සුභ ගමන් ටෝරී. ස්තුතියි ඉතිරි කරල ගිය මතකයන්ට

Share post:

ටෝරි බෝවී කියන්නෙ මළල ක්‍රීඩා ලෝකයට අමුතු නමක් නෙවෙයි.
2017 අවුරුද්දෙ ලන්ඩන් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේදී මීට‍ර් 100 ඉසව්ව තත්පර 10.86 කට නිම කරමින් රන් පදක්කම දිනාගත් ටෝරී ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වෙනව.

බොහොමයක් “ඇමරිකානු අප්‍රිකානු” වගේම ජැමෙයිකානු ක්‍රීඩිකාවනුත් වැඩුනු මාංශපේශීන් සහිතව ජව සම්පන්න ක්‍රීඩිකාවන් වගේ දිස්වෙද්දි.. ටෝරි අයිති වුනේ ඇලිසන් ෆෙලික්ස් වගේ කෙසඟ… නම්‍යශීලී ශරීරයක් ඇති සාමාන්‍ය ක්‍රීඩිකාවන්ගේ කොටසට.

කළුම කළු හමක් ඇති ටෝරිට එයාගෙ කණ්ඩායමේ අය කියන්නෙ “උඹ හිනාවෙන්නෙ නැතිව කළුවරේ ඇවිදින්න එපා අපිට උඹව පේන්නෙ නෑ” කියල.

1990 අවුරුද්දෙ මිසිසිපි ප්‍රාන්ථයේ දුප්පත් ගමක ඉපදෙන ටෝරී මුල්ම කාලෙදි ජීවත් වෙන්නෙ අනාථ නිවාසයක වුනත් එයාගෙ මිත්තනිය එහෙමත් නැත්තං ආච්චි ටෝරිව තමන්ගෙ ලඟට ගන්නව.

ටෝරිට වඩා වයස අවුරුදු අටකින් වැඩි තමාරාත් ..ටෝරිත් වරින් වර මිත්තනිය ලඟත්… අනාථ නිවාස.. පාසැල් නේවාසිකාගාර තුලත් ජීවත් වෙන්නෙ මව හා පියා දෙදෙනාම මේ දරුවන් දෙන්නම අත් හැරල ගිය නිසා බවයි නිව්ස්වීක් සඟරාව සඳහන් කරන්නෙ.

දුප්පත් කමින් දිගින් දිගටම පීඩා වින්දත් මේ දෙන්නම ක්‍රීඩාවට බොහොම දක්ශයි.
වැඩිමල් සොයුරිය තමාරා මිසිසිපි කන්ඩායම හරහා ඇමරිකානු ජාතික කන්ඩායම දක්වා ගමන් කරන්නෙ බාස්කට් බෝල් ක්‍රීඩිකාවක් විදිහට.

බාස්කට් බෝල් හා මළල ක්‍රීඩාව යන අංශ දෙකටම දස්කම් දක්වන ටෝරි එන්. සී ඒ. ඒ හෙවත් අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා තරඟ වල දස්කම් දක්වන්නෙ දුර පැනීමේ ඉසව්වෙන්.

“මිසිසිපි විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබීම මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනව.
අළුතෙන් කියන්න ඕනෙ නෑ… මම වීදියේ දරුවෙක්. මම සෙල්ලම් කලේ හැදුනෙ වැඩුනෙ වීදියේ යාළුවොත් එක්ක.”
“මිසිසිපි විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනු මුල් කාලෙම වුනු එක සිද්ධියක් නිසා මගෙ ඔළුව සම්පූර්ණයෙන්ම වෙනස් වුනා කියන්න පුළුවන්.

දවසක් මොකක්දෝ දේකට විහිළු කරමින් ඉද්දි මගෙ ඇස් ඇරුනෙ උණ්ඩ පුරවපු පිස්තෝලයක් ඔළුවට එල්ල කරන් ඉන්න මනුස්සයෙක් නිසා.

මම කීවා ටෝරී මේ තමා අවසානය… දැන් ඉතින් ඔක්කොම ඉවරයි කියල.
ඒත් එදා ඒ පිස්තෝලය පත්තු වුනේ නෑ….

මට යන්න තැනක් තිබුනෙ නෑ…. පිහිටක් හොයන් යන්න තිබුනු එකම තැන ධාවන පථය..
මීට කලින් ධාවන පථයට ගියේ විනෝදෙට… වෙන කරන්න දෙයක් නොතිබුනු නිසා.
නමුත් මේ පිස්තෝල සිද්ධියෙන් පස්සෙ මං හිතුව යමක් වෙනස් වෙන්න ඕනෙ කියල.”
2015 බෙයිජින් ලෝක ශූරතාවයට සූදානම් වෙද්දි මට අනුග්‍රාහකයෙක් වත් හිටියෙ නෑ. නමුත් ඒ අවුරුද්දෙ දිනපු මීටර් 100 ලෝකඩ පදක්කමත් එක්ක හැමදේම පහසු වෙනව.

පිස්තෝල සිද්ධිය වෙලා අවුරුදු තුනකට පස්සෙ ඔලිම්පික් පදක්කම් තුනක් එක්ක මෙන්න මං ඇවිත් ඉන්නව. ටෝරී බෝවි හිනා වෙමින් මෙහෙම කියන්නෙ සී එන් බී සී වාර්ථා වැඩසටහනකදි.

මීටර් 200 ලෝකඩ පදක්කම… මීටර් 100 රිදී පදක්කම.. වගේම ලෝකයේ දෙවන වේගවත්ම කාලය වාර්ථා කරමින් මීටර් 100x 4 රන් පදක්කමත් දිනාගන්න ටෝරි බෝවී සමත් වෙන්නෙ 2016 රියෝ ඔලිම්පික් උළෙලේදීයි.

ඉන් පස්සෙ 2017 අවුරුද්දෙ ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව වෙමින් මීටර් 100 රන් පදක්කම හා මීටර් 100 x 4 රන් පදක්කම කියන පදක්කම් දෙකම ටෝරි බෝවිගේ නම ඉදිරියෙන් සටහන් වෙනව.

දුප්පත් පවුලක ඉපදිලා… අම්ම තාත්තවත් හරියට නොදැන… මිත්තනිය ලඟත් අනාථ නිවාස වලත් හැදුනු වැඩුනු ටෝරි බෝවී ලෝකයේ වේගවත්ම කාන්තාව වුනු එක ගැන ලෝකය පුරාම පුවත් මැවෙනව.

ටෝරි බෝවිගේ පෞද්ගලික දක්ශතා විදිහට සඳහන් වෙන්නෙ.
මීටර් 100 තත්පර 10.78
මීටර් 200 තත්පර 21.77
දුර පැනීම මීටර් 6,95

එතනින් පස්සෙ ක්‍රීඩාවට ඒ තරම්ම තැනක් ටෝරි බෝවි වෙන් නොකලත් 2019 දෝහා ලෝක ශූරතා තරඟා වලියෙ දුර පැනීමේ ඉසව්වේ හතර වෙනි තැන ලබා ගන්න එයා සමත් වෙනව.

විලාසිතා හා ඇඳුම් නිර්මාණ ක්ශේස්ත්‍රයේ ඉඳල හිටල දකින්න ලැබෙන ටෝරි බෝවී ගැන නැවත අහන්න ලැබෙන්නෙ ලෝක ශූරී ශෝන් මිලර්ට කරපු විහිළුවක් බහින් බස් වීමක් දක්වා දුර දිග යාම නිසයි.

” ඔයා මීටර් 400 දුවන්න ඔච්චර මහන්සි වෙන්නෙ අපරාදෙ…”
මිලර් අහනව මොකද්ද ඒ කතාවෙ තේරුම…
“ඇයි අර මීටර් 400 ඉවර කරන්න පැන්න වගේ දුර පැන්න නම් ඔයාට ලෝක වාර්ථාවකට යන්න තිබ්බ… පනින්න ඉපදුනු අය දුවන්නෙ අපරාදෙ..”

ටෝරි කියන්නෙ කිසි දෙයක් ගණන් ගන්නෙ නැති නිතරම විහිළුවෙන් විනෝදයෙන් හිටපු චරිතයක් බව මළල ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ හැම දෙනාම දන්න කාරණයක්…
ටෝරි එක්ක ඉන්න හැම මොහොතකම බඩ අල්ලගෙන හිනා වෙන්න වෙනව.. සමහර වෙලාවට විහිළුව මොකද්ද… ඇත්ත මොකද්ද කියල හිතා ගන්න අමාරුයි. මේ වගේ දෙයක් ඉන්ග්ලිශ් ගාඩ්නර් කියන්නෙ.

ගිය අවුරුද්දෙ හදිසියේම අහන්න ලැබෙනව ටෝරිගෙ වැඩිමල් සහෝදරිය තමාරා මියගිය බවට .. ඒක සියදිවි හානිකර ගැනීමක් බවට සමහර වාර්ථාවල සඳහන් වෙනව.

අද දවසෙ උදේ අහන්න ලැබෙන්නෙ ඒ වගේම කණගාටුදායක ආරංචියක්.

ෆ්ලොරිඩා ප්‍රාන්ථයේ තමන් පදිංචි වෙලා හිටපු නිවසෙදි ටෝරි බෝවිගෙ සිරුර හොයා ගත් බවට ඇමරිකානු මළල ක්‍රීඩා සංගමය නිවේදනය කරනව.

ෆ්ලොරීඩා පොලීසිය සැක කරන්නෙ මේත් සියදිවි නසා ගැනීමක් විදිහට. ඒ නිල නොවන වා‍ර්ථාවක්.
තමන්ගෙ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබන ශර්ලි ඈන් ෆ්‍රේසර් සඳහන් කරන්නෙ..
මේක දරාගන්න අමාරු… විශ්වාස කරන්න අමාරු පුවතක්….

“ධාවන පථයට ආලෝකය අරගෙන ආපු මේ සුන්දර ක්‍රීඩිකාව අද අප අතර නැති බව හිතන්නත් අමාරු දෙයක්… පවුලේ අයත් එක්ක මේ ශෝකය බෙදා ගන්න එක්වෙනව” යනුවෙන්.

ලෝකයම දිනපු මිනිස්සු ඉන්නව…. නිතරන හිනාවෙන මිනිස්සු ඉන්නව… හැමෝටම උදව් කරන සන්තෝසෙන් ජීවත් වෙනව වගේ පේන මිනිස්සු ඉන්නව.
ඒත් අපි මොනවද දන්නෙ… ?

ඒ අය මොන විදිහේ සටනකද ඉන්නෙ කියල අපි දන්නෙ නෑ. තමන්ගෙ හිත ඇතුලෙ ඒ මිනිස්සු මොන යුද්ධයක් කරනවද කියල අපි දන්නෙ නෑ.

විනිශ්චය කරන්න ලේසියි… නමුත් අදාල පුද්ගලයගෙ චරිතය තුල ජීවත් වෙන්න ලේසි නෑ.
ටෝරි කියන්නෙ පුංචිම තැනකින් ඇවිත් ලෝකයේ හිනි පෙත්තටම ලඟාවුනු ක්‍රීඩිකාවක්.
එයාගෙ මරණය ගැන කණගාටු හිතෙන හැම වෙලාවකම මතක් වෙන්නෙ ශෝන් මිලර්ට කියපු කතාව..

එතකොට අර කණගාටුව යටපත් වෙලා හිනාවෙන්න හිතෙනව.
සුභ ගමන් ටෝරී. ස්තුතියි ඉතිරි කරල ගිය මතකයන්ට.

Tori Bovie – 1990 . 2023

Malcolm Sang

Related articles

මතීෂ, චෙන්නායි සහ ශ්‍රී ලංකාව

IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටිනා මතීෂ පතිරණගේ හැසිරීම සහ ප්‍රකාශ සමීපයෙන් නිරීක්ෂණය කිරීම අශ්වාදජනකයි.මතීෂ ඊයේත් ඉන්දීය මාධ්‍යයට අපූරු...

පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන...

උමා ඔය : හදිසියෙන් චරිත සහතික දෙන මහත්වරුන් වෙතටයි !

දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල කියූ ගමන් නොතේරුණාට උමා ඔයේ විදුලි බලාගාරයට ඉහළින්...

ගෝඨාභයගේ වැඩ තහනමට එරෙහි ශානිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් !

2019 ජනාධිපතිවරණයෙන් පසු පොලිස් සේවය තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...