“ජාත්‍යන්තර සාහිත්‍ය කියලා ඇත්තටම වෙනම එකක් නැහැ. සාහිත්‍ය නම් සාහිත්‍ය”

Share post:

2019 වසරේ ජාත්‍යන්තර බුකර් සම්මානයට කෙටි ලයිස්තු ගත වූ නොබෙල් සහිත්‍ය ත්‍යාග ලාභී පෝලන්ත ලේඛිකා ඔල්ගා ටොකර්චුක් ගේ Drive Your Plow Over the Bones of the Dead නම් වූ කෘතිය “මරණයේ රළ නැගුම” ලෙසින් සිංහල භාෂාවට පරිවර්තනය කල රශ්මික මණ්ඩාවල 2023 නව වසරේ පාඨක හදවත් වලට නැවත ගොඩ වදින්නේ “සකුලු සිහිනයක සමළ සංතාපය” රැගෙනයි. මේ ඔහු සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි

රශ්මික ඔබ මෙවර ශුක්‍රාන් කටාර්, මරණය රළ නැගුම, චීනයට මන්දගාමී බෝට්ටුවකින්, මොනාලිසා ගේ මිසර ගමන ආදී නිර්මාණ පෙළකට පසු ඔබගේ නවතම කෘතිය ලෙස තෝරා ගෙන තිබෙන්නේ තවත් එක් ලෝ සුපතල ප්‍රතිභා පූර්ණ වේදිකා නාට්‍ය පිටපත් රචකයකු වන ඔස්ට්‍රියානු ජාතික පීටර් හන්ඩ්ක ගේ 2019 වසරේ නොබෙල් සම්මානයට පාත්‍ර වූ A Sorrow Beyond Dreams කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමයි. ඉතින් මුලින්ම අපට කියන්න පුලුවන්ද එය “සකුලු සිහිනයක සමළ සංතාපය” ලෙසින් ඔබ අතින් පරිවර්තනය වෙන්නෙ කොහොමද කියලා?

ඔව්. පීටර් හන්ඩ්කගේ මේ කෘතිය මට මුලින්ම හමුවන්නේ ඔහු නොබෙල් සම්මානය දිනාගත්තට පසුව ඔහුගේ පොත් මොනවාද කියලා හොයාගෙන අතරේ. මේ කෘතිය රැල්ෆ් මන්හයිම් අතින් ඉංග්‍රීසි බසට පරිවර්තනය වන්නේ A sorrow beyond dreams නමින්. මේ නම දුටු සැනින්ම එය කියවිය යුතු පොතක් කියලා මට වැටහී ගියා. පොත කියවාගෙන යද්දී මේක පරිවර්තනය කළ යුතුයි කියන හැඟීම මට ප්‍රබලව දැනුණා. ඉන්පසුව පොතට සිංහලෙන් නමක් තියන කොට ඉංග්‍රීසි නම කෙළින්ම සිංහලයට නගනවට වඩා නිර්මාණාත්මක යමක් කිරීමේ මගේ ආසාව ඉහළට ආවා. ඒ වගේම මේ කතාවට ඉංග්‍රීසියෙන් A sorrow beyond dreams කිව්වට, මේ පොතේ තියෙන්නේ පීටර්ගේ මව සැබෑකරගන්නට අපේක්ෂා කළ සමහර ‘සිහින(dreams)‘ ඇයට ‘ශෝකය(sorrow)‘ රැගෙන ආපු කතාව. ඉතින් සිහින අවුල් වෙලා, ඒ සිහින වලින් සංතාපයක් අරගෙන ආව නිසාම ඒකට සකුලු සිහිනයක සමළ සංතාපය කියලා නම තියන්න මම තීරණය කළා.

peter handke

මේ කතා තේමාව ඔබව ඒ සඳහා පෙළඹවීමක් ඇති කලේ කුමන ආකාරයකටද? සහ මේ තේමාව ලාංකීය පාඨක සමාජයට ඇතිකල හැකි බලපෑම කෙසේ වේද?

මේ පොත කියවද්දි මට මගේ බිරිඳගේ සිට මගේ අම්මා ආච්චි ආදී මට සම්බන්ධ බොහෝ කාන්තාවන්ගේ කතාවෙන් කොටසක් හරි මේ පොතේ අඩංගුයි නේද කියලා මට දැනුණා. පීටර් හන්ඩ්ක මේක ජර්මනියේ හිටපු තමන්ගේ අම්මගේ කතාවෙන් ලිවුවත් ඒක අද ලංකාවේ ඉන්න බහුතර කාන්තාවන්ගේ තත්වයට බොහෝ දුරට සමානයි. ඉතින් මේක අපේ සමාජයට යහපත් බලපෑමක් ඇති කරයි කියන විශ්වාසය මට තියෙනවා. මේක පරිවර්තනය කරන්න මම පෙළඹෙන්නේ එහෙම.

ඔබ වඩා දක්ෂ යැයි සිතන්නේ ස්වතන්ත්‍ර නිර්මාණය ද? පරිවර්තනය ද?

ඇත්තටම දක්ෂයි කියන එක ගැන මට මුකුත්ම කියන්න අමාරුයි. ඒක තීරණය කළ යුත්තේ බාහිර ප්‍රජාව. හැබැයි ඔය දෙකෙන් මම වඩා කැමතිම ස්වතන්ත්‍ර නිර්මාණයට. මට මම වෙන්න පුළුවන් වෙන්නෙ ස්වතන්ත්‍ර නිර්මාණයකදි. නැත්නම් අපිට බොහොම තදින් වෙන ලේඛකයෙක්ගේ ලිවීම අනුගමනය කරමින් යන්න වෙනවා පරිවර්තනයකදි. මම පරිවර්තකයෙක් වෙන්නේ අහම්බෙන්.

පරිවර්තකයෙක් විදියට ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

අභියෝග නම් විශාලයි. අහම්බෙන් පරිවර්තකයෙක් වුණාට, පරිවර්තන කරන්න මගේ අදහසක් තිබුණෙ නැහැ. ඒ නිසා මම ස්වයං අධ්‍යන රාශියක් කළා. පරිවර්තන විධි ක්‍රම ගැන පීටර් නිව්මාර්ක් ලියපු පොත වගේ පොත් ගණනාවක් කියෙව්වා. ලංකාවේ විශිෂ්ට ගණයේ ලා සැලකෙන පරිවර්තකයන් කරපු පරිවර්තන ඒවයේ මුල් කෘති සමඟ සසඳලා ඔවුන් පරිවර්තනය කරපු විධි, ආකාර තේරුම් ගත්තා. ඒක ඇත්තටම හොඳ වැඩබිමක් ජීවිත කාලෙම වුණත් කරන්න පුළුවන්. ඒකෙන් ඒ අය ඉතාම අපූරුවට පරිවර්තනය කරපුවා වගේම ඔවුන්ට වැරදුන තැන් ගැන අවබෝධයක් මට ලැබුණා. ඒක හොඳ පදනමක් මට ලබාදුන්නා.

ඒ සඳහා ක්ෂේත්‍රයේ පවතින සහයෝගය සහ අගය කිරීම කෙබඳුද?

ක්ෂේත්‍රයේ පවතින සහය කිව්වොත් නිලූක කදුරුගමුව, චූලානන්ද සමරනායක, මංජුල කල්දේරා වැනි ප්‍රවීණ පරිවර්තකයන්ගේ සහය මට ලැබුණා. ඒ වගේම මගේ සමකාලීන පරිවර්තකයන් වන, මහේෂි වීරකෝන්, අචලා සිරිතුංග, මොහාන් ධර්මරත්න වගේ අයගෙනුත් හොඳ සහායක් ලැබෙනවා. නමුත් එක් ගැටළුවක් තමයි, පරිවර්තනය ගැන ලබාගන්න පුළුවන් බාහිර උපාධි පාඨමාලාවක් අපේ විශ්ව විද්‍යලාවල නැහැ. කැළණිය විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා. ඒ වගේම සාහිත්‍ය පරිවර්තනය සඳහාම වෙන්වුණ උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් තිබුණා නම් හොඳයි. අලුතෙන් එන අයට දැනට තියෙන්නේ අර මම සඳහන් කළ ඩිප්ලෝමා පාඨමාලාව සහ ස්වයං අධ්‍යනය තමයි.

ලංකාවේ ඔබට මුණගැසුනු සාර්ථක පරිවර්තකයන් සඳහන් කළොත්?

නිලුක කදුරුගමුව තමයි දැනට මගේ අංක 01 තේරීම කිව්වොත් හරි. ඊට අමතරව ගාමිණී වියන්ගොඩ, චූලානන්ද සමරනායක, වගේ අය ඉහළින් ඉන්නවා.

මෙවර බුකර් සම්මාන ලාභී ශෙහාන් කරුණාතිලක ව ඔබට පුද්ගලිකව මුණ ගැහෙනවා, ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් ඔබ පුවත්පත් ලිපියක් ඉදිරිපත් කරනවා. ඔබ හිතන ආකාරයට ශෙහාන් කරුණාතිලකයන්ගෙන් ජාත්‍යන්තරය ඉලක්ක කරගනිමින් නිර්මාණ කරණයේ යෙදෙන අපගේ ලාංකික ලේඛකයන්ට උකහා ගත හැකි දේ මොනවාද?

ශෙහාන්ගෙන් අපට උකහා ගන්න තියෙන පළවෙනි දේ තමයි ඉවසීම. ඒ වගේම නොනැවතී උත්සාහ කිරීම. ඔහු තමන්ගේ චයිනමන් කෘතියට ප්‍රකාශකයෙක් හොයාගන්න ප්‍රකාශන ආයතන 200කට වඩා ගණනකට ඊමේල් පණිවිඩ යවලා තියෙනවා. ඔහු ඒ තැනට ගියේ ඉවසීමෙන් සහ ලොකු කැපවීමකින්. ලේඛනය ගැන බරපතළ චින්තනමය වගේ දේවල් කියන්න පුළුවන්. ශෙහාන් තමන්ගේ පොත් වල අපේ අනන්‍යතාවය තියලා තියෙනවා. අන්න ඒක ඉතාම වැදගත්. මම හිතන්නේ ශෙහාන් කියන්නේ අධ්‍යනය කළ යුතු චරිතයක්. නමුත් අවාසනාවට අපේ රටේ හැමදේම දේශපාලනික අර්ථ වලට ගොනු වෙලා. ඒ සම්මානයෙන් අපිට ගත හැකිව තිබූ බොහෝ දේ නොලැබී යාම තමයි අවසාන ඉරණම.

ජාත්‍යන්තර පාඨක සමාජයට ගැලපෙන ගුණාත්මක නිර්මාණාත්මක කෘතීන් ලංකාවේ බිහිවීමේ ප්‍රවණතාවය අඩු ද? ඒ සඳහා පවතින බාධක ලෙස ඔබ දකින සහ ඒවාට විසඳුම් ලෙස ඔබ යෝජනා කරන්නේ මොනවා ද?

ජාත්‍යන්තර සාහිත්‍ය කියලා ඇත්තටම වෙනම එකක් නැහැ. සාහිත්‍ය නම් සාහිත්‍ය. අපි මේක වෙන්කරන් ඉන්න එක තමයි මම දකින්නේ අපිට තියෙන ලොකුම බාධාව. අපේ ලේඛකයො ලියද්දි ලංකාවේ පාඨකයා ගැන හිතමින් ලියන බවක් පේනවා. එහෙම වෙන්න බැහැ. අපි යමක් ලියද්දි ලෝකේ කොහේ පාඨකයෙක් මේක කියවයිද කියන්න අපි දන්නෑ. ඊළඟට අපිට සිංහලෙන් ඉංග්‍රීසි වගේම හින්දි, චීන ප්‍රංශ භාෂාවලට පරිවර්තනය කරන අය අවශ්‍යයි. ලේඛකයෙක්ට තමන්ට අනන්‍ය වූ චින්තන ධාරාවක් අවශ්‍යයි. මේ මොහොතෙදි අපේ ලේඛකයන්ගේ මට තියෙන ගැටළුව තමයි ඒ අයගේ චින්තන ධාරාව මොකක්ද කියලා ඒ අයවත් නොදන්නාකම.

ඔබ විශේෂයෙන් ප්‍රිය කරන දෙස් -විදෙස් ගත් කතුවරුන් කවරේද?

මම ඔල්ගා තොකර්චුක් සහ හරුකි මුරකමිට ඉතාම කැමතියි. ඒ අය ලියන විදියට කැමතියි. ඒ වගේම ඊට අමතරව දීර්ග ලැයිස්තුවක් දක්වන්න පුළුවන් ලෝක මට්ටමේ මම කැමති ලේඛකයන්. මේ හැම ලේඛකයෙක්ටම කැමතිවෙන්න ඔවුන්ගේ සුවිශේෂිතා තියෙනවා. සල්මන් රෂ්ඩි, ජේ.එම්. කොඑට්සි, මාකේස්, වගේ ප්‍රවීණ ලේඛකයො මෙන්ම මෑතකාලීනව රිචර්ඩ් පවර්ස් වැනි අයටත් මම කැමතියි. ඔහුගේ The Overstory කෘතිය මම මෑතකදී කියවපු විශිෂ්ටතම කෘති අතුරින් එකක්.

ඔබ ලිවීමට වඩාත් උනන්දුවක් දක්වන්නේ නවකතාද? නැතිනම් කෙටිකතාද?

ඔය දෙකෙන් එකක් ගැන ලොකු විශේෂයක් නැතත්, කෙටිකතාව මට නිතැතින්ම එන දෙයක් කියලා හිතිලා තියෙනවා.

ඔබ සිතන ආකාරයට කලාව නමැති සන්දර්භය තුළ ලේඛන කලාවේ කාර්යභාරය කුමක්ද?

කලාව කියන සංදර්භය ඇතුළේ සාහිත්‍යයට විශාල කාර්යයභාරයක් තියෙනවා. ලෝකේ පොත් කියවන ප්‍රමාණයම විතරක් බලන්න. විශාල ප්‍රමාණයක්. පොත් මිලියන ගණනින් අලෙවි වෙනවා. මම හිතන්නේ මිනිස්සුන්ට ප්‍රභල දායකත්වයක් දෙන්න පුළුවන් කලා මාධ්‍යයක් තමයි සාහිත්‍යය කියන්නේ. සාහිත්‍ය ඇතුළෙදි මිනිස්සු තමන්ගේම ජීවිත ගැන නැවත කියවීමක් කරනවා. මෙතෙක් කල් තමන් දැකපු විදිය, තමන් දන්න දේවල් ගැන ගැන වෙනස් විදියට හිතන්න ගන්නවා. මේ නිසා සාහිත්‍යයට බොහෝ දේවල් කරන්න පුළුවන්.

මේ අතර ඔබ විසින් ආරම්භ කරන ලද Book ART youtube නාලිකාව, සාහිත්‍යය නව්‍ය ස්වරූපයකින් රසවින්දනයට පාඨකයා යොමු කිරීමක් ලෙස මූලික පරමාර්ථය වී තිබෙනවා.. මේ ආකාරයට ලේඛන කලාව හා නූතන මාධ්‍ය සහ සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඔබ දරන මතය පැහැදිලි කරන්න.

අපි ඉන්නේ දවසින් දවස වෙනස් වෙන ලෝකෙක. ඒ වෙනස්වෙන ලෝකය ඇතුළෙ පවතින්න නම් අලුත් දේවල් පිළිබඳ අවබෝධය, යාවත්කාලීන වීම වැදගත්. කලාව මීට දශක කිහිපයකට තිබුණට වඩා වෙනස් පරාසයකට දැන් විහිදිලා. විශේෂයෙන්ම අන්තර්ජාලයේ දියුණුවත් එක්ක. අද අපිට E book, Audio book වගේ අලුත් ක්‍රම අත්විඳින්න ලැබෙනවා. ඒක තුළින් විශාල පිරිසක් අද කියවීමට යොමුවෙලා ඉන්නවා. Book Art අපි පටන්ගන්නෙත් දැනට මේ පවතින අවකාශයන් නිර්මාණශීලීව භාවිත කරලා පාඨකයා වෙනුවෙන් යම් මඟපෙන්වීමක් කරන්න. එහෙම මැදිහත්කාරක ක්‍රියාවලියක එකක් තමයි Book Art යූ නාලිකාව කියන්නේ. මේ හරහා ඉදිරියේදී බොහෝ අලුත් දේවල් අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී මගේ සගයා මොහාන් ධර්මරත්නව මතක් කරන්න ඕන. අපි දෙදෙනාගේ එකතුවෙන් තමයි Book Art බිහිවෙන්නේ.

පසුගිය වසරේ ඔබගේ නිර්මාණ දිවියේ තවත් එක් සන්ධිස්ථානයක් තමයි “Papillon” Literary Agency.. මේ ආයතනය කුමන පරමාර්ථයන් මූලික කරගෙන ආරම්භ වූවක්ද? ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කලොත්…

ඔව්. අපි කාලයක් තිස්සේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙණු කරමින් ඉන්නවා. ඒ හරහා අපි ගොඩනගාගත්ත සම්බන්ධතා ජාලයත් සමඟ අපිට ලෝකේ විවිධ රටවල ඉන්න ලේඛකයන් සහ පරිවර්තකයන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මේ හරහා අපේ නිර්මාණ, සිංහල සහ දෙමළ යන භාෂාවන්ගෙන් ලියවුණ අපේ නිර්මාණ ජාත්‍යන්තර ප්‍රමිතිගත ඉංග්‍රීසි පරිවර්තන කරමින් ඒවා ලෝකයට ගෙනයාම තමයි Papillion අපේ බලාපොරොත්තුව.

ලේඛන කලාවට අමතරව ඔබ ‘මාෂෙන්කා, පර්සියා වසන්තය, ඉසබෙලා, ලා සඳ නැඟී, නයිල් ගං තෙරේ, සකුරා මලක්’ සහ ‘සරසවියේ’ ආදී වූ අලංකාරවත් ගීතයන් ගණනාවකම නිර්මාණකරුවාද වෙනවා… මෑතකදී අලුතින් තවත් ගීත නිර්මාණයක් කිරීමට අදහසක් තියෙනවද?

මගේ ප්‍රවේශයේ ආරම්භය වුණේ ගී පද රචනා වලින්. කාලයත් එක්ක ගීත ලිවීම යම් පමණකට මගෑරිලා ගිහින් කියලා මටත් දැනෙනවා. මම මේ ලිවීමට යොමු වුණාට පස්සේ එක්තරා විදියකින් ගීත රචනයේ යම් පසුබෑමකුත් තියෙනවා. කොහොම වුණත් ඉදිරියේදී අලුත් ගීත කිහිපයක් අහන්නට ලැබෙයි.

අවසාන වශයෙන් ලංකාවේ ආර්ථික, සමාජයීය අවපාතයක් පවතින මෙවන් වකවානුවක ලේඛකයාගේ කාර්යභාරය ලෙස ඔබ දකින්නේ කුමක්ද? ඒ සඳහා ඔබගේ දායකත්වය සිදු වන්නේ කවර ආකාරයකටද?

ලේඛකයෙක් විදියට අපිට පුළුවන් දේ තමයි ජනතාව අවදියෙන් තියාගන්න එක. ඒ අයට මේ අර්බුධය ගැන වටහා ගැනීමට හැකි තියුණු ප්‍රඥාව වර්ධනය කරගන්න සාහිත්‍යය හරහා උදවු කිරීම. මම මට හැකි පමණින් ඒ ගැන ලියමින් ඉන්නවා. දැනුවත් කරමින් ඉන්නවා.

සංවාදය: ගයාත්‍රී නදීශානි තන්තිරිවත්ත

ඡායාරුප- රවීන්ද්‍ර පුෂ්පකුමාර

Related articles

කාංචනා අමිලානිගේ වචන වනාන්තරය “කාල රේඛාව”

ඈ වචන වනාන්තරයක් මවන්නී ය. ඔබට එහි අතරමං විය හැකි වාර සංඛ්‍යාවට සීමාවක් නොමැත. එමෙන්ම ඔබට එයින් පිටතට...

හිටපු සොලිසිටර් ජනරාල් අධිකරණ අමාත්‍යංශ ලේකම් ධුරයට : නීතිපති පුටුවෙන් රනිල් ඇයව හැලුවේ ඇයි ?

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් ධුරයට හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත්කර තිබේ. වසර 30කට අධික...

SLIIT, 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2024 හිදී විශිෂ්ට දක්ෂතා විදහා දක්වමින් සම්මාන රැසක් දිනා ගනී !

SLIIT පසුගියදා පැවති 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ (National ICT Awards) - NBQSA 2024...

SLIIT විසින් පවත්වනු ලබන ‘Brain Busters with SLIIT – Season 4’ රූපවාහිනී දැනුම මිනුම වැඩසටහන, සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා එළිදක්වමින් සාර්ථකව නිමා වේ !

ශ්‍රී ලාංකීය සිසු ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන් තුළ අභියෝගයන් ජය ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම ඇති කිරීම...