ඒ පොත ගැන ලියන්නට කල් ගත්තා බොහෝ වැඩිය. රාජකාරි කටයුතු ඉගනීම් කටයුතු හා විවිධ භාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් මට අතපසු වූ ඒ පොත ගැන ලියන්නට දවසක් උදා වූයේ නොසිතු පරිදි ය. කියවා අවසන් කලද ලියන්නට කියා ඉඳගත් විට මට ලියන්නට වාරු නැතිවග පසක් විය. හදවතේ පැත්තක් බර වී නැවත කඳුලක් ඇස් මත්තට ආවෙන් මම තවත් විනාඩි කීපයක් දෑස් වසා උන්නෙමි. මේ කතා තීරු ලිපි සංග්‍රහයකින් හමු වුවද මිනිස් ජීවිතයට කමටහන් කොට ගත හැකි මිනිස් කතා රැසකින් පරිපූර්ණය.
තීරු ලිපි පෙළ වෛද්‍ය බෝධිනී සමරතුංග විසින් ‘’රැස’’ පුවත් පතට ලියන ලද්දකි. මෙහි විශේෂය දකුණේ වෛද්‍යවරයෙකුට නොලැබෙන මට්ටමේ අත්දැකීම් සමුච්චයක් උතුරේදී අත් විදින්නට වෛද්‍යවරියට හැකි වීමය. ඒ සටහන් අපිට කඩතිරයකින් වසා තිබු යමක් තිරය ඉවත්කර පෙන්වීමක් බඳුය. අයිසින් තැවරු කතාන්දර මවා පෑම් හි යතාර්ථය ඇය සටහන් හරහා අප වෙත විවුර්ත කර දක් වන්නීය. ඒ තීරු ලිපි ඇය විසින් නම්කොට ඇත්තේ ‘’ සායනික සටහන් නොවේ’’ යන ලෙසය.
මේ සටහන් කිසිවිටෙකත් සායනික කතා නොවන අතර සමස්ත සමාජයේ ඛේදනීයබව වෛද්‍යවරියකගේ ඇසින් දකින්නේ කෙසේදැයි යන්න නිරාවරණය කරන්නකි . එක අතකින් බලනකළ මේ කතා ලංකාවේ සිංහල දෙමළ බේදයක් නොමැතිව පාඩම් පොත්වලට ඇතුලත් කළ හැකිනම් අපගේ ඊළඟ පරපුර හෝ බොහෝ දේ ඉගනගනු ඇත. බොහෝ දේ පිලිබඳ දැනුවත් වනු ඇත. අනෙකා පිලිබඳ සහනුකම්පනයෙන් යුක්ත වනු ඇත.
වෛද්‍යවරිය ලියන්නේ ඇය උතුරේදී මුහුණදුන් අත්දැකීම් හරහාය. ඒ අත්දැකීම් දිනෙක නැවත මෙරට යුද්ධයක් ඇති නොවන්නට යම්කිසි මට්ටමක හෝ හේතුවක් වනු ඇති වග මගේ විශ්වාශයයි.
‘’ මම බොරු කකුල් දෙකම ගලවා දරුවන් ප්‍රසූත කළ දෙමළ අම්මාවරුන්ට උර දී ඇත්තෙමි. කලපුවෙන් එපිට සොල්දාදුවන්ගේ කරමතින් පැමිණි දරුවන් මුණ ගැසී ඇත්තෙමි. මිනිස් පලිහක් මෙන් තැනින් තැන යමින් බොහෝ කරදර මතින් ගෙවුණු කාලය ගැන ඔවුන් බොහෝ කතා කියා දුනි.
එකම වාට්ටුවේ දෙපස රජයේ සොල්දාදුවන්, අත්අඩංගුවේ සිටි ත්‍රස්තයාත් ඩෙංගු උණෙන් බැට කෑ අවධියක, දෙදෙනාටම එකසේ උවැටන් කළ සිංහල, දෙමළ, මුස්ලිම් සෞඛ්‍ය සේවකයන්ට ඔවුන් සියල්ලන්ම එක මිනිස් ජාතියක උන් විය. ‘’
‘’ දරුවනි යුද්ධ නොකරන්න! එහි වීරකමක් නැත. යලිත් අප උතුර දකුණ බෙදන්නට අර අදින දේශපාලකයන්ට කියා දියයුතු පාඩම එයයි. ‘’ මම කියමි.( පි.30-31)
යුද ජයග්‍රහණ සැමරීම තරම්, රූපවාහිනිය ඉදිරියේ බලා හිදීම තරම්, යුධ නටඹුන් දකින්නට උතුරට චාරිකා යාමට එහා ගිය කඳුළු කතා මෙහි වෙති. වෛද්‍යවරියගේ සටහන් වෛද්‍ය දැනුමින් සුපෝෂිතය. එහි කතා සමාජයේ විවිධ වපසරීන් පිලිබඳ සදහන් කරන්නේ බූවල්ලකුගේ අඬු මෙන් සියලු දිශාවනට හැරවුමක් ඇතිවය.
විදේශ රටකදී ඇගෙන් එහි වෛද්‍යවරියක ඇසු ප්‍රශ්නය පිලිබඳ ඇය කියන්නේ එවන් පසුබිමකය.
‘’ මේ කොරිඩෝ දිගේ ඇවිදගෙන යනකොට ඔයාගේ රටේ ඉස්පිරිතාලේ මතක් වෙනවද?’’
මා අසලින් යන වෛද්‍යවරිය විමසයි.
පතුල බිඳුණු සිමෙන්ති පොළොවේ වල ගොඩලිවල වැටී වැටී ට්‍රොලි තල්ලු කරන, රෝද ගැලවෙන්න ඔන්න මෙන්න තිබෙන මළ බැදුණු පා පුවරු නැති රෝද පුටු මගේ මතකය හාරා අවුස්සයි. එහෙව් කොරිඩෝවල ට්‍රොලියක යන එන අතර පිට කොන්දට දැනෙන අමාරුව අකුරු කළ පිළිකාවකින් රෝගී වී දුක් වින්ද අප අතරින් වෙන් වූ අනුදි රන්මුතු සොයුරියගේ ෆේෂ් බුක් සටහන මතක් වේ.’’ පි.60)
මේ කතා අපිට අමතක වූ යමක් මතක් කරයි. අපේ රටේ ඇති ප්‍රශ්න කොපමණද? ඒවා විසදාගැනීම පසෙක තබා අපි ජාති ආගම් වෙනුවෙන් මරා ගනිමින් සිටිමු. ඒ නයින් බලනකල අප පමණ මෝඩයින් තව කොයින්ද?
යුද්ධයක් යනු සදාකාලික විනාශයක ඇරඹුමක් පමණකි. එහි සීමාව කොහේදැයි කියන්නට කිසිවෙකුත් නැත. ජීවිත පමණක් නොව සංස්කෘතිය, සමාජය, අධ්‍යාපනය, සියල්ල කණපිට ගසන්නට ඒ යුද පිළිලයට හැකිය.
එක දිනෙක හාත්පස දෙදරුම් කමින් ඇසුණේ යමක් පිපිරෙන හඬය. එසැනින් අපි සැවොම කාමර වලින් එළියට ආවෙමු. එහෙවු හඬක් ඇසුණේ අවුරුද්දකින් පසුවය.
‘’පිපිරුමක් වගේනේ’’ යුද්ධය අවසාන වී වසර දෙකක් පමණ ඉකුත් වී ඇති නිසා අපට වූයේ කුතුහලයකි.
‘’ ළමයි වගයක් කැලේ පැත්තට වෙන්න සෙල්ලම් කරන්න ගිහින් බෝම්බයක් හමුවෙලා. ඒක අල්ලන්න යද්දී පිපිරිලා. ළමයි පස්දෙනෙක් විතර තුවාල වෙලා ගෙනාව. තුන්දෙනෙක් බේරගන්න අමාරු වුණා. එකම පවුලේ දෙන්නෙක්ම මැරුණා.’’ කෙනෙකු කීවේය.
ඔය වගේ කතාවක් අසුනේ පළමු වරටය. ඒත් ඉන්පසු ආයෙත් ඒ කතාව මතක් කළේ හෙදියක විසිනි.’’ ඩොක්ටර් මතකද අර දරුවෝ පස් දෙනෙක් කැලෑවෙඩි හම්බවුන බෝම්බයක් එක්ක සෙල්ලම් කරන්න ගිහින් පිපිරුණා. ඒ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා තමා ඔය ක්ලිනික් එන්නේ’’මනෝ වෛද්‍ය සායනයේ ඇය හිඳගෙන සිටියාය. කිසිදු ජීවී බවක් නොමැති මුහුණෙන් ලොකු කතාවක් කියැවිණි. ( පි.125-126)
මේ කතා කියවන අපිට ඒ හැගීම් ගැන තේරුම් ගැනීමට හැකිනම් ඒ අපි මිනිසුන් ලෙස අනෙකා ගැන සිතන බවට එක ලකුණක් වනු ඇත. මේ සියලු සිද්ධි කියවා බැලූ කළ මේ බිමේ වෙසෙන මිනිසුන් කොපමණ දුක් විදින්නට ඇද්දැයි සිතේ. තවදුරටත් අපි යුද සැමරුම් කරමින් යුද්ධය උත්කර්ෂයට නංවාලීම යුතුදැයි අපෙන්ම අසන්නට පෙළඹ වීමක් ඇතිවේ.
බෙහෙත් පෙත්තක් ගන්නට රුපියලක් නැති අසරණ ජීවිත, තම පියා අතින් දුෂණය වූ දියණිවරු , අවුරුදු ගාණකට පසුව තම සහෝදරිය හමු වූ මාලනී අම්මාලා, මුලින් ත්‍රස්තවාදී ලේබලය හිමි මිනිසෙකු ගේ බිරිදකව සිටි අයෙක් ඔහුගේ මරණයෙන් පසු හමුදා සෙබළකුගේ බිරිදකවී ජීවිතය ගතකරන අයුරු,ආදී විවිධ සමාජ අඩහැරයන්ගෙන් යුත් මේ වන් කතා ගොන්නක් රැගත් ‘’ සායනික සටහන් නොවේ’’ කෘතිය වැනි කෘතීන් තවත් කාලයකට මේ බිමේ යුද්ධයක් ඇති නොවී වීමට සීමාවක් පනවනු ඇත. ඒවා කියවන මිනිසුන් යුද්ධය තව දුරටත් ජයග්‍රහණයක් නොවන බව වටහා ගනු ඇත. එවන් යුදමය ආකල්ප පිරි මානසික ව්‍යාධි ඔවුන්ගේ සිත් තුලින් දිය වී යනු ඇත. මෙම කෘතිය මේ වනවිට දෙමළ බසට පරිවර්තනය වී තිබීමද සතුටට කාරණාවක් වන අතර ‘’ කලපු දිගේ පමණක් රස්තියාදු ගහන්නට කැමති මිනිසුන්ට රෝහල් වලද රස්තියාදු ගසා ශාපලත් යුද්ධයක නටඹුන් දකින්නයි ඉල්ලමි’’.
උතුරටත් දකුණටත් කීමට ඇතිදේ වෛද්‍ය බෝධිනී බොහෝ සරලව පැහැදිලිව කියා දී ඇත. මිනිසුන් මිනිසුන් ලෙස ජීවත් වනු මිස කුළල් කා ගැනීම් ඔස්සේ ඉතිරි වන්නේ ලේ, කඳුළු පමණකි. එහෙයින් කිසිදු විටක ජාතිවාදය වැපිරීමෙන් වැළකිය යුතුය. අප සටන් කල යුත්තේ සමාජයට පිළිලයක් වන අන්තවාදී සටකපට දේශපාලකයන් පළවා හරින්නට පමණි.