නීතිපති බලපෑමට එරෙහි විරෝධය : නීතිඥවරුන්ට එරෙහි බී වාර්තාව පොලිසිය ඉල්ලා අස්කර ගනී !

Share post:

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම අද (24) ඉල්ලා අස්කර ගැනිණි.

පොලිසිය මගින් ඉදිරිපත් කරන ලද අදාළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබුණේ මේ පිළිබඳව විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙසයි. එහෙත් අද එය කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ අදාළ වාර්තාව පිළිබඳව වැඩිදුර පියවර නොගෙන, එය ඉල්ලා අස්කරගන්නා බවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට ඊට ඉඩදුන්නේය.

මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. මෙම සාමකාමී විරෝධතාවේදී උල්ලංඝනය වූ නීති මොනවාද යන්න සහ අදාළ බී වාර්තාව ඉදිරිපත් කිරීමේ පදනම කුමක්ද යන්න සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි අවධානයෙන් සිටින බව ද පොලිස්පතිවරයාට කොමිසම විසින් කර ඇති දැනුම්දීමේ සඳහන් ව තිබිණි.

නඩු අංක B/84532/01/23 යටතේ මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර තිබුණේ එමගින් මහජන පීඩාවක් සහ මාර්ගය අවහිර කිරීමක් සිදුව ඇති බවයි. එසේ ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව ද එහි සඳහන් වෙතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. නුවන් බෝපෙගේ, ගුණරත්න වන්නිනායක සහ සේනක පෙරේරා යන නීතිඥවරුන් මෙහි වගකිවයුතු පාර්ශ්ව ලෙස දක්වා තිබේ. මාස කිහිපයක සිට ම විදේශගතව සිටින නීතිඥ සේනක පෙරේරාගේ නම ද මෙහි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය අවධාරණය කරන්නේ සාමකාමී විරෝධතාවල යෙදීමේ අයිතිය අහිමි කිරීමට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ඉඩනොදිය යුතු බවයි. එසේ ම මෙමගින් නීතිඥවරුන් බියවැද්දීමේ නිර්ලජ්ජිත උත්සහයක් ගෙන ඇති බවත්, එම උත්සාහය පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනීසිටින බවත් එම සංගමයේ විධායක කමිටුව නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

පසුගිය 18දා කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ බලපෑමකට එරෙහිව 19දා නීතිඥ සාමූහිකය මගින් මෙම විරෝධතාව පවත්වන ලදි.

සබැඳි පුවත්

නීතිඥ විරෝධයට එරෙහි බී වාර්තාව ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක් : හෙට අලුත්කඩේ තවත් කළු කබා වැඩක් !

මහේස්ත්‍රාත්ට නීතිපති බලපෑම් කිරීම : නීතිඥ විරෝධතාවට එරෙහිව පොලිසිය උසාවියට කරුණු වාර්තා කරයි : හේතුව තීරණාත්මක නියෝග දෙක ද ?

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...