කර අඹා-ලාඩං ගැසූ සත්තු සහ මිනිස්සු

Share post:

කමල් පෙරේරා නම් කෘතහස්ත ලේඛක සහෘදයාගේ නවතම නවකතාව ‘ලාඩං’. එතුමා අඩවි කිහිපයක එක සේ වැඩ කළ – කරන කෙනෙක්. ඒ අතරිනුත් මට ඇතැම් පැති අනගිතම ඒවා. කමල් අයියා ජාතීන් අතර සමගිය කොන්දේසි විරහිත ව පැතූ – ඒ ගැන ඇති පදම් වැඩ කළ කෙනෙක්. ඔහු හොඳ වාමාංශික හා විප්ලවීය දේශපාලනයක නිරත ව සිටින්නෙක්. ඔහු කදිම මිතුරෙක්. උසස් ඉතිහාසයක් ඇති පුවත්පත් කලාවේදියෙක්. නවකතාව හා කෙටිකතාව විෂයෙහි රසවත් නිර්මාණ බිහි කළ සාහිත්‍යවේදියෙක්.

කමල් අයියා ව මුලින් ම දුටුවේ ‘රාවය’ රත්මලානේ, පිරිවෙණ පාරෙ තියෙන කාලෙ. මා රාවයට රැගෙන ගොස් ඔහුට හඳුන්වා දුන්නේ ජපුරේ ම’මිතුරු එච්.එම්. කරුණාසේන. මා, දයාසේන ගුණසිංහයන්ටත් හඳුන්වා දුන්නෙ බිබිල-නන්නපුරාවෙ මේ කරූ. එදා සිට කමල් අයියා ලියූ බොහෝ දේ මා කියවා ඇති.

ලාඩං පොතේ පිටකවරෙ අප ව තිගස්වනවා. එහි තියෙන මිනිස් පා සලකුණෙහි ඇතුළෙ අශ්ව පා සලකුණක් එබී-කෙටී තියෙනවා. ලාඩං වැදිලා තියෙන්නෙ අසුට විතරක් නෙවේ. මේ සිරිලක කුදිරකාර පරපුරේ කතාව. ඉතිහාස තොරතුරු, වර්තමාන සත්‍ය තොරතුරු, කුලමල, පංති භේද, දේශපාලන මඩ ගොහොරුව, පීඩිත සටන්, යටත් විජිත මනස් හා ක්‍රියා, අදටත් අවසන් නැති සුදු සෙවණැලි හා මේ සියල්ල ම මානව ප්‍රේම කතාවකින් යා කරමින් ලාඩං ලියැවී ඇත.

උස්කඳු අවධියෙන්(2007) හා කඳුයාය නිසලයි(1992) පොත්වලින් මේ පොත බොහෝ සෙයින් වෙනස්. පොතට පූර්ව පර්‍යේෂණයක් බරපතළ ලෙස කරලා ලියූ නවකතාවක්. ඒ තොරතුරු සරුසාර ලෙස ඔහු අත පත් වූ නිසා ම ඇතැම් තැන රස පළුදු වන තුරු ම වාර්තා කිරීමට සමීප ව ලියැවිලත් කියලා හිතුණා. ඒ ආරම්භක අඩවියෙ. ඒත් මහී තමන්ගෙ උපාධි නිබන්ධයට සොයන කුදිරකාර ඉතිහාසය නිසා ඒ පුවත්පත් වාර්තා දිගු ලෙස උපුටා ඇතැයි හිතන්නත් පුළුවන්. රූපණ කාර්‍යෙන් වාර්තාවට වැටෙන්න තියෙන අවධානම බොහෝ විට සිය පලපුරුදු බවින් ම ජය ගෙන තියෙනවා. නුවර එළියෙ නගරාශ්‍රිත සියලු මුඩුක්කු, කුණු කාණු, අතුරු මාර්ග, ගොල්ෆ් පිටි, සමාජ ශාලා, සයිවර් කඩ වගේ ම ඉහළ පෙළේ හෝටල්, වතුබංගලා, නීතිවේදීන්ගේ කාර්‍යාල ආදී පැතිරුණු තැන්වල සියුම් හැඩතල, සලකුණු හෝ මෙවලම් සියල්ල රූපණ මාර්ගයෙන් ම අඟවන්න කතුවරයා සමත් වෙනවා.

එසේ ම මේ නවකතාවට දමිළ, මුස්ලිම්, සිංහල, පැරණි බ්‍රිතාන්‍යයන්, මිශ්‍ර ජාතීන් මෙන් ම සමාජ පංති ලෙස කිහිපයක ම ඉතිහාස කතා, ගති සොබා, ආචාර ධර්ම, උපභාෂීය ආචරණ, සිරිත් විරිත් හා බැඳුණු වදන් ඇතුළු තත්වයන් රැසක් ඇතුළත් වෙනවා. මේ සියල්ල ප්‍රවේශමට හා පදමට නවකතාවට අන්තර්ග්‍රහණය කරන එක පහසු කටයුත්තක් නොවෙ යි. ලාඩං කියවීමෙන් හුදු කතා රසය ඉක්ම වූ මානව විද්‍යාත්මක දැනුමකුත් අපට එකතු වෙනවා.

සියල්ලට ම වඩා කමල් පෙරේරා ජීවිත කාලයක් ඔට්ටු වෙන ජාතිකත්ව සමගිය පිළිබඳ සොඳුරු මිතුරු චිත්‍රය මේ නවකතාවෙනුත් ඉස්මත්තට ම නැගෙනවා. ඒ සහෝදර ප්‍රජාවන්ට පිදෙන උත්තමාචාරයක් ලෙස මේ ප්‍රයත්නය සලකන්න කියලා කතුවරයා ම පසුවදනින් අපට ඇරයුම් කර සිටිනවා. කාලන්තරයක් එක ගොඩේ ජීවත් වෙන දුක බදා ගත් සම්මිශ්‍රිත ප්‍රජාවකගේ සමගිය කියන්නෙ (සංකේතීය ලෙස) තොණ්ඩමන්ගේ කඳුකරය හෝ සුමන්දිරන්ගේ යාපනය හෝ නොවන බව තදින් ම කියා සිටිනවා මේ පොත. එසේ ම පීඩිත ජනතාව ලෙස ජාති භේදයෙන් තොර ව සිංහල, දෙමළ ප්‍රජාව ඒ ඒ ජාතිවල ම දුෂ්ට දේශපාලනයෙන් වෙනසකින් තොර ව විඳවන හැටි ලාඩං සරුවට කියනවා.

කුදිරකාර ජනයා අප රටෙහි දැඩි ලෙස ආන්තීකරණයට ලක් වූ පිරිසක්. ශිෂ්ට යුරෝපීයා වගේ ම ‘අශිෂ්ට’ යැයි කියූ ස්වදේශිකයා අතිනුත් තවම වෙන්නෙ ඒක. කමල් පෙරේරා පණ පිහිටුවා කියන කොන්කර්, පල්සර්, ටවුන් බෝයි වගේ අසුන් වගේ ම සිවයියා, සතීස්, රංගා, රවී වගේ මින්ස් ප්‍රජාව වෙනසකින් තොර ව පීඩාවෙ කොටස්කාරයො. ඉඳහිට පිටරටකින් එන ඩයස්පෝරා මිතුරන්, නාගරික ගේම්, රේස්කෝස් පළිගැනිලි, තරඟ හා කුසලාන, ආදර තරඟ ආදී පැතිමානක රැසක් කතුවරයා බ්ලෙන්ඩ් කරනවා ලාඩංවල. අන්තිමට අපි ඔක්කොට ම ලාඩං වැදිලා. සමහර ලාඩං යටත්විජිත ඒවා. සමහර ලාඩං මෑත ‘අරගලය’ තරම් අලුත් ඒවා.

ලාඩංහි ආඛ්‍යාන රටා වෙන ම කතා කරන්න ඕනෙ. හැම පරිච්ඡේදයක් ම ඒ අඩවියේ කතාව කියන ‘මම’ කෙනෙකු මතු කරනවා. විටෙක රවී. තවත් විටෙක මහී. සරල පසුබිම් චරිත විය හැකි ව තිබූ රංගා වගේ අයත් මේ උපක්‍රමය නිසා අලුත් වටයකින් ප්‍රධාන චරිත වෙනවා. ඒක නැවුම්.

තවත් අමතර ඛේදයක් මෙයින් ඉඟි කෙරෙනවා වගෙයි. මේ නවකතාව අපි කියෙව්වා ද? එහි පාඨකයා කවුද? කමල් පෙරේරා ජාතික ජනබලවේගයේ මෙහෙයුම් මණ්ඩලයේ ඉහළ නායකයෙක්. නවකතාවෙන් කියන්නෙත් අපේ දේශපාලන ප්‍රවාහයෙනුත් මුලිනුපුටා දමන්න උත්සාහ කරන මජර ක්‍රමයේ ම කතාව. අපේ පුරවැසි ප්‍රජාව මේ පොත් කියවනවා ද? පොදුවේ තියෙන බිඳවැටුම නිසා අත් හැරෙන එක ගැන නෙවෙයි මේ කියන්නෙ. අපේ නායකයන්, කේන්ද්‍රීය ක්‍රියාකාරිකයන්, අපි දැනුම්වත් කරන්න හදන ගම්බද සහෝදර ප්‍රජාව අතට මේ පොත් යනවා ද? කමල් රෙරේරා, කම්මැල්ලවීර, වැලිසරගේ, අමරකීර්ති, නන්දන වීරසිංහ වගේ අපේ උස්කඳු මුදුන්වල නිමැවුම්වත් අප, අප අතට පත්කර තිබේ ද? අපේ ව්‍යාපාරයේ ලේඛකයන් කියා දෙයක් නැ. ඔනෑ ම තරාතිරමක කෙනෙකුගේ සාහිත්‍යයක් මෙතැනට අදාළ යි. මැතිවරණ වේදිකාවේ තරම් ජවයකින් අප මේ අඩවියට වැඩ කර තිබේ ද? මේ චෝදනා මටත් අයත්. ඒත් අපේ කාර්‍ය බහුලත්වය ම මේකට පිළිතුරු නොවෙ යි. අපේ සටන්වල අප ම හිරවෙන හැටි ඇතැම් විට නවකතාවක ලස්සනට කියවෙනවා. දෙල්පචිත්‍රගේ නාට්‍යයක මේ උමතු රෝහලක් බඳු ලංකාව තියෙනවා. දීපානි අක්කලාගේ වීදි නාට්‍ය වුණත් එහෙම යි. ඒ, ඒත්තු ගැන්වීම තමයි සහිත්‍යය- කලාවේ බලය. බිඳ වැටුණු බර්ලින් තාප්පයට වඩා, පෙරස්ත්‍රොයිකාවට වඩා තේරුම් යන විදියට කම්මැල්ලවීර ‘ඒ සිහින් ගී නද’ පොතේ නිවා දැමූ රතු තරුවේ දීප්තිය සිත්තම් කළා. චීන බලපෑමේ නිත්‍ය විනාශය, කහ එළියේ සැඟ ව ඇති අනතුරුදායක රතු එළිය ගැන වැලිසරගේ ‘දිගු තත්පර’ මගින් කීවා. අපේ ජීවිතවලට ‘ලංකා දුක’ එන්නත් වෙන හැටි කියන්න අමරකීර්ති එයාගේ මෑත කාලයේ සියලු සාහිත්‍යය වැය කර් නැද්ද? ආගමික අන්තවාදය හා ජාතිවාදය කියන විසකුරු මුල් දෙක ගැන කියන්න, තේරුම් කරන්න සාහිත්‍යයට, නාට්‍යයට වඩා මෙවලම් තිබේ ද? අපි මේවා කොහොම හරි කියවමු මිතුරු මිතුරියනි. යටි අරුත් සපයා ගනිමු. අපේ දේශපාලනය ඉන් ඔප දමා ගනිමු. ලාඩං නිසා ගැස්සුණු මගේ හිතින් මේ ටික කියා ගත්තෙ මට ම යි. අපේ කොට්ඨාස සභාවල දි මේවා බෙදා ගන්න වැඩ පිළිවෙළක් හදන්න ඕනෙ. මේ තමයි ජනනියමු කලාකරුවන්ගෙ ප්‍රධාන කාර්‍යය. කමල් අයියා ඇතුළු සාහිත්‍යවේදීන්ට තුති.

හිනිඳුම සුනිල් සෙනෙවි

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...