ශ්‍රී ලාංකේය සිනමාවේ සොඳුරු කිවිඳිය “සුමිත්‍රා පීරිස්”

Share post:

[මවිසින් මෙම සටහන තබනුයේ මෙරට ජේෂ්ඨතම සිනමාවේදිනියක් වූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙනි.]
1934 මාර්තු මස 24 වැනි දින හෙන්රි ගුණවර්ධන හා හැරියට් වික්‍රමසිංහ යන අඹුසැමි යුවලට දාව සුමිත්‍රා ගුණවර්ධන මෙනවිය කොළඹ විශාකා විද්‍යාලයෙන් සිප්සතර හදාරා වැඩිදුර අධ්‍යාපනය පිණිස එංගලන්තය බලා පිටත්ව ගියාය . එහිදී ඇය ලන්ඩන් චිත්‍රපට කාර්මික ආයතනයට ( London Film Technology institute ) බැදී සිනමා තාක්ෂණය පිළිබදව තම උපාධිය සම්පූර්ණ කර ගත්තාය .ඉක්බිතිව ඇය ඉංග්‍රීසි භාෂාවෙන් ශබ්ද කැපවීම් විශේෂඥයකු වූ මායි හැරිස් ( Mei Harries ) යටතේ වැඩකටයුතු කර ප්‍රයෝගිකව තම සිනමා අත්දැකීම් හා ඥානය වැඩිදියුණු කර ගත්තා ය.ඇය තම උසස් අධ්‍යාපනය නිමාකරන ලද්දේ ලෝසෙන් විශ්ව විද්‍යාලයෙනි ( University of Lossen ). ඉක්බිතිව ඈ ලන්ඩන් චිත්‍රපට ආයතනයට ( London Film Institute ) බැදී වාර්තා චිත්‍රපටකරණය, කැමරාකරණය හා සංස්කරණය පිළිබඳව වැඩිදුරටත් හදාරා පෙරළා ලංකාවට පැමිණියා ය. ඒ 1960 දීය .

එතෙර සිට මෙතරට පැමිණි විගසම ඇය සිනමා ක්ෂේත්‍රයට සහසම්බන්ධ වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද සංදේශය – 1960 චිත්‍රපටයේ කාර්මික අංශයට සම්බන්ධ වෙමිනි. එදා සංදේශය චිත්‍රපටයේ කැමරාවට පිටුපස.හිඳ නිහඬව සැලකිය යුතු වැඩ කොටසක් කළ යොවුන් තරුණිය වූයේ ඇයයි. ඇය සංදේශය චිත්‍රපටයේ වැඩි වශයෙන් වැඩකටයුතු කරන ලද්දේ එහි ඇඳුම් පැළඳුම් සකස් කිරීම් හා ජවනිකා සංවිධානය කිරීම යනාදිය සම්බන්ධයෙනි. ඒ හැරෙන්නට ඇය එහි සංස්කරණ ශිල්පියා වූ ටයිටස් තොටවත්ත, කැමරා ශිල්පියා වූ විලී බ්ලේක් හා අධ්‍යකෂකවරයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනාදීන්ගේ වැඩකටයුතුවලට ද නන් අයුරින් උපකාරී වූවාය .

1964 දී සුමිත්‍රා ගුණවර්ධන මෙනවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමගින් යුගදිවියට පත්වීම ඇයගේ ජීවිතය පැත්තෙන් පමණක් නොව ශ්‍රී ලාංකේය සිනමාවේ අනාගතය පැත්තෙන් ද ඉතා සුවිශේෂී සිද්ධියක් වූ බව පෙනේ. එය කොතරම් වීදයත් ශ්‍රී ලාංකේය සිනමාවේ පියා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වූ අතර මව සුමිත්‍රා පීරිස් මහත්මිය වන තරමට එම විවාහය ශ්‍රී ලාංකේය සිනමාවට ඉතා සුවිශේෂී වූයේ ය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුමිත්‍රා පීරිස් මහත්මිය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සැබෑ සහකාරියක් වූවාය . එය විවාහ කුටුම්බයට පමණක් සීමා නොවී එකිනෙකාගේ සිනමා භාවිතාවන් පෝෂණය වන ආකාරයෙන් වර්ධනය වූ බව පෙනේ.එහිලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සෑම චිත්‍රපටයකටම න්න අයුරින් සහසම්බන්ධයක් වූ ඇය එතුමන් සමගින් “ලෙස්ටර් ජේම්ස් පීරිස්” යන රන් මුද්‍රාව ශ්‍රී ලාංකේය සිනමාව මත තබනු පිණිස වෙසෙසින්ම දායක වූ බව පෙනේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ද ඇයගේ චිත්‍රපට සදහා උපදේශාත්මකව සහසම්බන්ධ වූ බව ද නොකියාම බැරිය .
සුමිත්‍රා පීරිස් මහත්මිය තම සිනමා චාරිකාව තුළ වෘත්තීය චිත්‍රපට දහයක් පමණ නිර්මාණය කළේ ය. එම චිත්‍රපටය අතරින්ම බහුතර චිත්‍රපට සංඛ්‍යාවක් මෙරට කලාත්මක සිනමාව වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ බව පෙනේ. එහිලා ඇය විසින් සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගම මහතා විසින් රචිත “සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා” නැමති ඇසුරෙන් අධ්‍යක්ෂණය කරන ලද සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1988 චිත්‍රපටය ඉතා සුවිශේෂී වන අතර එය ඇයගේ විශිෂ්ටතම චිත්‍රපටය ද ( Masterpiece ) වූයේ ය. එපමණක්ද නොව මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකේය සිනමාවේ එතෙක් මෙතෙක් නිර්මිත හොදම චිත්‍රපට විසිපහ අතරට එක්වන බවද විශේෂයෙන් සදහන් කරනු වටී.

ඇය විසින් නිර්මාණය කරන ලද වෘතාන්ත චිත්‍රපට පිළිවෙලින් මෙසේ ය.

ගැහැණු ළමයි – 1978 , ගඟ අද්දර- 1980,
යහළු යෙහෙළි – 1983, මායා -1984 , සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1988 , ලොකු දුව – 1996 , දුවට මවක මිස – 1997 , සක්මන් මළුව – 2003,යහළුවෝ – 2007 , වෛෂ්ණාවී – 2019

ඇය ගැහැනු ළමයි ටෙලිනාට්‍ය ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරියක් වශයෙන් බෞතිස්ම ලැබූ අතර එමගින් ඇය මෙරට එකම නවකතාව චිත්‍රපටයට හා ටෙලිනාට්‍යයට නැගූ පළමු හා එකම කාන්තාවද වූවාය.
ඇය තම අසිරිමත් සිනමා චාරිකාව තුළ වසරේ හොදම අධ්‍යක්ෂකට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන රාශියකට මෙන්ම ජීවිතයේදී එකවරක් පිදෙන ( සරසවි ) රණතිසර සම්මානයට ද හිමිකම් කීවාය .

එතුමියගේ සිනමාව න්‍යයාත්මක කෝණයෙන් කෙබඳුද ?

වෙසෙසින්ම ස්ත්‍රීවාදී සිනමාකාරිණියක් වූ ඇයගේ සිනමා චාරිකාවේ සුවිශේෂී ලක්ෂණය වශයෙන් මා දකින්නේ යථාර්ථවාදී කාන්තා චරිත නිරූපණය යි.සමස්තයක් වශයෙන් ගත් කල්හි ඇයගේ සෑම චිත්‍රපටයකින්ම නිර්මිත නාගරික , අර්ධ නාගරික හා ගැමි කාන්තාව ( ස්ත්‍රිය ) විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සමාජයේ මුල්බැසගෙන තිබෙන පුරුෂාධිපත්‍යය ප්‍රමුඛ විවිධ බාධක හා බන්ධන යනාදියෙන් නිරන්තරයෙන්ම පීඩා විඳින චරිත බව පෙනේ. එහිලා තම පවුල් කුටුම්බය තුළ ද ඉන් පරිභාහිර සමාජය තුළ ද එසේම ආදරය මෙන්ම ලිංගිකත්වය යන කාරණා හමුවේ ද ඇයගේ විවිධ මනෝභාවයන් ක්‍රියාත්මක වන ආකාරයත් එහි පුළුල් දෘෂ්ටියත් ඇයගේ සෑම චිත්‍රපටයක් තුළින්ම අඩුවැඩ වශයෙන් විවරණය වන්නේ ය. ඊට ඇයගේ පරිනත සිනමා නිර්මාණ වශයෙන් හැදින්විය හැකි සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකු දුව , දුවට මවක මිස , සක්මන් මළුව මෙහිලා හදුන්වා දීමට පුළුවනි. ( මෙහිලා ඇයගේ අවසාන චිත්‍රපට වූ “වෛෂ්ණාවී” පිළිබඳව මට කිසිවක් කීමට නොහැකි වන්නේ එම චිත්‍රපටය මා මෙතෙක් නරඹා නොමැති බැවිනි. )

සියල්ල සැකෙවින් සදහන් කරන්නේ නම්, පුරුෂ චින්තනයේ ද පුරුෂ ක්‍රියාකාරීත්වයේ ද අතිශයින්ම සියුම් හා අභියෝගාත්මක සංකීර්ණතා හමුවේ මෙරට ස්ත්‍රිය යථාර්ථවාදීව මුහුණ දෙන ආකාරයත් ඊට විවිධ සමාජ ස්ථරවල හිඳ ක්‍රියාත්මක වන ආකාරයත් සිනමාත්මකව විවරණය කිරීම සුමිත්‍රා පීරිස් නම් වූ විශිෂ්ට සිනමාවේදිනියගේ සිනමාව වන්නේ ය.

නොලියා බැරි මගේ සටහන —-

සුමිත්‍රා පීරිස් මහත්මිය මට අවසන් වරට මුණගැසුණේ 2019 ජනවාරි හෝ පෙබරවාරි මස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එක්තරා උත්සවයකදී ය. එදා මම ඇය සමගින් සැපදුක් විමසා ආගිය තොරතුරු පිළිබඳව කතාබහ කෙලෙමි.ඒ වනවිට ඇය කොන්දේ අමාරුවකින් මහත් සේ පීඩා වින්දා ය. අපගේ කෙටි පිළිසඳර නිමා කිරීමට මත්තෙන් මා “ඔබතුමිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපට මට නැවත වතාවක් නරඹන්න අවශ්‍යයි” කියූ විට ඈ කීවේ “අපේ මංගල හාමුදුරුවනේ මමත් සෑහෙන කාලයකින් එම චිත්‍රපටය නැරඹුවේ නැති බවත් මගේ ළග එහි DVD පිටපත් වත් තිබුණා නම් ඒක ඔබවහන්සේ නරඹන දෙන්න තිබුණු” බවත් ය.

ඇය මට ඊළගට හමුවීමට නියමිතව තිබුණේ 2020 ජනවාරි මාසයේ එක්තරා දිනෙක සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වූ තුසිත ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලද Cinema Ceylon ( Digital Platform ) හි සමාරම්භක උත්සවයදී ය. එනමුත් ඒ වනවිට කොවිඩ 19 වසංගතය ලංකාව පුරා සීග්‍රයෙන් පැතිර යමින් තිබුණු බැවින් එම සමාරම්භක උත්සවයට සහභාගී වීමට මට නොහැකි විය . මගේ සහභාගීත්වය එතරම් වැදගත් කාරණාවක් නොවූවත් එම සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ඇය විසින් මාධ්‍ය අමතා ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කළ බව කිවයුතුය.ඒ කුමක්ද ? ඔබ සිතනු ඇත. එනම් ඒ ….

“ශ්‍රී ලාංකේය සිනමාව ලෝක සිනමාවේ නව්‍ය ප්‍රවණතාවලට අනුගත වියයුතු බවත් මෙවන් Digital Platform එකක් ආරම්භ කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ මන්ද බවත් එසේම තමන්ද මතුයම් දිනෙක Digital Platform එකක් වෙනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉතා කැමැත්තෙන් පසුවන බවත් ය. “

බලන්න .. ඒ වනවිට අසූහය වියෙහි පසුවූ ජේෂ්ඨ සිනමාකරිනියක වූ එතුමියගේ සිනමා ඥානය කොතරම් තියුණු ද කියා? මෙය කොතරම් අනාගතවාදී කියමනක් ද ?

මෙහිලා තවත් විශේෂයෙන් සදහන් කළ යුතු කාරණාවක් ඇත්තේ ය. එනම් ඒ හැටේ දශකයේ දී තම ආදරණීය ස්වාමි පුරුෂයා සමගින් ඇය එතෙක් තිබූ ග්‍රාමීය සිනමාවට නව්‍ය වූ හැඩතලයන් හා අනන්‍යතාවයක් එක් කර දීමට මහත් සේ උරදුන් අතර එය මෙරට සිනමාවේ ලැග සිටින ඇත්තන්ට එය නිසියාකාරව වර්ධනය කිරීමට තියා එපරිද්දෙන් තවදුරට පවත්වාගෙන යෑමටවත් නොහැකි වූ ආකාරය කොතරම් ද ඛේදවාචකයක් ද යන්නයි.එහි වඩාත්ම වේදනාත්මක කාරණාව වන්නේ එවන් අරාජික හා ජරාජීර්ණ වූ සිනමාවක් තුළ ඇය තම ජීවිතය අවසන් කොට සමුගෙන යෑමයි. මෙය අප ඇයගේ වියෝව තුළින් වඩාත් ගැඹුරින් අවබෝධ කරගත යුතු ඉතා වැදගත්ම කාරණාව වන්නේ යයි මම පෞද්ගලිකව කල්පනා කරමි.

මෙපරිදි ශ්‍රී ලාංකේය සිනමාවට ස්වර්ණ යුගයක් බිහිකළ විශිෂ්ටතම සිනමාවේදිනියගේ අභාවයත් සමගින් මෙරට සිනමාවේ වැදගත් යුගයක අවසානය ද සනිටුහන් වන්නේ ය.
සුමිත්‍රා පීරිස් මහත්මියට අජරාමර නිවන් සුවය පතමි.. !!
[ මෙහි අන්තර්ගත ඡායාරූප සියල්ලම ඒ ඒ කැමරාශිල්පියා සතුවන බව කරුණාවන්ත සලකන්න.]

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...