A Hero අති හෘද සංවේදී සිනමා කෘතියකි

Share post:

අබ්බාස් කියොරොත්සාමිට පසුව මා කැමති ඉරාන සිනමාකරුවන් අතර ඉදිරියෙන් සිටින Asghar Farhadi ගේ නවතම සිනමාපටය වන A Hero මා හ⁣ට ගෙනදුන්නේ රස ‘සිනමාත්මක’ අත්දැකීමකට වඩා සිනමාරූපී ‘සාහිත්‍ය’ රසයක්ය.

Asghar Farhadi

අස්ගාර් ෆරාඩිගේ සිනමා කෘති අතර මම වැඩියෙන්ම කැමති නිර්මාණ වන A Seperation හා About Elly තුළ වූ සිනමාත්මක පොහොසත් බව හා තේමාත්මක ගැඹුර A Hero හී නොතිබුනද මෙහි Amir Jadidi ගේ රංගනයෙහි විශිෂ්ටත්වය කෘතිය වෙත මා බැඳ තැබීමට සමත් විය.

ෆර්හාඩිගේ බහුතර සිනමා කෘතීන්හී තේමාවන්ට පාදක වන පවුල, අන්‍යෝන්‍ය බැඳීම, ආර්ථිකමය කාරණා මධ්‍යම පාන්තික ජීවිතය හා කුටුම්භය අර්බුධයට පත් කරවන අයුරු මෙන්ම ඒ ව්‍යසන මැද හෘද සාක්ෂියේ හඬ ගෑමට මුහුණ දෙන අයුරු මෙම නව සිනමා කෘතියටද පාදක වේ.

ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකි වීම තුළ සිරගතවන මිනිසෙක් තාවකාලික නිවාඩුවක⁣ට සිරෙන් නිදහස්ව පැමිණ සිටින කෙටි කාලය තුළ තම අර්බුධයෙන් එගොඩ වී නිදහස් ජීවිතයට පැමිණ, පවුල නම් ඒකකය යළි බිහි කරගැනීමට දරණ උත්සාහය සිනමා කෘතිය තුළ කියවේ.

කාන් සම්මාන උ⁣ළෙල ඇතුළු මුල් පෙ⁣ළේ සිනමා සම්මාන උළෙලවල ප්‍රධාන සම්මාන වලට පාත්‍රවූ අස්ගාර් ෆර්හාඩිගේ සිනමාව ගැන මට ඇති ප්‍රධාන ගැටළුව වන්නේ ඔහුගේ සිනමාවේ තේමාත්මක මානයන් බහුවිධ නොවී මෙතරම්ම ඒක රේඛීය වන්නේ මන්ද යන්නයි. ඉරාන සිනමාවේ අනන්‍ය ගුණයක් වන සරළත්වය හා තියුණු ප්‍රබන්ධමය ගුණය ෆර්හාඩිගේ සිනමාවේද නොඅඩුව තිබුණද The Past, Everybody Knows වැනි චිත්‍රපටවලදී යුරෝපීය පසුබිම් හා පෙනිලොප් කෲස් වැනි නිළියන්, José Luis Alcaine වැනි අති සුප්‍රකට කැමරා ශිල්පීන් යොදාගෙන සිනමාව නිමැවුවද තේමාත්මකව ඉතා කුඩා වපසරියක ෆර්හාඩි සැරිසරයි.

කෙසේ වෙතත් A Hero අති හෘද සංවේදී සිනමා කෘතියකි. නැරඹිය යුතුම එකකි.
විශේෂයෙන් එහි අවසන් දර්ශනය මා බලා සිටියේ අතිශය අපහසුවෙනි. මන්දයත්, ෆර්හාඩි තමන්ගේ සිනමාව තුළ නිතර මතු කරන, මා ද අදහන, කාරණාව ඒ අවසන් දර්ශනය තුළ හෘද සංවේදීව විවරණය වන බැවිණි :
‘පවුල; ඒ තමයි ලොව උණුසුම්ම, සංවේදීම, දයාර්දම තැන.’

ජනක ඉනිමංකඩ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...