සාක්ෂි නෑ : නාමල් නිදහස් කරන්න – අධිකරණයට ඉල්ලීමක් : ප්‍රධාන සාක්ෂිකරු ට්‍රැක් මාරු කළ හැටි : එතකොට ක්‍රිෂ් ?

Share post:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව නීතිඥවරු කොළඹ මහාධිකරණයට ඊයේ (11) දැනුම් දුන්හ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ ඊයේ නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කෙරිණි.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති නිසා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දෙන ලදි. ඒ අනුව එම කරුණු දැක්වීම ජූලි 24දා සිදුකරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

සාක්ෂිකරු ?

මීට පෙර මෙම නඩුව සම්බන්ධයෙන් 2020 මාර්තු මාසයේදී පුළුල් කතාබහක් ඇති විය. ඊට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී මාස 4කට පසු මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු කළ ප්‍රකාශයකි. මෙම සාක්ෂිකරු මුලදී සඳහන් කර තිබුණේ චෙක්පත් මගින් අදාළ මුදල් නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් සමාගමට ලබාදුන් බවයි. විත්තිකරුවන් රුපියල් ලක්ෂ 500ක් ඉල්ලූ බවත්, තමන් රුපියල් ලක්ෂ 300ක් ලබාදුන් බවත් ඔහුගේ සාක්ෂියේ සඳහන් විය.

පසුව 2020 මාර්තු මාසයේදී එක්වරම ඔහු අධිකරණයට පවසා තිබුණේ නාමල් රාජපක්ෂට එරෙහි චෝදනා සනාථ කිරීමට තමන්ට සාක්ෂි නැති බවයි.

අපේ ප්‍රශ්න !

එසේ නම් ඔහු නාමල් රාජපක්ෂට චෝදනා කළේ කෙසේද ? එම සාක්ෂි මත පදනම් ව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කළේ කෙසේද ? සියල්ලටමත් වඩා මෙවැනි අසත්‍ය චෝදනාවක් තමන්ට එල්ල කළ පුද්ගලයෙකුට එරෙහිව නාමල් රාජපක්ෂ විසින් අපහාස නඩුවක්වත් මෙතෙක් ගොනුනොකළේ ඇයි ?

නාමල් රාජපක්ෂගේ ලේකම්වරියක් වූ ඔරනෙලා ද සිල්වා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත්තේ ද මෙම නඩුවට අදාළව ය. ඇය එතෙක් සිටියේ ඩුබායි හි ය.

ක‍්‍රිෂ් ?

අර චෝදනා, මේ චෝදනා අස්සේ ක‍්‍රිෂ් ගනුදෙනුවට අදාළ චෝදනාව ද නාමල්ට තිබේ. රුපියල් මිලියන හැත්තෑවත්-සීයත් අතර විශාල මුදලක් සාක්කුවේ දමාගැනීම සම්බන්ධයෙන් ය, මේ චෝදනාව එල්ල වී ඇත්තේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශයක් දෙමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ මිලියන 70ක් 100ක් තියා සතයක්වත් මං අරන් නෑ යනුවෙනි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ මීට අදාළ පැමිණිල්ලේ මෙසේ සඳහන් විය. ‘කොළඹ, කොටුව ට‍්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇති මූල්‍ය වංචාව සම්බන්ධ විමර්ශනය (ක්‍රිෂ් ගනුදෙනුව).’ මේ ක්‍රිෂ් ගනුදෙනුව සිදු වී ඇත්තේ අදෘශ්‍යමාන සමාගමක් හරහා බව ද එකල කියැවිණි. ඒත් ඒවා දුර ගියේ නැත.

‘…. එහිදී නිමල් හේමසිරි පෙරේරා විසින් … බැංකුවේ සහ ….. බැංකු ගිණුම්වලින් නිකුත් කරන ලද චෙක්පත් බැර වූයේ කුමන ගිණුමටද යන්න අනාවරණය කරගැනීම සඳහා එම බැංකුවල කළමනාකරුවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කළ අතර, එමගින් එම චෙක්පත් බැර වී ඇත්තේ කිෂින් රාම්චන්ද් බූටානි යන අයගේ බැංකු ගිණුම්වලට බව….’

මේ නිමල් හේමසිරි පෙරේරා කියන්නේ දකුණු ආසියාවේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර සිටින ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික සගයා ය. විපක්ෂ නායක කාලයේ රනිල් වික‍්‍රමසිංහ වරක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ප‍්‍රකෝටිපතියන් වූ හතර දෙනකු ගැන කිව්වේය. ඔහු ඔවුන් හැඳීන්වූයේ 4P’s කියා ය. ඒ ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, සුමල් පෙරේරා සහ අශෝක් පතිරගේ ය. ඒ කියන්නේ මේ පී අකුරෙන් නම් ඇති හතර දෙනාගෙන් අයකු වන නිමල් පෙරේරා මේ මූල්‍ය වංචා චෝදනා කතාවේ චෙක්පත්  සම්බන්ධයෙන් සිටී.

‘…… ඉහත ගිණුම්වල මුදල් තැන්පත් වීමෙන් පසුව එම තැන්පත් වූ මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීමේදී නිමල් පෙරේරා යන අයගේ ගිණුමට අදාළව නිකුත් කරන ලද චෙක්පත් අංක 331894 දරන චෙක්පත් මගින් 2012.10.19 වැනි දින රුපියල් මිලියන 60ක මුදලක් ද, 2012.12.08 වැනි දින අංක 332532 දරන චෙක්පත මගින් රුපියල් මිලියන 38ක් ද, එදින ම සම්පත් බැංකුවේ අංක 206246 දරන චෙක්පත මගින් රුපියල් මිලියන 90ක් ද කිෂින් රාම්චාන්ද් බූටානිට ලබා දී ඇත.’

කිෂින් රාම්චන්ද් බූටානි නමැත්තා සමග ඉඩම් ගනුදෙනුවක් කර ඇති මේ නිමල් පෙරේරාට මේ ආකාරයෙන් අමුතු විදිහට මුදල් තොගයක් ලැබී ඇතැයි හෙළි වී තිබේ.

‘ …… මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු පැවැත්වීමේදී නිමල් හේමසිරි පෙරේරාට අයත් එන්.කැපිටල් සමාගම නමින් අංක 07/01, ගවර් ස්ට්‍රීට්, කොළඹ 05 ලිපිනයේ පිහිටි ඉඩම මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරමින් අත්තිකාරම් මුදලක් ලබා දී ඇති 2012.10.19 වැනි දිනට ආසන්නතම දිනයක් වන 2012.10.18 වැනි දින ක‍්‍රිෂ් සමාගම මගින් නිමල් හේමසිරි පෙරේරා යන අයට අයත් ගිණුම් අංක 006040042001 දරන ගිණුමට රුපියල් මිලියන 40 ක් ද, 2012.11.19 වැනි දින රුපියල් මිලියන 10 ක් එම ගිණුමටමද බැර වී ඇති බවට හා ක‍්‍රිෂ් සමාගම මගින් ම ලබා දෙන ලද රුපියල් මිලියන 20 ක් වටිනා අංක 633216 දරන චෙක්පත 2012.12.18 දින නිමල් හේමසිරි පෙරේරාට අයත් සම්පත් බැංකුවේ 002950014922 දරන ගිණුමට බැර වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.’

ඉන්පසු මේ අතරට නන්දන ජයදේව ලොකුවිතාන ද පැමිණ තිබේ. නන්දන ජයදේව ලොකුවිතාන යනු මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතම ව්‍යාපාරික සගයෙකු ලෙස ප‍්‍රකට අයෙකි. ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු ලෙස පෙනී සිටින්නේද මේ ලොකුවිතාන ය. සජින් ද වාස් ගුණවර්ධන හරහා ය, ඔහු රාජපක්ෂ පවුලේ සමීපතමයකු බවට පත්වන්නේ. ශ‍්‍රී ලංකා වානේ සංස්ථාව නමින් පෙර පැවැති ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 77 කට මිලට ගෙන ඇත්තේද මේ ලොකුවිතාන ම ය. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සමූහය මගින් අනාවරණය කරන ලද සුප‍්‍රකට පැනමා පේපර්ස් වල ද මේ ලොකුවිතානගේ නම සඳහන් වී තිබේ. මේ සියල්ල පැත්තකට දමා ඔහු ගැන හරියටම කියන්නේ නම්,මහින්ද රාජපක්ෂ කාලයේ හදිසියේ ධනවත් වූ අයෙකි.

‘…… එසේ හෙයින් මේ ගනුදෙනුවට සම්බන්ධ වී ඇති කිෂින් රාම්චන්ද් බූටානිට අයත් ගිණුම් වල ද, නිමල් හේමසිරි පෙරේරා යන අයට අයත් ගිණුම් වලද, එන්.කැපිටල් ආයතනයේ නමින් හා නන්දන ජයදේව ලොකුවිතාන යන අයගේ ජාතික හැඳුනුම්පත් අංක 6835……vට අදාළ ව පවත්වාගෙන යනු ලබන සියලුම වාණිජ බැංකු ආයතන මගින් මුදල් හුවමාරු වී ඇති ආකාරය සම්බන්ධයෙන්….’

නාමල් රාජපක්ෂ මේ ක‍්‍රිෂ් ව්‍යාපෘතිය ගැන නොදන්නා බව පැවසුවද, ඇමරිකානු ඩොලර් මිලියන 650ක වටිනාකමකින් යුත් මේ ව්‍යාපෘතියට අදාළ සියලු ගිවිසුම් සකස් කර ඇත්තේ එන්.ආර්. ඇසෝසියේට් නම් නීතීඥ සමාගමයි. මේ නීතීඥ සමාගම කියන්නේ නාමල් රාජපක්ෂට අයත් එකක් බව විමර්ශන අංශ සඳහන් කර තිබිණි. ඒ කියන්නේ බැඳුම්කර කොමිසමේදී ආර්.කේ. කියන්නේ රවී කරුණානායක බව හෙළි වුණා සේ ම, ඒ.එම්. කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් බව හෙළි වුණා සේ ම, එන්.ආර්. කියන්නේ නාමල් රාජපක්ෂ විය හැකිය.

රනිල් – නාමල් – හර්ෂ …… ?

මෙම ගනුදෙනුව සිදු වූ 2013 – 2014 කාලයේ විපක්ෂ නායක ධුරය දැරූ රනිල් වික‍්‍රමසිංහ ඒ දිනවල දිගින් -දිගටම කිව්වේ මේ ක‍්‍රිෂ් ව්‍යාපෘතියේ දී දැවැන්ත කොමිස් ගනුදෙනුවක් සිදු වී ඇති බවයි. 2015 ඔහු අගමැති වූ පසු ඔහු යටතේ තිබූ අමාත්‍යංශයක නියෝජ්‍ය ඇමැතිවරයකු වූ හර්ෂ ද සිල්වා ද ඒ ගැන මාධ්‍යවලට ලිපි ලිව්වේය. දැන් ඒ කිසිවෙක් ඒ ගැන කතා නොකරති.

ඔවුහු එක ම පාරේ ඉදිරියට යමින් ‘මේ අමාරු කාලයෙන් ජනතාව ගොඩ දමන බව’ සපථ කරමින් සිටිති.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...