ස්මාට් ජීවිතේ අතීත කතාව

Share post:

(යානිස් වරුෆකිස් වෙත කෘතවේදීත්වයෙන්)

හිරු උදාවත්ම
ස්මාට් සංඥා හඬ නගයි
අවදි වෙමි නිදිමතේ
ඉක්මනින් මම සැරසෙමි
ස්මාට් යුගයේ මිනිසකු ලෙස

ට්‍රාන්ස්පෝට් වාහනය
ගෙන යයි කඩිමුඩියෙ
සීත කළ කාර්යාලයට
බස් පුරවා ගෙන යති
දහස් ගණනින් වැඩබිමට

මාසයක් වැඩ කළ පසුව
චෙක්පතක්
ගිනුමට තැන්පතුවක්
ලියුම් කවරයෙ දැමූ
නෝට්ටු කීපයක්

සුලු වෙනසක් වුවද
නොවෙනස්ව එක දිගට
එකම තාලය එකම සිංදුව

පෙරවරුව සිට පස්වරුවට
පැය ගණන් වැඩ
මාසයක් අවුරුද්දක්
අවුරුදු කීපයක්
මේ කොහොම ආ පුරුද්දක්ද

සීවී එකේ දැමු
විභාග ප්‍රතිපල, පළපුරුද්ද
පාඨමාලා සුදුසුකම්
සහතික, රෙෆරන්ස්
ගෙල බැඳි ටයි පටි
විලංගු වගෙ නෙවෙයි
එනමුත් වහලුන්ට
අප්‍රිකාවෙන් පැහැර ගත්
සහතික රෙෆරන්ස් නොවුණි
වැටුපක් තබා උන්ට
නිවසක්ද නොවුණී

දවාලක් රැයක් නැතිව
යදමින් බැඳී වාෂ්ප එංජින්වල
මැන්චෙස්ටර් කම්හල්වල
වැඩ කළ කම්කරුවන්ට
චෙක්පත් නොලැබුණි
ගිනුමක් නොවුණි
සමහර උන්ගෙ වයස
දහයක් පමණී

ඒ ඇතැම් කම්කරුවන්
ඉපදුණේ අඳුරු දෝනාවල
කෝර්න්වෝල්, පතල්වල
චාල්ස් රජුගෙ එංගලන්තෙ
බඩවල් උස්සන් මව්වරු
ජීවිකාවට කළේ
පතල් රස්සාවයි
ලැබුණේ නෑ චෙක්පතක්
මාසෙ අන්තිමට ගිනුමට

ඒත් මාසෙ අන්තිමට
ස්මාට් වැටුපක් ලබන විට
ජීවිතේ හරි ඊසි

මතකයේ නෑ අපට
අප්‍රිකාවෙදි වැටුණු විලංගු
දකින්නෙත් නෑ
මැන්චෙස්ටර් දරුවන්
ඇහෙන්නෙම නෑ නේද
අඳුරු දෝනාවල
විළිරුදා විඳි
මවුවරුන්ගේ වැළපුම්

මතක් වෙන්නෙම අපට
ලෝන් ඉන්ස්ටෝල්මන්ට්
වාහනේ ලීසිං !

යානිස් වරුෆාකිස් – (Yanis Varoufakis) ග්‍රීසියේ උපන් වාමාංශිකයෙකි, දේශපාලන ආර්ථිකය පිළිබඳ විද්වතෙකි. සයිරිසා පාලනයේ මුදල් ඇමතිවරයා ලෙසද කටයුතු කළේය. මේ පදවැල් ලියන්නට මා පෙළඹවූයේ ඔහුගේ A Brief History of Capitalism කෘතිය කියැවීමෙන් ලද උත්තේජනයකි.

චන්දන සිරිමල්වත්ත

Painting – S.Evans Art

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...