අරගලකරුවන් සොයාගත් ගෝඨාභයගේ එක්කෝටි හැත්තෑ ලක්ෂය : සීඅයිඩිය – නීතිපති නඩුව අත්හරී ?

Share post:

ජනාධිපති මන්දිරයෙන් සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඊයේ (03) විමර්ශන අංශ නියෝජනය කරන නිලධාරීන් හෝ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥයන් හෝ කිසිවකු සහභාගි නොවීම දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

ඊයේ මෙම නඩුව එම අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවන ලදි. එහිදී හෙළි වූයේ මෙම මුදල් සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිවකු නඩුවට පැමිණ නැති බවයි. එසේ ම පොලිස් නීති කොට්ඨාසයෙන් කිසිවකු ද ඊයේ සහභාගි වී සිටියේ නැත. එසේ ම මීට පෙර නඩු වාරයේදී මේ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද නොතිසි නිකුත් කෙරිණි. එම කොමිෂන් සභාවෙන් ද කිසිවකු ඊයේ සහභාගි වූයේ නැත.

නඩුව පවත්වාගෙන යන නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ද කිසිදු නීතිඥයකු නඩුවට සසභාගි නොවූ අතර, මේ කිසිදු පාර්ශ්වයක් මෙසේ නඩුවට සහභාගි නොවන බව පෙර දැනුම් දී තිබුණේ ද නැත.

මේ නිසා නඩුව ලබන 10දාට කල් තැබිණි.

විමර්ශන මාරු කරයි

මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන පවත්වාගෙන ගියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයයි. ඉන්පසු හදිසියේ ම එම විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලදි.

‘ඒ සල්ලි මගේ’

මෙම මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් බව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය පෙබරවාරි 08දා ඔහුගේ නීතිඥයන් විසින් දැනුම් දෙන ලදි. එම මුදල ගෝඨාභය රාජපක්ෂ වෙත මුදාහරින ලෙස ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තියට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. එසේ ම මෙම මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත් යටතේ මෙන්ම අල්ලස් පනත යටතේ ද විමර්ශන කළ හැකි යැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ඒ අනුව මෙම මුදල සම්බන්ධයෙන් වන විමර්ශනය අවසන් වන තෙක්, එය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළේය.

නිවසට ගොස් ප්‍රකාශයක් ගනී

පසුගිය පෙබරවාරි 07දා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. ඒ, ඔහු දැනට පදිංචි නිවසට ගොස් ය. මෙම ප්‍රකාශය පැය 03කට ආසන්න කාලයක් සටහන් කරගෙන තිබිණි. මෙම මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා නියෝග කෙරිණි.

මේ අතර මෙම මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ මීට පෙර කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉස්සරහට බලාගන්නම්’

තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළේය. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමන්ගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පැටලවීමට උත්සාහ ගැනීමක් හෝ තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කිරීමේ හෝ බියකින් තමන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් තමන් සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාසයක්

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේ ම මෙය සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

දුරකථන වාර්තා අවශ්‍යයි

මෙහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බවයි.

මේ අතර මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට විරෝධය පළකරමින් නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් ය.

එසේ විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදුවන්නේ විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදුකරන නිසා වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ගෝඨාභයගේ නිදන කාමර මුදල්

ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් පසුගිය ජූලි 09දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයාගන්නා ලදි.  ඉන්පසු එම මුදල් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ වෙත බාර දී තිබිණි.

දේශබන්දු ස්ථානාධිපතිට කළ බලපෑම

එසේ බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර, ටිරාන් අලස් ඇමතිවරයාට ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර කොටුව අධිකරණය ඉදිරියේ පැවසීය.

එසේ බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, කොටුව පොලිසිය මෙම මුදල් සොයාදුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වමින් සිටී.

Related articles

IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි !

සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන...

ඝාතකයන් සැඟවෙමින් බුද්ධි අංශවලින් මහ මොළකරුවන් පැළ කරන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය !

2019 අප්‍රේල් 21 දින සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩු බලය හෙබවූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සමීප රාජ්‍ය...

‘අපි ලංකාවේ පුරවැසියන් නෙමෙයි ද?’ – ආණ්ඩුවලට නොපෙනෙන උතුරේ දූපත් ධීවරයන්ගේ විඳවන ජීවිත !

උතුරේ දූපත්වල ජනතාව ජීවත්වන්නේ කෙසේද? යාපනය අර්ධද්වීපයේ වෙරළට එහායින් පිහිටි කයිට්ස්, අනලතිව්, එළුවතිව්, නයිනතිව්, මන්ඩතිව් සහ පුංකුඩුතිව් දූපත්වල...

අලුත්ගම බොදුබල සේනා භීෂණය මැද මුස්ලිම් මිනිසුන් බේරාගත් තෙවරප්පෙරුම !

‘එදා ඒ ගමන යනතුරුම දිගින් දිගටම අපට පහර දුන්නා. මා ඒ අය නාගොඩ රෝහලට අරගෙන ගියා. මා හිතුවා...