නාවික හමුදාව – දයා ගමගේ : පානම ඉඩම් කොල්ලයට එරෙහි වසර 11ක අරගලයට යළිත් පණ පොවයි !

Share post:

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පානම ජනතාවගේ ඉඩම් තවදුරටත් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමට විරෝධය පළකරමින්, එම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා පානම ජනතාව යළිත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

පසුගිය දෙසැම්බර් 27දා පානම, ශාස්ත්‍රවෙල දී මෙම සත්‍යග්‍රහය ආරම්භ කෙරිණි. පානමට අයත් රාගම්වෙල සහ ශාස්ත්‍රවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටි ඉඩම් 2010 – 2011 වසරවලදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් බලහත්කාරයෙන් ලබාගන්නා ලදි. ඉන්පසු එම ඉඩම්වල සංචාරක කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා යනුවෙන් පවසමින් හෝටල් ඉදිකිරීම ඇරඹිණි.

රාගම්වෙල ප්‍රදේශයේ එසේ අල්ලාගත් ඉඩම්වලින් කොටසක පමණක් දැන් ජනතාව බලහත්කාරයෙන් පදිංචි වී සිටී.

දයා ගමගේගේ මීටර් 100

ශාස්ත්‍රවෙල ඉඩම් වෙනුවට වෙනත් ස්ථානයකින් අක්කර 150ක භූමියක් ජනතාවට ලබාදීමට යෝජනා විය. එහෙත් හිටපු ඇමති දයා ගමගේ විසින් මෙම වෙන්කරන ලද භූමියෙන් මාර්ගය අයිනේ මීටර් 100ක තීරුවක් වෙන්කරගෙන සිටී. ඒ, සංචාරක ව්‍යාපාරය සඳහා යනුවෙන් බව පවසමිනි.

මෙසේ නාවික හමුදාව සහ දයා ගමගේ එක්ව සිදුකරන අත්තනෝමතික ඉඩම් කොල්ලයට එරෙහිව පානම ජනතාව වසර ගණනාවක් තිස්සේ සත්‍යග්‍රහ කරමින්, විරෝධතා දක්වමින්, නඩු කියමින් සිටී. ඒ, සියලු අවස්ථාවල පොලිස් නිලධාරීන්ගේ නොනිල බලය යොදමින් ජනතාව මර්දනය කිරීම සිදු විය.

රදැල්ල වනාන්තරය

2015 ආණ්ඩුව විසින් මේ ජනතාව අලිමංකඩක පදිංචි කිරීමට කටයුතු සැලසුම් කළේය. ඒ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රදැල්ල වනාන්තරයේ නාවුල්ල වැව ආශ්‍රිතව ය. වනාන්තර අක්කර 150ක් එළිපෙහෙළි කර නිවාස 300ක් තැනීම එහි අරමුණ ලෙස දැක්විණි. ඊට මූලිකත්වය ගන්නා ලද්දේ දයා ගමගේ එවකට ඇමතිවරයා ය. වන සංරක්ෂණ භූමිය මේ සඳහා යොදාගැනීමට අවශ්‍ය මූලික පරිසර වාර්තා හෝ සකස් කෙරුණේ ද නැත. ජනතාවගේ ගැටළුව පෙන්වා නීතිවිරෝධී ලෙස ලබාගත් වන භූමියෙන් ය, දැන් දයා ගමගේ මීටර් 100 තීරුවක් වෙන්කර ගැනීමට උත්සාහ කරන්නේ.

වන සංරක්ෂණ නීතිය

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක් එළිපෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීතිවිරෝධී ක‍්‍රියාවකි. එවැනි නීතිවිරෝධී ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු පමණක් නොව ඒ සඳහා අධාර හෝ අනුබල හෝ ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවැනි ක‍්‍රියාවක නිරත වන පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර, එහිදී වරදකරුවකු කරනු ලැබූ විට වසර 2ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 5,000ත් 50,000ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකිය. ඊට අමතරව වනාන්තරයට සිදුකරන ලද හානිය සඳහා අධිකරණය මගින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය.

මේ නීතිවලට පිටින් සිය ඇමති ධුරයේ බලය අවභාවිත කරමින් ලබාගත් ඉඩම් ය, දැන් හිටපු ඇමතිවරයා කොල්ලකෑමට උත්සාහ කරන්නේ. අනෙක් පැත්තේ ජාතික ආරක්ෂාව පෙන්වමින් තවදුරටත් රැඳීසිටින නාවික හමුදාව ද ඒ කොල්ලය සඳහා අවශ්‍ය තරම් සහාය ලබාදෙමින් සිටී.

මීට අදාළ කිසිදු නීතිමය පියවරක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ද නොගැනිණි.

ජාතික පාරිසරික පනත

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23 වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදාගැනීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100කට වැඩි ප‍්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එහෙත් එවැන්නක් ද සිදුනොවීය.

පුරාවස්තු ආඥා පනත

1940 අංක 09 දරන සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23(අ) සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළිපෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය සඳහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර, ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. එවැන්නක් ද මෙහිදී සිදුනොවීය.

දණ්ඩ නීති සංග‍්‍රහය

නාවික හමුදාව තවදුරටත් මෙන්ම, පානම ප‍්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් දයා ගමගේ බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට සැරසෙන්නේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 372 වැනි වගන්තිය ද උල්ලංඝනය කරමින් ය. එම වගන්තියට අනුව යම් දෙපොළක් යම් තැනැත්තෙකුට පාඩු සිදුකරමින් හෝ බියකර ලබාගැනීම බලෙන් ලබාගැනීමකි. එවැනි ක්‍රියාවක නිරත වූ පුද්ගලයෙකු අවුරුදු 3ක් දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකිය.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරන දයා ගමගේට එම නීති වලංගු නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 14 වගන්තියට අනුව නිත්‍යනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක නිරත වීමේ නිදහස හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ජනතාවට තිබිය යුතුය. 2015 පෙබරවාරි 11 දිනැති කැබිනට් මණ්ඩල තීරණයට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන මෙහි ඉඩම් අක්කර 25ක් හැර ඉතිරි භූමිය පානම ජනතාවට ලබාදීමට පියවර ගත යුතු ය. එහෙත් එය නමට තීරණයක් පමණි.

කැබිනට් තීරණය

කැබිනට් තීරණයට පෙර, පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට HRC/AM/105/10/B/OT අංක යටතේ ඉදිරිපත් කරන ලද පැමිණිල්ල මීට වසර කිහිපයකට පෙර විභාග කළ මානව හිමිකම් කොමිසම, පානම ජනතාවට ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත්වීමේ අයිතිය තහවුරු කර දිය යුතු බවට නිර්දේශ කර ඇත. එය ද නමට නිර්දේශයකි.

එදා – අද !

නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් පොදුවේ පානම ලෙස හඳුන්වන ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මානවල ජීවත් වූ ජනතාවගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළුව අක්කර 1,220ක භූමියක් අත්පත් කරගැනිණි. එ් අනුව ශාස්ත‍්‍රවෙල හා රාගම්වෙල ප‍්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද, උල්පස්සයාය ප‍්‍රදේශයේ ඉඩම් නාවික හමුදාව බාරයේ පැවතිණි.

මේ ප‍්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙසේ නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියේය. මේ අතරින් රාගම්වෙල ප්‍රදේශයේ කොටසක් ජනතාව පසුව බලහත්කාරයෙන් අල්ලා ගැනිණි.

ජනතාව තවමත් අවතැන් ය. කොල්ලකරුවන් ක්‍රියාත්මක ය.

මේ ගැටළුව සම්බන්ධයෙන් විමසීමට දයා ගමගේ හිටපු ඇමතිවරයා සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට අප අද දවසේ ගත් උත්සාහය ව්‍යර්ථ වුවද, එම පාර්ශ්වවල අදහස් පළකිරීමට thetime.lk බැඳීසිටින නිසා ඉදිරියේදී එය අනිවාර්යයෙන් ම ලිපියේ යාවත්කාලීන කිරීම් ලෙස සිදුකිරීමේ වගකීම අප සතු ය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...