ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය

Share post:

පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේ වරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්‍රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ ” තරණ සීගිරි කැන්ටාටාවේ ” භාවමය ගී මිහිර විඳගන්නට ලැබිණි. මීට සියවස් ගණනාවකට කලින් සීගිරි කැටපත් පවුරේ ලියන ලද භාවාත්මක මිනිස් හැගීම් සංගීතයෙන් රචනා කර, එය කතා පුවතක් ලෙස වර්තමානයේ ජීවත් වන අපගේ හදවත් සංවේදී කරන්නට තරම් සාගර සහ ඔහුගේ ඔපෙරා කණ්ඩායමට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර, ඔවුනට අප හිස නමා ආදරය කළ යුතුය.

ලාංකීය සමාජය තුළ Cantata, Opera කියන සංගීතමය සංකල්පයන් කණ ඇසුණු විට, අපට නිතැනින්ම සිහියට නැගෙන්නේ ප්‍රේමසිරි කේමදාස නම් ඒ සංගීත පෞරුෂයයි. බුද්ධ පරිනිර්වාණය පදනම් කරගෙන “පිරිනිවන් මංගල්‍යය ” නමින් ලංකාවේ පළමු වරට කැන්ටාටාවක් නිර්මාණය කලේ කේමදාස මාස්ටර් නම් ඒ අපූර්ව සංගීත සංරචකයයි. කැන්ටාටාවක් කියන සංගීතමය සංරචනයක් කියන්නේ යම්කිසි කතා වස්තුවක් සංගීතයෙන් රචනා කර, එම කතා වස්තුව ගායනා විලාසයෙන් ඉදිරිපත් කිරීමයි. එහෙත් එහි පිටුපස ඇති කායික, මානසික සහ බුද්ධිමය ශ්‍රමය අති විශාල දුෂ්කර ක්‍රියාවලියක් කියන එක වචනවලින් කියන්න බැරි තරම් සංකීර්ණයි.

දහහත්වන සියවසට අයත් බැරොක් යුගයේ නිර්මාණය වුන කැන්ටාටාව බොහෝ දුර‍ට නිර්මාණය කෙරුනේ ක්‍රිස්තියානියට අයත් ආගමික සංකල්ප හා කතා මුල්කරගෙනයි. යුරෝපය තුළ කැන්ටාටාව ගැන කතා කිරීමේදී මුලින්ම සිහියට නැගෙන්නේ ජර්මන් ජාතික ජෝන් සෙබස්තියන් බාක් Jhonn Sebastian Bach කියන සංගීත සංරචකයයි. එයින් පසු Luigi Rossi, Pietro Antonio Cesti, Giacomo Carissimi වගේ ඉතාමත් ප්‍රබල කැන්ටාටා සංගීත සංරචකයින් අපට මුණ ගැසෙනවා.

Opera, Cantata, Symphony සහ Concerto වගේ සංගීත ශානරයන් අපේ සමාජයෙන් බොහෝ දුරස් වුවත්, කේමදාස මාස්ටර් උත්සාහ ගත්තා මෙම සංගීත ශානරයන් අප සමාජයට හඳුන්වා දෙන්නට. ඔහුගේ ඇවෑමෙන් පසුව සාගර ඉතාමත් දුෂ්කරව මේ සංගීත චාරිකාවට අවතීර්ණ වී සිටින්නේ වංකගිරියක් තරණය කරනවා වගේ වෙහෙසකර ගමනකටය. ඔහුගේ මේ වෙහෙසකර ගමනින් අපගේ විඩාබර හදවත් සනසාලන්නට සිසිල් දිය දහරක් බඳු භාවාත්මක ස්වර රටා වරුසාවකින් අප සිත් සනසාලීම ගැන අපි ඔහුට සහ ඔහුගේ ඔපෙරා කණ්ඩායමට නැවතත් හිස නමා ආදරය කරමු.

තනපට් වෙළ සරග්මල් සිසිලස් කොට් ලු
දැක මන ම නියැළෑ බෙයන්ද්හි රන්වනක් දිග්නෙත්

327 වෙනි කුරුටු ගීය

සිසිල සඳහා සුවඳ මල් තන පටෙහි වෙළා ගත් රන්වන් දිගැසියක බෙයදෙහි දැක මගේ සිත දොම්නස් විය

සාලිය ඉඳුරුවිතාන

තරණ සීගිරි කැන්ටාටාවේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉදිරිපත් කිරීම පසුගිය දා ( 2023.02.12 ) අති සාර්ථවකව නිම වුණා.

ඒ සඳහා නන් අයුරින් අපට දායකත්වය ලබා දුන් සියලු දෙනා සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන්.
ජාතික කෞතුකාගරය බඳු වටිනා කලාත්මක කෘතීන් අන්තර්ගත ස්ථානයක ආදර්ශ සීගිරි චිත්‍ර ඇතුලත් සිතුවම් ශාලාව තුල සීගිරි කුරුටු ගී ගායනාවන් සජීවීව අසන්නට කෞතුකාගාරය නරඹන්නට පැමිණෙන ප්‍රේක්ශකයින්ට අවස්ථාවක් ලැබුණේ මා දන්නා පමණින් ඉතිහාසයේ ප්‍රථම වතාවට විය යුතු ය. එවන් විරල අවස්ථාවක වටිනාකම අවබෝධ කර ගනිමින් එයට අපහට අවකාශය ලබා දෙමින් නීත්‍යානුකූල අවසරයන් ලබා දීමට කටයුතු කල කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මැතිණියටත් , එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මැතිතුමාටත් , කෞතුකාගාර පාලක රංජිත් හේවගේ මැතිතුමාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි.

සාගර සුරේෂ් විජේසිංහ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...