අලුත් කවියෙකුගේ කිවිඳියකගේ ආගමනය සිරියක් බව චූලානන්ද සමරනායක මෑතකදි ප්‍රකාශ කර තිබුණි. එම කතාවට චූල එකතු කිරීමක් කරන්නට මට අවසර දෙන්නේනම් මම මෙසේ කියමි. අලුත් කවියෙකුගේ ආගමනය සිරියක් වන අතර කිවිඳියකගේ ආගමනය ඉමහත් අසිරියකි. මන්ද යත්, ඇය කවි ලියන්නේ වැඩ ඇරී වැඩට ගොස් සියළු වැඩ අහවර කිරිමෙන් ද පසුව බැවිනි. කවියක් බිහිකිරීම වෙනුවෙන් කිවිඳියන් ගන්නා ඒ අපමණ වෙහෙස නිසා කිවිඳියන් කෙරෙහි මා සිත තුළ වෙසෙස් ගෞරවයක් ඇති බව මින් පෙරද මම පවසා ඇත්තෙමි. ඒ හද පිරි ගෞරවයෙන් ම ඉන්ද්‍රා ලියනගේ කිවිඳියගේ ස්නේහයේ කඳු හිස කරා කාව්‍ය සංග්‍රහය අතට ගතිමි.
තමා එදිනෙදා ගැටෙන සමාජ පසුබිමෙන් කවි අත්දැකීම් අහුලා ගන්නා කිවිඳිය සිය භාෂා පරිචයේ රස මුසුවෙන් ඒ අත්දැකීම් මත කාව්‍ය රස තවරන්නීය. සරල බසින් අමුනා ගන්නා වදන් යට ඇය සඟවන සංකේතාර්ථ කවිය පෞද්ගලික වපසරියෙන් මුදවා පොදු උස තැනකට ගෙනය යි. “ඒ පුවත මට නොඇසුනා නම්..!” යන මැයෙන් යුතු කවිය ඒ සඳහා කදිම නිදසුනකි. කවියට සමීප අත්දැකීම වන්නේ තමාගෙන් අකුරු උගෙනගත් සිසුවෙකු උතුරු යුධ බිමේදි අතුරුදහන් රණවිරු ලැයිස්තුවට එකතු වූ බව, වසර ගණනකටන් පසුව ගුරුවරියකට දැන ගන්නට ලැබීමයි. මේ එම කවියේ අවසන් කොටසයි.
කණේ පුපුරන වෙඩි හඬින් හිත ගැස්සුණා මතකයි එදා
අනේ නුඹ අවි අතට ගත්තේ රට රකින්නද, හිත හදා
වුණේ කිමදැයි කියාපන් ඇයි නො ආවේ අපහු සදා
වනේ මැද ඇස් පියවුණිද පුත, මහ පොළොව දෑතින් බදා
මෙම කවිය රසිකයාට සිහිපත් කරන්නේ තෝමස් හාඩි කවියාගේ “The Man He Killed” නම් යුධ විරෝධී කවියේ එන
“He thought he’d ‘list, perhaps,
Off-hand like — just as I —
Was out of work — had sold his traps —
No other reason why. යන සංවේගාත්මක ස්ටැන්සාවයි. (වෙන මුකුත් හේතුවක් නොතියෙන්නැති මං හිතන්නේ ඌත් උගුලේ පැටලිලා වෙන්ටෑ. මං වගේ ම නිකමෙක් වෙන්ටෝනා – අතපල්ලෙන් වැටිච්චි ගානට ඌගේ නමත් තියෙන්න ඇති ලැයිස්තුවේ බාගදා. – කථකයා තමාගේ වෙඩි පහරින් මියගිය සතුරා පිළිබඳව දුක්වෙන්නේ එසේ සිතමිනි) තෝමස් හාඩි සඳහන් කරන ලැයිස්තුව අපට හුරුපුරුදු, රැකියා විරහිතයන්ගේ නාම ලේඛණය හෝ සමෘද්ධි ප්‍රතිලාභ හිමියන්ගේ ලැයිස්තුව වැන්නක් හෝ විය නො හැකිද?
“අනේ නුඹ අවි අතට ගත්තේ රට රකින්නද, හිත හදා” යනුවෙන් කිවිඳිය අසන අතීශය දේශපාලනික පැනයට ජාතියක් හැටියට අදත් අපට පිළිතුරු නැති තවත් එක් ගැටළුවක් පමණි.
පෙර පරපුරේ ප්‍රවීණයන්ගේ කවි කියවීමෙන් ආඝ්‍රාණය කෙරූ ගුණ සුවඳ “කුඩලිගම කිවිඳුනේ මාත් හිටියා එතැන” යන හිසින් යුතු කවිය සඳහා කිවිඳියට මග සැදුවා වන්නට පුළුවන. සොබාදහමේ සුන්දරත්ත්වය ආස්වාදනය කිරීමෙන් ලබන නිරාමිස සුවයෙන් අනූන ගැමි ලියක් වසන පරිසරය පිලිබඳ භාවාත්මක වර්ණනයක් කුඩලිගමයන්ගේ “සිරිමලි” කවියට පාදම වූ බව කිව හැක. එහෙත් ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය කුඩලිගමයන් දුටු සිරිමලිය අතිනිෂ්ක්‍රමණය කරන්නේ තත්කාලීන සමාජ විපර්යාසය අතර සිරිමලිය තබමිනි. මේ එම කවේ කොටසකි.
තිරිඟු ඇට මිටක් දී පරවියන් හා දොඩන
ගී කියන දර කඩන ඕලු කෙකටිය නෙලන
ඈ නමින් සිරිමලිය, යෙහෙළියන් අපි දෙදෙන
නෑ කෙනෙක් මෙනි අපට එදා ඒ උණ හෙවණ
එච් එම් කුඩලිගමයන්ගේ සිරිමලීට මෙන් ගඟ අසල කෙකටිය ඕලු නෙලන්නට හෝ ගී කියමින් දර කඩන්නට හෝ අද දවසේ සිරිමලිට ගමක් ඉතිරිව නැත. ගම සිදාදියට ආවේ මින් දශක කිහිපයකට පෙරය. ඉන් පසු සංවර්ධනය රැගෙන නගරය ගමට ගොස් ගමේ ගස් කපා, පස් හාරා, කුඹුරු ගොඩකර, ඉඩම් කට්ටි වෙන්කර මහත් ඓශ්චර්යක් ඇති කළේය. ඒ ඓශ්චර්ය කිවිඳියගේ වේදනාව තර කළ ආකාරය ඇය කවියට නගන්නේ මෙසේ ය.
ගලා යන ගඟක් විය, ඉසව්වේ ඔය කියන
මලානික සැදෑවල අඬන්නට අදින
පලා ආ නමුත් මම, නතර විණි ඇය එතැන
බලා ඉන්නවද ” සිරිමලි”නුඹ තව ඔතන?
ඔතනින් ඉවත් වී උඹත් වරෙන් සිරිමලී යන සානුකම්පිත ඉල්ලීමය අප සවන් තුළ දෝංකාර නගන්නේ.
වස්සානයේදී යම් උද්‍යානයක් පසුකරගෙන ගිය කුරුල්ලෙකු ගිම්හානයේදි නැවත පැමිණීම යන සිදුවීම පරිකල්පනයට කැඳවා කෙරෙන කතා බහක් “කිම මේ තරමට තනු හිඟ”නම් කවියේ නිමිත්ත වෙයි. වසන්ත, ගිම්හාන ඍතු සහා කුරුල්ලෙකු ඇසුරෙන් කිවිඳිය සංවාදයට කැඳවන එකී කවිය තුළ මිනිස් ජීවිතයේ අතර මැද අකලට අහේතුකව සිදුවන විප්පයෝගයන් ගේ වේදනාව ඝනව තැවරී ඇතැයි සිතමි.
නැති වූ තනු සොයමින් එන විහඟුන් බොහොමයි ඍතු අග
සැඟවූ තැන අමතක වී හාරයි කඳුවැටි, බිම ලැග
දියවූ තැණ් මතම හැපෙනු, කිම මේ තරමට තනු හිඟ
පියවු නැති ගනුදෙනුවක, විඳ විය යුතු තැන් ඇත හුඟ
නැති වූ තනු ඍතු අග එන විහඟුන් යන රූපකය මුලු මහත් කවියම එක මිටට ගෙන දමා ගසා හදවත පසාරු කළ ඊයම් බරුවක් වැනියැයි රසිකයාට සිතෙයි.
විවිධ ඉසව් සඳහා නිදසුන් දක්වමින් දීර්ඝව කතා බහ කරන්නට හැකි රසවත් කවි එකතුවක් මෙම කාව්‍ය සංග්‍රහයේ ඇතුළත්ව ඇත.ෙහෙත් මෙම සටහන අනවශ්‍ය ආකාරයට දීර්ඝවීම වළකාගත යුතුව ඇත. දුකට එය ද හේතුවකි. හෙළ කවි කෙතට කුළුඳුලේ ආ ඉන්ද්‍රා ලියනගේ කිවිඳියට ඇයගේ කවි මං තලාවේ තව තවත් සුවදැති මල් පිපේවායි ආදරයෙන් සුබ පැතුම් පතමි.