එක්ස්ප්‍රස් පර්ල් : විජයදාස පාර්ලිමේන්තුවෙදි කිව්වෙ බොරු – විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් : නැවට යන්න දුන්නු නිසා අපි දුක් විඳිනවා – ඇමති  

Share post:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයනාත් කොළඹගේ thetime.lk වෙත පැවසීය.

එම අසත්‍ය ප්‍රකාශ සිදුකරන්නේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලි නැතත්, ඒ පිටුපස සොයාබැලිය යුතු වෙනත් කතාවක් තිබිය හැකි යැයි ද ඔහු සඳහන් කළේය.

මෙම නෞකාව ගිනි ගැනීමෙන් පසු ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙනනොයන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබියදී එය මුදාහැර තිබූ බවත්, මේ හේතුව නිසා අදාළ විනාශය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ අධිකරණ ක්‍රියාමාර්ගවලදී බරපතළ ගැටලුවලට මුහුණදෙමින් සිටින බවත් අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

එම බරපතළ නියෝගය ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ එවකට ලේකම් ධුරය දැරූ ජයනාත් කොළඹගේ බව ද ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමසීමට අප හිටපු ලේකම්වරයා සම්බන්ධ කරගත් අතර, එහිදී ඔහු ඉහත අදහස් පළකළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස තමන්ට එවැනි නියෝගයක් ලබාදීමේ හැකියාවක් නැති බවත්, එවැන්නකට මැදිහත් වීම තමන්ගේ කාර්යයක් නොවූ බවත් සඳහන් කළ හිටපු අමාත්‍යංශ ලේකම් කොළඹගේ, කෙසේ වෙතත් තමන් මේ වන විට විදේශගතව සිටින නිසා මෙම ප්‍රකාශ සිදුකරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් පළකළ නොහැකි බව ද පැවසීය.

මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව නොසිටි බව ද අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම විනාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර සොයාබැලිය යුතු බවත්, මෙහි වගකීම කවුරුන් හෝ බාරගත යුතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

‘එදා නැවට යන්න දුන්නු නිසා අධිකරණවල නඩු දෙක තුන දාගෙන විත්තිකාරයො හොයාගන්න බැරුව සිතාසි ටික බෙදාගන්න බැරුව අපි දුක් විඳිනවා. අපේ අලාභය ලැබෙන්නෙත් නෑ. හානියට වන්දියක් ලැබෙන්නෙත් නෑ.’

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25ක අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි ද මෙහිදී විජයදාස රාජපක්ෂ ඇමතිවරයා සඳහන් කළේය.

තමන්ට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000 ගිණුම් අංක 154793334 iban number GB 53nwbk 50000015479234Bicnwbkb 2L ඇමරිකානු ඩොලර් මිලියන 250 යනුවෙන් සඳහන් වන බවද ඔහු කීවේය.

තමන්ට ලැබී ඇත්තේ සාක්ෂියක් නොව තොරතුරක් බව ද ඇමතිවරයා මෙහිදී පැවසීය.

පසුගිය 25දා පාර්ලිමේන්තුවේදී මෙම නෞකාව සම්බන්ධයෙන් මෙසේ ස අදහස් පළ විය.

විජයදාස රාජපක්ෂ :

නැව නිදහස් කරගන්න එපා කියලා නීතිපතිතුමා කියලා තියෙද්දි තමයි නැව නිදහස් කරගෙන ගිහිල්ලා තියෙන්නෙ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැව නිකුත් කරන්න ඉල්ලලා නෑ.

නාලක ගොඩහේවා :

මම කිසිම අවස්ථාවක නැව නිදහස් කරන්න ඉල්ලලා නැහැ. ඒකට යන්න දුන්න එක වැරදියි කියන මතයෙ තමයි මමත් ඉන්නෙ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල :

මේ සිද්ධිය ඇතිවුණේ ශ්‍රී ලංකා අධිකරණ බල සීමාව තුළ. එතකොට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද. රජයට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ. මේ නඩුව සිංගප්පූරුවේ දාන්නෙ ඇයි. ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි.

විජයදාස රාජපක්ෂ :

කිරිඇල්ල කරපු ප්‍රකාශය වරදක්. නීතිපති උපදෙස් අනුව තමයි අපි කටයුතු කළේ.

නිමල් ලන්සා :

මෙතන ඉන්න බක පණ්ඩිතයෝ දෙන උපදෙස් අනුව කටයුතු කරන්න බැහැ. අපි කටයුතු කළේ නීතිපති උපදෙස් අනුව.

කිරිඇල්ල :

මේ නැවට අදාළ සීසීටීවී දර්ශන විනාශ කරලා. මෙතැන මහා කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙනවා.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...