අබ්බාස් කියොරොත්සාමිට පසුව මා කැමති ඉරාන සිනමාකරුවන් අතර ඉදිරියෙන් සිටින Asghar Farhadi ගේ නවතම සිනමාපටය වන A Hero මා හට ගෙනදුන්නේ රස ‘සිනමාත්මක’ අත්දැකීමකට වඩා සිනමාරූපී ‘සාහිත්‍ය’ රසයක්ය.
අස්ගාර් ෆරාඩිගේ සිනමා කෘති අතර මම වැඩියෙන්ම කැමති නිර්මාණ වන A Seperation හා About Elly තුළ වූ සිනමාත්මක පොහොසත් බව හා තේමාත්මක ගැඹුර A Hero හී නොතිබුනද මෙහි Amir Jadidi ගේ රංගනයෙහි විශිෂ්ටත්වය කෘතිය වෙත මා බැඳ තැබීමට සමත් විය.
ෆර්හාඩිගේ බහුතර සිනමා කෘතීන්හී තේමාවන්ට පාදක වන පවුල, අන්‍යෝන්‍ය බැඳීම, ආර්ථිකමය කාරණා මධ්‍යම පාන්තික ජීවිතය හා කුටුම්භය අර්බුධයට පත් කරවන අයුරු මෙන්ම ඒ ව්‍යසන මැද හෘද සාක්ෂියේ හඬ ගෑමට මුහුණ දෙන අයුරු මෙම නව සිනමා කෘතියටද පාදක වේ.
ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකි වීම තුළ සිරගතවන මිනිසෙක් තාවකාලික නිවාඩුවකට සිරෙන් නිදහස්ව පැමිණ සිටින කෙටි කාලය තුළ තම අර්බුධයෙන් එගොඩ වී නිදහස් ජීවිතයට පැමිණ, පවුල නම් ඒකකය යළි බිහි කරගැනීමට දරණ උත්සාහය සිනමා කෘතිය තුළ කියවේ.
කාන් සම්මාන උළෙල ඇතුළු මුල් පෙළේ සිනමා සම්මාන උළෙලවල ප්‍රධාන සම්මාන වලට පාත්‍රවූ අස්ගාර් ෆර්හාඩිගේ සිනමාව ගැන මට ඇති ප්‍රධාන ගැටළුව වන්නේ ඔහුගේ සිනමාවේ තේමාත්මක මානයන් බහුවිධ නොවී මෙතරම්ම ඒක රේඛීය වන්නේ මන්ද යන්නයි. ඉරාන සිනමාවේ අනන්‍ය ගුණයක් වන සරළත්වය හා තියුණු ප්‍රබන්ධමය ගුණය ෆර්හාඩිගේ සිනමාවේද නොඅඩුව තිබුණද The Past, Everybody Knows වැනි චිත්‍රපටවලදී යුරෝපීය පසුබිම් හා පෙනිලොප් කෲස් වැනි නිළියන්, José Luis Alcaine වැනි අති සුප්‍රකට කැමරා ශිල්පීන් යොදාගෙන සිනමාව නිමැවුවද තේමාත්මකව ඉතා කුඩා වපසරියක ෆර්හාඩි සැරිසරයි.
කෙසේ වෙතත් A Hero අති හෘද සංවේදී සිනමා කෘතියකි. නැරඹිය යුතුම එකකි.
විශේෂයෙන් එහි අවසන් දර්ශනය මා බලා සිටියේ අතිශය අපහසුවෙනි. මන්දයත්, ෆර්හාඩි තමන්ගේ සිනමාව තුළ නිතර මතු කරන, මා ද අදහන, කාරණාව ඒ අවසන් දර්ශනය තුළ හෘද සංවේදීව විවරණය වන බැවිණි :
‘පවුල; ඒ තමයි ලොව උණුසුම්ම, සංවේදීම, දයාර්දම තැන.’