‘මනුෂ්‍යයන් පෘථිවියේ සමබරතාවයට බාධා කරන්නේ නම් ඔවුන්ටද අත්වන්නේ පිදුරු බල්ලන්ගේ ඉරණම’ – ජෝන් ග්‍රේ

Share post:

“පිදුරු බල්ලෝ”- ජෝන් ග්‍රේ
පරිවර්තනය‍: ලියනගේ අමරකීර්ති

අප ජීවත්වන ලෝකය කෙසේ වෙනස් විය යුතුද යන්න පිලිබදව වාමාංශික, ජාතිකවාදී, නව ලිබරල්වාදී යනාදී වශයෙන් වන විවීධ දේශපාලන ධාරාවන්ට විවිධ අදහස් තිබේ. වඩාත් සංකීර්ණ සමාජවල මීටත් වඩා චින්තන ධාරාවන් එකිනෙක හා සටන්කරමින් පවතියි. එහෙත් මෙම බොහෝ අදහස් පද්ධති තුල පරිසරය නම් සාධකය සැලකිල්ලට ගැනෙන්නේ මද වශයෙනි. එය සාකච්ඡාවට ගැනෙන්නේද පාරිසරික අර්බුද සහ බලශක්තියේ හිගබව වැනි ගැටළුවලට අදාල කරගනිමින් පමණකි. එහිදී ලෝකය ජය ගැනීමට නියමිත මිනිසා ඉදිරියේ පවතින නවතම අභියෝග වශයෙන් මේවා සාකච්ඡාවට ගැනෙයි.

යුරෝපීය චින්තනය පිලිබද මහාචාර්යවරයෙකු වන ජෝන් ග්‍රේ මෙම පොත තුල ඉදිරිපත් කරන්නේ මානව කේන්ද්‍රිය චින්තනය කෙරෙහි වන ප්‍රබල විවේචනයකි. ප්ලේටෝගේ සිට ප්‍රබුද්ධත්ව චින්තකයන් හරහා පශ්චාත්නූතනවාදය දක්වා වන චින්තන පද්ධතියත්, කිතු දහමේ සිට විද්‍යා-තාක්ෂණ කතිකාව හරහා ඇදී එන මිනිසාගේ විමුක්තිය පිලිබද අදහසත් චිචාරයට ලක්කරන කතුවරයා ඒවායේ ඇති මානව කේන්ද්‍රියත්වය සාකච්ඡාවට ලක්කරයි. අනෙක් අතින් ඒක පුද්ගල ආත්මීයබව මායාවක් ලෙස වටහා ගන්නා බුදු දහම සහ වේදාන්ත දර්ශනයද විමසා බලන ඔහු පෙන්වා දෙන්නේ එතෙකුදු වුවත් මිනිසා සෙසු සත්වයන්ට වඩා වෙනස් වෙතැයි සලකන්නේ නම් මිස එවන් මායාවකින් ගැලවීම කල හැක්කක්ද නොවන බවයි.

පක්ෂ විපක්ෂ ප්‍රතිචාර රැසකට තුඩුදී ඇති ආන්දෝලනාත්මක කෘතියක් වන මෙම කෘතිය තුල කතුවරයාගේ ප්‍රධාන තර්කය වන්නේ මිනිස් වර්ගයා එකිනෙකා මෙන්ම අවට ලෝකයද වනසා දැමීමට මූලික හේතුව වන්නේ මානව කේන්ද්‍රීය චින්තනය බවයි. ඒ වෙනුවට ඔහු මිනිසාගේ භූමිකාව සමාන කරන්නේ පුරාණ චීන පුද පූජා තුල යොදාගැනුණු පිදුරුවලින් තනන ලද බල්ලන්ටය. පූජාව තුලදී ඉහලම ගෞරවයෙන් යුක්තව සැලකුණු පිදුරු බල්ලන් එයින් අනතුරුව පයින් පාගා පසෙකට විසි කෙරිණි. මනුෂ්‍යයන් පෘථිවියේ සමබරතාවයට බාධා කරන්නේ නම් ඔවුන්ටද අත්වන්නේ පිදුරු බල්ලන්ගේ ඉරණම බව ග්‍රේ පෙන්වාදෙයි.
විද්‍යාව, ප්‍රගතිය, දර්ශනවාදය ගැන උනන්දුව සැමදෙනෙකුටම වැදගත් විය හැකි “පිදුරු බල්ලෝ”, විදර්ශන ප්‍රකාශයනයකි.

නිශාන්ත කුලරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...