්ම ඔහුගේ අද්දැකීම් විශාල පරාසයක් තුළ පැතිර තිබීම නිසා ම හමුවෙද අපේ වෙණ තත කියවා විඳීම වූකලී අපූරු අද්දැකීමක් ය. ලියනගේ අමරකීර්ති නම් කවියාව නැවතකියවීමේ අපේක්ෂාව තබා ගනිමින් මේ සටහනට තිත තබමි.

ශානක හිත්තැටියගේ

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...