දුමින්දට පක්ෂ වූ මෙරිල් – පාස්කු වලක්වා නොගත් පතිනායක ඇතුළු පොලිසියේ 10ක් රුසියාවේ විශේෂ පුහුණුවකට !

Share post:

සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන විශේෂ පුහුණුවක් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 10දෙනෙකු රුසියාවේ සංචාරයකට ගොස් ඇත.

මේ සති 02ක පුහුණුවකි. මෙවැනි පුහුණු සැසි 05ක් රුසියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවත්, ඒ සඳහා අවස්ථා 05කදී තෝරාගත් නිලධාරීන් යැවීමට නියමිත බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

යන්නේ කවුද?

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මෙම සංචාරයට එක්ව සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනා වේ. මේ අතරින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් චෝදනා කෙරුණු අයෙකි, ලලිත් පතිනායක. ඔහු ඒ වන විට නැගෙනහිර පළාත බාර පොලිසියේ ඉහළ ම නිලධාරියා ලෙස කටයුතු කළේය.

ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති උජිත් එන්. ලියනගේ, පොලිස් මූලස්ථානයේ පරිපාලන අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා, පොලිස් බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ජගත් සී. ධනපාල, පොලිස් පුහුණු හා පත්වීම් බාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර්, පොලිස් සුබසාධන අංශ බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිණී, පොලිස්පති ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාමිණී සේනාරත්න මෙන්ම තවත් සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත් ය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරි එච්. ගුරුගේ ය.

අමතක නොවන මෙරිල් රංජන් ?

මේ අතරින් සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා යනු පක්ෂපාතී විමර්ශන සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක නිලධාරියෙකි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළ විමර්ශන භාර පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ එවකට පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ය.  විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට පත් විය. කෙසේ වෙතත් සිද්ධියේ නිර්මාතෘ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත්තේ නැත. ඊට හේතුව වූයේ ඔහු ඒ වන විට ලංකාවෙන් පිට සිංගප්පූරුවේ ප්‍රතිකාර ගැනීමයි. මෙම විමර්ශනයේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සහ ඔහුට එරෙහිව වරෙන්තු ලබා නොගැනීම ගැන අගතියට පත් පාර්ශ්වය නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් නැගීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කළේ සීඅයිඩීය දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගන්නේ පක්ෂග්‍රාහීව කටයුතු කරන නිසා බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ද ඒ දිනවල සීඅයිඩීයට එරෙහිව එවැනි ප්‍රකාශ කළේය. පසුව රංජන් රාමනායක කියා තිබුණේ තමන් එවැනි ප්‍රකාශයක් කළේ මෙම විමර්ශනය ශානි අබේසේකර විසින් දුමින්ද සිල්වාට පක්ෂග්‍රාහීව සිදුකරන බවට පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ප්‍රකාශ කළ නිසා බවයි. පොලිස් පරීක්ෂක මෙරිල්, භාරත ලක්ෂ්මන්ගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ශානි අබේසේකර දුමින්ද සිල්වාට පක්ෂග්‍රාහීව විමර්ශන කරන බවට ප්‍රකාශ කර තිබිණි.

මේ අතර දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුවූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා දැනුම්දුන්නේ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක දුමින්ද සිල්වා පසුවන බවයි. දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සීඅයිඩීය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගියේ පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ය. ඔහු ලබාගත් ප්‍රකාශයෙන් කියැවුණේ අදාළ සිදුවීම ගැන දුමින්ද සිල්වාට මතකයක් නැති බවයි. ඒ සමඟ යළිත් වරක් සීඅයිඩීය පක්ෂග්‍රාහීව විමර්ශන සිදුකරන බවට භාරතගේ පාර්ශ්වය චෝදනා කළේය.

දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම සහ ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ශානි අබේසේකර කැඳවා ප්‍රශ්න කළේය. එම අවස්ථාවේ අබේසේකර කියා තිබුණේ දුමින්ද සිල්වා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ එන සංඥේය වරදක් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. වරෙන්තුවක් නොමැතිව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත හැකි බව අබේසේකර පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

සිංගප්පූරුවට ගොස් ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණයේදී අගතියට පත් පාර්ශ්ව විසින් ප්‍රශ්න කළ අවස්ථාවක ශානි අබේසේකර කියා තිබුණේ ඔහු සිහියක් නැතිව සිටිනා බව කියන නිසා ඔහු අත්අඩංගුවට ගත නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සැකකරුවකු අත්අඩංගුවට ගත යුත්තේ චෝදනා කියාදීමෙන් අනතුරුව බවත්, නිසි සිහියක් නැති කෙනෙකුට චෝදනා කියාදිය නොහැකි බවත්, ඒ නිසා ඔහුට හරි සිහියක් එනතුරු අත්අඩංගුවට ගත නොහැකි බවත් ශානි අබේසේකර කියා සිටියේය. ‍කෙසේ වෙතත් සුවය ලැබූ දුමින්ද සිල්වා ලංකාවට පැමිණි පසු සීඅයිඩීය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු රිමාන්ඩ් බාරයේ සිටි කාලයේ දිගටම සිටියේ නවලෝක රෝහලේ ය. බන්ධනාගාරයේ සිටියේ නැත. නවලෝක රෝහලේ සිටියදී ඔහුට ඇප නියම වූ අතර, ඊට පසුදිනම ඔහු රෝහලේ සිට නිවස බලා ගියේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග වනවිට අධිකරණය ඉදිරියේ සීඅයිඩීය වෙනුවෙන් කරුණු දැක්විය යුතු පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා නඩුවට නොයෑම සම්බන්ධයෙන් අධිකරණයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. මෙම නඩුවට අගතිදායක වන අයුරින් කටයුතු කිරීම මත පසුව ඔහු අදාළ විමර්ශනයෙන් ඉවත් කොට ස්ථාන මරුකරනු ලැබිණි.

පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...