ඇතැම් කවි තේමාත්මක සුවිශේෂතා විසින් ද ඇතැම් කවි සංරචනාමය සුවිාශ්ෂතා විසින්ද ඉහළට ඔසවා තබන අතර ඇතැම් කවිවල ජීවය ලෙස වෙසෙසින් කැපී පෙනෙන්නේ ඒ කවි රචනා සඳහා භාවිතා කරනු ලබන භාෂාමය සුමට බවයි. ඒසේ නැත්නම් භාෂා භාවිතයේ දී කවියා විසින් දකවනු ලබන සුවිශේෂී පරිචයයි. සිය පළමුවන කාව්‍යමය ප්‍රයාණය අප වෙත ගෙන එන ප්‍රගීතිකා ජයසේකර කිවිඳියගේ ‘හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්’ නම් කවි එකතුව කවියහි දිගු ගමනක් යාම සඳහා ඇය සතු විභවය පෙන්නුම් කරනු ලබන කවි එකතුවක් බව පෙනේ. විශේෂයෙන්ම සිය කාව්‍ය රචනාවන්හිදී ඇයි විසින් පෙන්වනු ලබන භාෂමය පොහොණි බව මේ කෘතිය පුරාම දක්නට ලැබේ.
මුව විටදි රළ නගා
වැගිර සිතැතිරිලි මත
දිගු දිවි පුරා පැතිරෙන
අතීතයෙ මලසුන්හි
මදාරා කැකුළු පුබුදන
හාදු රොන් නදියකි එය
ඒ විසල් නදියෙහි
කිඳී විඳී තෙත මනහර
කතරක මවන රඟ
මලගල් ගඟුල් සිහිලැල්
(හාදු රොන් නදිය පි 28)
එපත් ළය සුරකින
මහද සරමිණි සුමුගුව
එරොන් මඩෙහිම පුබුදන
මෙකව් සියපත ඔබටය
එබැව් නොම දැන සකොබින්
මුමුණන ඇනුම් වදනක
පවා මිහිරක් ඇතිවග
අමතක වෙතොත් යෙහෙකිය
(මතක විසුල පෙත පොතකිය පි 29)
මෙවැනි කාව්‍ය කණ්ඩ සහ අපූර්ව යෙදුම් යෙදුම් මේ කෘතිය පුරා විරල නොවේ. ඇය කවියට බොහෝ විට තේමාවන් බවට පත් කරගන්නේ ප්‍රේමය, විරහව සහ ඒ තුළින් පැන නැඟෙන සංවේදනා වන අතර එහිදී වඩාත් සුගම භාෂා කෝෂයක් භාවිතා කිරීම තුළින් එවැනි කවියක පෙර නොවිදි අපූරුවත්වයක් මතු කිරිමට ඇය සමත් වන්නීය. “ මුව විටදි රළ නගා – වැගිර සිතැතිරිලි මත” වැනි යෙදුමක් කෙතරම් පරාසයක් තුළ කියවන්නා තුඝ හැඟුම් ජනනය කිරීමට සමත් වේද යන්න එයට හොඳම නිදසුනකි. එය හුදෙක් භාෂා ඥානයෙන් පමණක් පැ හැකි සමත්කමක් නොවන අතර සුදුසු කාව්‍යෝක්තින් තෝරා බේරා ගැනිමට ඇති සමත්කම් මතද තීරණය වන්නකි.
ඇය ඇතැම් කවියකදී සම්භාව්‍ය සංදේශ කවියක රීතීන්, රිද්ම සහ භාෂාව යනාදියෙන් සිය කවිය පොහොසත් කිරීමට සමත් වෙයි.
සඳත් ළා රතින් හැඩ කර ලවන් පෙතී
අනත් අහස මත ඉහිරයි හැඟුම් රුති
නැකත් තරු වලින් අවසර නිමක් නැති
වසත් ගීතයට දෙනු මැන සුබ නිමිති
පෙළක් සැදී දුක අසනා කුසුම් ඉතී
මලක් මලක් ගානේ මදහසකි නිතී
දොළක් සෙනේ වගුරන ඔබ ගැනම සිතී
කවක් ලියමි මල් මත ඔබ දුටොත් ඇති
(සෝ මැද මදහස පි 39)
මෙවැනි කවක එක වරම කියවන්නාට රොමෑන්තික අඩවියක සැරි සැරීමට ආරාධනා කරයි. ඒ හැඟුම් හිතට ප්‍රියජනකය. ඒ භාෂා භාවිතය සුපසන් බවක් හඟවයි. කවිය හුදු භාෂාවේ ප්‍රයෝගයක් බවට පත් නොවී, භාෂාව කවියෝ ප්‍රයෝගයක් බවට පත් කිරීමට ඇය සමත්ය. “මලක් මලක් ගානේ මදහසකි නිතී” වැනි යෙදුමක් මල සහ මදහස නම් රූපකයන් අතික්‍රමණය කර කෙයිතරම් පරාසයකට පාඨක මනසෙහි චමත්කාරය ඇති කිරීමට සමත් වේද ? සුපසන් කවියක් කෙරෙහි ප්‍රගිතිකා සතු ශක්‍යතාවය කෙතරම්ද යන්න නිරික්ෂණය කිරීමට ඒ කවියම වුවද සෑහේ යයි සිතේ.
ඇතැම් කවියකදී ඇය ප්‍රතිනිර්මාණය කරන්නේ ජීවිතය පිළිබඳ වඩාත් විවෘත හා පුළුල් දෘෂ්ටියකි. පැවැත්මෙහි ස්වභාවය පිළිබඳව තෘෂ්ණාබර හැඟීමකට වඩා උපේක්ෂාවෙන් ජිවිතය දෙස යොමු වු දැකිමකි. “හමු නොවී හමු වීම” වැනි කවියක් සාක්ෂි දරන්නේ වඩාත් පරිණත දැක්මකින් යුතුව මිනිස් සංවේදනා, ජීවන ස්වභාවයන් විෂයෙහි කිවිය තුළ සිය සීමාවන් පුළුල් කර ගැනීමට ඇයට ඇති හැකියාවයි.
පෙම්බරය
ඔබේ දෑසේ කැඩපත
ඉසියුම්ව
යොමු නොකරන්න මාදෙස
රුති සිතින් ඔබ විඳින රුව පත්ල
කැට කැබලි ආත්මය
ඔබේ දිගු ඇඟිලි තුඩු
සිදුරු විසිදුරු කරනු ඇත
……………………..
…………………….
නොතැවෙන්න ඔබ
තිබේ මට ජීවිත දහසක්
පොත් පිටු අතර
මා කැමති ප්‍රබන්ධෙක
ඇතැම් විට
ඔබට මා හමු වනු ඇත
එහෙත් මා පෙම්බරය
ජීවිතය ඒ තරම් දිගු නැත
(හමු නොවී හමු වීම පි 32/33)
සිය පළමු කෘතිය තුළ යම් සිමිත පරාසයක තේමා මානයන් තුළ කවිය හැසිරවීමට උත්සාහ ගෙන ඇතත්, විවිධ තේමාවන් තුළ සිය කවිය හැසිරවීමට ඇති හැකියවත්, ඒ සඳහා ඇවැසි පරිකල්පනයේ විභවයනුත්, දේවල් දෙස වඩාත් විවෘතව බැලීමට ඇති කැමැත්තත් පිළිබඳව වන සාධනිය සලකුණු ඇය මෙම කෘතිය පුරා තැන්පත් කර ඇත. තේමාත්මක විවිධතාවයෙන් තුළින් තව තවත් සිය කවි මග පුලුල් කර ගන්නේ නම් සිය පළමු කෘතිය තුළින්ම සලකුණු කර ඇති පරිදි කවිය තුළ ඇයට යා හැකි දුර දුර බොහෝ යයි සිතේ. දැනුවත් භාෂා භාවිතයක් සහිත භාෂා ප්‍රේමියකගේ ආගමනය සිංහල කවියට සුබ ලකුණක්ම වනු ඇති.