බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවීමේ සිද්ධියට වසරක් ගතවුවද, ඒ පිළිබඳව විධිමත් විමර්ශන සිදු නොවූ බවට චෝදනා කරමින් පෙරේදා (15) එම දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්විණි.
මෙම බෝම්බය පිළිබඳ සිද්ධිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන වෙනතක ගෙන යෑමේ උත්සාහයක් බවට එය සොයාගත් දිනවල ම සැක මතු කෙරිණි. මේ ආකාරයට ම විධිමත් ව විමර්ශන අවසන් නොවූ තවත් බෝම්බ කතාවකි, නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් බෝම්බය.
සිද්ධිය කෙටියෙන්
සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගැනුණේ 2022 ජනවාරි 11දා සවස් වරුවේ ය. ඒ පල්ලියේ වැඩකරමින් සිටි සේවකයකු (සංක්‍රිස්තියන්) පල්ලිය පිරිසිදු කරද්දී ය. ඒ ගැන පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශන ආරම්භ කළ පොලිසිය, එදින සවස 3න් පසු සීසීටීවී දර්ශන පරීක්ෂා කර බලා බෝම්බය සොයා ගත් පල්ලියේ සේවකයා ද, එදින ඒ ආශ්‍රිතව සිටි 13 හැවිරිදි දරුවකු ඇතුළු තුන් දෙනකු ද පොලිස් බාරයට ගත්තේය.
ඉන්පසු ව මාධ්‍ය හමුවක් කැඳවූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ විශේෂ හෙළිදරව්වක් කරමින් ජනවාරි 11දා උදේ වරුවේ සීසීටීවී දර්ශන ජනමාධ්‍ය වෙත මුදාහැරියහ. එහි දැක්වුණේ පුද්ගලයකු පැමිණ බෝම්බය තිබූ ස්ථානයේ යමක් කරන අයුරු ය. මෙහි විමර්ශන හරි හැටි සිදු නොවන බව කාදිනල් හිමියෝ එහිදී ප්‍රකාශ කළහ.
ඊට එවකට පොලිසිය බාර ඇමති සරත් වීරසේකර ප්‍රතිචාර දැක්වීය. බෝම්බ සහිත බෑගය පල්ලියේ සේවකයා (සංක්‍රිස්තියන්) ලබා දුන් බව ළමයා මහේස්ත්‍රාත් ඉදිරිපිටදී ප්‍රකාශ කළ බවත්, බෝම්බය තැබීම ගැන සේවකයා ද පිළිගත් බවත් ඇමතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය. බෝම්බයේ ගිනිකූරු ගසා සෙලෝටේප් ඔතා හඳුන්කූරක් තබා තිබූ බවත්, ඒ සියල්ලේ ඉතිරිය පල්ලියේ සේවකයාගේ කාමරයේ තිබී සොයා ගත් බවත් ඇමැතිවරයා කීවේය.
කාදිනල් හිමි මාධ්‍යයට නිකුත් කළ සීසීටීවී දර්ශනවල සිටි පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත් අතර, මෙම බෝම්බය මෙන්ම ලංකා හොස්පිට්ල්ස්හි බෝම්බය තැබුවේ ඔහු බවත්, බෝම්බය තැබීම සඳහා රුපියල් 50,000ක් ලබාදුන්නේ වෙනත් කෙනෙකු බවත් පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේය.
ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වූ කරුණු මත යැයි පවසමින් පොලිසිය පිළියන්දල ප්‍රදේශයේ විශ්‍රාමික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්තේය. ඒ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත්ගේ පියා ය. පසුව ඔවුන්ට බෝම්බය ලබාදුන් පුද්ගලයා බව කියමින් රන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ද ජනමාධ්‍ය වාර්තා කළේය. විශ්‍රාමික වෛද්‍යවරයාගේ බිරිඳ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගිය බවත්, ඇයට ලංකා හොස්පිට්ල්ස්හි හොඳින් ප්‍රතිකාර කළ නිසා එය ප්‍රසිද්ධ වීමට එහි බෝම්බයක් තැබූ බවත්, තමන්ගේ විවාහයේදී සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පියතුමා උදෑසන පූජාව ප්‍රතික්ෂේප කළ නිසා ඒ පිළිබඳ කෝපයට එහි බෝම්බය තැබූ බවත් විශ්‍රාමික වෛද්‍යවරයා ‘පාපොච්ඡාරණය’ කළැයි ජනමාධ්‍ය වාර්තා කළේය.
සිද්ධිය කෙටියෙන් එසේය.
මෙම සිදුවීම් දාමය එකිනෙක ලිහාගෙන යද්දී පොලිසියේ විමර්ශන ගැන බරපතළ සැක-සංකා මතුවන සිදුවීම් රැසක්ම තිබේ. මෙය නීතිය පසිඳලීම ගැන ජනතා විශ්වාසය බරපතළ ලෙස පළුදුවීමට පමණක් නොව එය හාස්‍යයට ලක්කිරීමට ද හේතු විය හැකිය.
‘ලංකා හොස්පිට්ල්ස්’ මීට පෙර හැඳින්වූයේ ‘ඇපලෝ රෝහල’ ලෙස ය. එය පිහිටා ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ ය. 2021 සැප්තැම්බර් 14 වැනිදා එහි වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයා ගත්තේය. එම රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීම් කරන කොන්ත්‍රාත් සමාගමක සේවකයෙකු වැසිකිළියට ගිය අවස්ථාවේ මෙය දැක ඇත. ඔහු පොලිසියට කියා ඇත්තේ තමන් වැසිකිළියට යන විට එහි සිට සුදු කමිසයක් සහ කළු කලිසමක් හැඳගත් පුද්ගලයෙකු පිටව ගිය බවයි. මෙම විමර්ශනයට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් දුන් බව ජනමාධ්‍ය වාර්තා පරීක්ෂා කරද්දී පෙනී යයි.
මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් 18 වැනි සෙනසුරාදා ‘දේශය’ පුවත්පතේ පළවූ ලිපියක කොටසක් පහත දැක්වේ. එය කියවූ විට ‘නාට්‍යයේ පිටපත කාගේද’ යන්න පිළිබඳ යම් අදහසකට පැමිණීමට හැකිවනු ඇත.
”කෙසේ වෙතත් මේ වන විට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාරාහේන්පිට ස්ථානාධිපති වෙත නියෝග තුනක් ලබාදී තිබුණේය. ඒ බෝම්බය දුටු පුද්ගලයා කියන ආකාරයෙන් සීසීටීවී පරීක්ෂා කර සැක කෙරෙන පුද්ගලයා ගිය පැත්තට පොලිස් කණ්ඩායමක් යොමුකරන ලෙස ය. දෙක රෝහල වසා දමා සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලෙස ය. තුන අදාළ සැකකරු සම්බන්ධයෙනුත් ඔහු ජීවත් වන නිවස සම්බන්ධයෙනුත් පරීක්ෂා කර ඔහුගෙන් සවිස්තරාත්මකව ප්‍රකාශ ලබාගන්නා ලෙස ය. පොලීසිය ඒ අනුව අදාළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගත් අතර, ඔහු ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පුදුකුඩුඉරිප්පු ග්‍රාමයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගනු ලැබීය. පසුව පොලිස් නිලධාරීන් මෙම බෝම්බය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් දිගින්-දිගටම සිදුකරගෙන ගියත් සැකකරු ඇතැම් ප්‍රශ්නවලට හරිහැටි උත්තර ලබාදුන්නේ නැත. පසුව මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දැනුවත් කළ අතර, තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේ වහාම අදාළ පුද්ගලයා කොළඹ නැවතී සිටින නිවස පරීක්ෂා කරන ලෙස ය. ඒ අනුව වහාම පොලිස් කණ්ඩායමක් ගොස් අදාළ ස්ථානය පරීක්ෂා කළේය. එහිදී හොඳම සාක්ෂිය පොලීසියට හමු විය.”
”වැසිකිළියේ තිබී සොයාගත් අත්බෝම්බය නූලකින් ගැටගසා එහි පින් එක ඉවත් කර තිබුණේය. එසේම බෝම්බය තබා ඔතන ලද නූලේ ගෑවෙන සේ මදුරු දඟරයක් ළංකර තිබුණේ මදුරු දඟරය ඇවිලී එම නූල පිළිස්සී බෝම්බය පිපිරී යන ආකාරයෙනි. එහෙත් මදුරු දඟරය නිවී තිබුණේය. සැබැවින්ම එය ඉතාම සූක්ෂ්ම ලෙස අටවා තිබිණි. කෙසේ වෙතත් කතාවේ ඇත්ත හෙළිවන්නේ මෙම බෝම්බය ඇසින් දුටු පුද්ගලයා රුඳී සිටි ස්ථානය පරීක්ෂා කළ විට ය. එනම් එම ස්ථානය පරීක්ෂා කළ නිලධාරීන්ට මෙම බෝම්බය ගැටගසා තිබුණු නූලේ ඉතිරි කොටස සොයා ගැනීමට හැකි විය. ඒ අනුව මෙම බෝම්බ නාටකය මෙම පුද්ගලයාගේ ම වැඩක් බව පොලිස් නිලධාරීහු තේරුම් ගත්හ. අවසානයේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්නට විය. ඒ අනුව සැකකරු තම කතාව කියන්නට විය.”
”සැකකරු ලංකා රෝහලේ කොන්ත්‍රාත්තුවට පැමිණීමට පෙර කොන්ත්‍රාත්තු වැඩ සිදුකර ඇත්තේ කොළඹ විජේරාම පාරේ පිහිටි අමාත්‍ය නිල නිවෙසක ය. එම නිල නිවෙස 2020 වසර තෙක් භාවිතා කර ඇත්තේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසිනි. ඉන්පසුව නියෝජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාට එම නිවෙස හිමි වුවත්, එහි අඩුපාඩු සැකසීම සඳහා මෙම කොන්ත්‍රාත් සමාගමට ලබාදී තිබිණි. එම නිල නිවෙසේ වැඩකරන සමයේදී එහි තිබූ කබඩ් එකක ලාච්චුවේ තිබී මෙම බෝම්බයත් ජීව උණ්ඩ කිහිපයකුත් මේ සැකකරු සොයාගෙන ඇත. පසුව ජීවඋණ්ඩ තොගය ඔහු සමඟ වැඩ කළ අයකුට ලබාදී ඇති අතර, බෝම්බය සැකකරු තබාගෙන ඇත. මොහු බෝම්බය ලංකා රෝහලේ සවිකර ඇත්තේ මෙය දුටු බවට අඟවා පොලිසියෙන්, රෝහලෙන් මුදල් තෑගි ලබාගැනීමේ අරමුණු ඇතිව බව කියා ඇතැයි වාර්තා විය. බෝම්බය ක්‍රියාත්මක නොවන ලෙස තබා ඇත්තේ ඒ නිසා ය. පසුව බෝම්බය තමන් දුටු බව පවසා මුදල් තෑගි ගැනීම ඔහුගේ අරමුණ වී ඇත.”
”සැකකරුගේ සාක්ෂි මත තවත් කණ්ඩායමක් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා ඇති අතර, එහිදී එම සැකකරුගේ මහව පිහිටි නිවෙසේ පිටුපස වළ දමා තිබියදී එම ජීවඋණ්ඩ තොගය සොයාගෙන ඇත. ඒ අනුව මෙම නාටකයේ සියල්ල හෙළිවුණු අතර, මෙම සිද්ධිය සැකකරුගේ ආර්ථික අපහසුතා මත සිදු කළ ක්‍රියාවක් බවට සැක කෙරේ. එහෙත් මෙවැනි සිද්ධියක් සුළුවෙන් සිතා ප්‍රශ්නය නිම කළ නොහැක. එනම් අත්බෝම්බයේ පින් එක ගලවා එය ඉතාම පරිස්සමින් නූලකින් ඔතන්නත්, මෙවැනි ක්‍රියාවක් සිදුකරන්න අවශ්‍ය සැලසුමත් ඔහුගේම පමණක් යැයි සිතිය නොහැක. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ ඔහුගේ ඥාති සහෝදරයෙක් එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයෙක් බවත් ඔහු මේ වන විට පුනරුත්ථාපනය අවසන්ව නිවෙසට පැමිණ ඇති බවත් ය.”
ඒ ‘දේශය’ වාර්තාවයි.
එම බෝම්බ සිද්ධිය ද වව්නතිව් බෝම්බ සිද්ධිය මෙන් අවසානයේ එල්ටීටීඊ හිටපු සාමාජිකයකුගේ ගිණුමට බැර කිරීමට උත්සාහ දැරූ අතර, එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවට පසුව මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම ඒ දිනවල එම රෝහලේ ප්‍රභූන් කිහිපදෙනකු ද ප්‍රතිකාර ලබමින් සිටි බව මාධ්‍ය වාර්තා කළේය. ‘දේශය’ පුවත්පතට ගයාන් ගාල්ලගේ ලියූ එම ලිපිය අනුව සැකකරුවන් ‘තමන් කළ දේ සහ කළ විදිහ’ ප්‍රකාශ කර තිබේ. බෝම්බයේ පින් එක ඉවත් කර නූලකින් ගැටගසා මදුරු දඟරයක් ආශ්‍රයෙන් පත්තු කිරීමට සැලසුම් කර තිබුණු බව එහි සඳහන් විය. සිද්ධියේ සැකකරු වන්නේ බෝම්බය දුටු පුද්ගලයා ය. ඔහුගේ කාමරයෙන් බෝම්බයේ ගැටගසා තිබූ නූලේ ඉතිරි කොටස සොයා ගත් බව මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ ජාතිය ද අදාළ කරමින් ඔහු ‘දෙමළ’ පුද්ගලයකු බව ජනමාධ්‍ය වාර්තා කළේය.
ලංකා හොස්පිට්ල්ස් නාට්‍යයේ දෙවැනි කාටස ඇරඹෙන්නේ 2022 ජනවාරි මස 11 වැනිදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙනි. එහි ද බෝම්බයේ පින් එක ගලවා නූල් වෙනුවට සෙලෝටේප්වලින් ගැටගසා, ගිනිකූරු ගසා මදුරු දඟරය වෙනුවට හඳුන්කුරක් දල්වා පත්තු වන ලෙස සකස් කර තිබී ඇත. දෙවැනි සිදුවීමේදී ද පොලිසිය ‘ප්‍රධාන සැකකරු’ ලෙස හඳුන්වමින් අත්අඩංගුවට ගන්නේ බෝම්බය මුලින් ම දුටු පුද්ගලයාම ය. සිද්ධි දෙකේ සමාන බව තවදුරටත් පෙන්වමින් ඊළඟට සිද්ධිය දුටු පුද්ගලයාගේ කාමරයෙන් ඉතිරි සෙලෝටේප් සහ ගිනිකූරු ද සොයාගත්තේය. බැලූ බැල්මට ‘පිටපත්’ දෙක ම එකම පුද්ගලයකුගේ දැයි සැක මතුවුවහොත් එහි වරදක් නැත.
පළමු නාට්‍යයේ, එනම් ලංකා හොස්පිට්ල්ස් සිද්ධියේදී සීසීටීවී දර්ශන එළියට දැමීමට හෝ වෙනත් අනාවරණයක් කිරීමට කෙනෙකු නොසිටි නිසා පිටපත සාර්ථක විය. එහෙත් දෙවැනි නාට්‍ය හෙවත් සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පිටපත අවුල් කිරීමට කෙනෙක් සිටියේය. ඒ, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ භූමිකාව සම්බන්ධයෙන් විටින්-විට විවිධ මතභේදාත්මක අවස්ථා ඇති විය. විටෙක ඒ හිමියන් මානව හිමිකම් පිළිබඳව කතා කළ දේවල් මෙන්ම පාස්කු ප්‍රහාරය ගැන මුලින් ප්‍රකාශ කළ කරුණු ද මානව හිමිකම් ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරන බහුතරයකගේ විවේචනයට ලක්විය. කෙසේ වෙතත් වර්තමානය වන විට ඔහුගේ භූමිකාව ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුද්ගලයන්ගේ පැසසුමට ලක්වෙමින් තිබේ.
දෙවැනි නාට්‍යයේදී බෝම්බය දුටු පල්ලියේ සේවකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අගරදගුරුතුමා හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිසියේ විමර්ශන වැඩපිළිවෙළ විවේචනය කළ අතර, පල්ලියේ සීසීටීවී කැමරාවල සටහන් වී තිබූ සිද්ධිය වූ දා උදෑසන දර්ශන ජනමාධ්‍ය වෙත නිකුත් කළේය. නාඳුනන පුද්ගලයෙකු බෑගයක් අතැතිව පැමිණෙන අයුරු සහ බෝම්බය තිබූ ස්ථානයේ ඔහු යමක් කරන අයුරුත්, පල්ලියේ සේවකයා පැමිණෙන විට ඔහු කලබලයෙන් පිටව යන අයුරුත් එම දර්ශනවල සඳහන් විය.
කාදිනල් හිමි ජනවාරි 13 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමෙන් පසු එවකට පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර ජනවාරි 14 වැනිදා ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විමර්ශන ගැන අදහස් දැක්වීය. ජනවාරි 14 වැනිදා දෙරණ ප්‍රවෘත්ති විකාශයේදී පළවූ අමාත්‍යවරයාගේ අදහස් පහත දැක්වේ.
”හැන්දෑවේ පහට පමණ පොලිසිය එම ස්ථානයට ගිහින් සැකකටයුතු හතර දෙනෙක් ගත්තා. ඒ ළමයට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ පල්ලියේ මාස අටක් පමණ වැඩ කරන ද්‍රවිඩ ජාතික … කියන පුද්ගලයා තමයි එයාට මේ මල්ලක් බාරදුන්නේ කියලා. බෝම්බය සහිත ඒ මල්ල බාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ. ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බය වටේට රබර් පටියක් දාලා, පින් එක ගලවලා, හඳුන්කූරක් තියලා, ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තු වෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඒ පුද්ගලයාගේ කාමරය ඇතුළේ ටේප් තිබ්බා. හඳුන්කූරු තිබ්බා. ගිනිකූරු තිබ්බා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තාම පල්ලියේ ඉන්න පුද්ගලයො අත්අඩංගුවට අරගෙන හිරිහැර කරනවා කියලා කියන එක මොනතරම් බාල තර්කයක්ද කියන එක තමයි මට අහන්න වෙන්නේ. උදේ නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. මෙතැනදි තියෙන්නේ පොලිසියට දිය යුතු ඒ සීසීටීවී දර්ශන මාධ්‍යයට නිකුත් කළාම වෙන්නේ අදාළ පුද්ගලයන්ට පුළුවන් හැංගෙන්න.”
‘ප්‍රශ්නය – කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයේදී සඳහන් කරනවා සීසීටීවී දර්ශන ඇයි පොලිසිය පසුව නැරඹුවේ නැත්තේ කියලා?’
”පිළිතුර – සීසීටීවී දර්ශන දවල් තුනේ ඉඳන් බැලුවේ. මොකද ඉක්මනට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ඔ්නෙ හින්දා. මේක පහට රිපෝට් කළේ. එහෙම කියලා උදේ ඒවා බලන්න එපා කියලා නැහැනෙ පොලිසිය. උදේ තියෙන සීසීටීවී දර්ශන විනාශ කරන්න කියලා නැහැනෙ පොලිසිය. ඒ වගේම තමයි අපි ජනතාවට කියන්න ඔ්නේ ඇපලෝ රෝහලේ වැසිකිළියේ බෝම්බය තිබ්බ පුද්ගලයයි, පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. රජයට අපහාස කරන්න, රජය අපහසුතාවට පත්කරන්න, පොලිසිය හමුදාව අපහසුතාවට පත්කරන්න. ඒ මහ මොළකරුවා අපි ඉදිරියේදී අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි මේ අවස්ථාවෙදි කියන්න ඔ්නෙ.”
සරත් වීරසේකර අමැතිවරයා මෙහිදී අවසානයට ප්‍රකාශ කළේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිදුවීම සහ ලංකා හොස්පිට්ල්ස්හි බෝම්බ සිදුවීම පිටුපස කුමන්ත්‍රණකාරයෙක් සිටින බවත්, රජයට අපහාස කිරීමට, රජය අපහසුතාවට පත්කිරීමට, පොලිසිය සහ හමුදාව අපහසුතාවට පත්කිරීමට මෙය සිදු කළ බවත්, මහමොළකරුවා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවත් ය. ඔහු මේ බව කියන්නේ පල්ලියේ සේවකයා අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරමින් සහ ඔහු මෙය සිදුකළැයි පිළිගත් බව කියමිනි. ඔහුගේ ජාතිය ද ඇමැතිවරයා සඳහන් කළේය.
සිද්ධි දෙක පිටුපස කුමන්ත්‍රණකරුවකු, මහමොළකරුවකු සිටින බවට ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ ලංකා හොස්පිට්ල්ස්හි සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් මෙය සිදුකළ බවට පිළිගත්තේයැයි ද, ඔවුන් ළඟ තිබූ සාක්කි සොයාගත්තේයැයි ද මීට පෙර ප්‍රකාශ කර ඇති පසුබිමක ය. ඇමැතිවරයා ඇතැම් විට තරමක් ඉක්මන් වූවා විය හැකිය. ගමේ භාෂාවෙන් කියන්නේ නම් ‘හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’ විය හැකිය.
ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් දවසකට පසු, එනම් ජනවාරි 15 වැනිදා මෙම සීසීටීවී දර්ශනවල සිටින පුද්ගලයා බව කියන සැකකරු ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය වාර්තා කළේය. මෙම සැකකරුට බෝම්බය තැබීම සඳහා රුපියල් 50,000ක මුදලක් ලබාදී ඇති බව ද, එසේ දී ඇති පුද්ගලයා ‘මුස්ලිම්’ ජාතිකයකු බව ද ජනවාරි 17 වැනිදා ‘අරුණ’ පුවත්පත වාර්තා කළේය.
ඇමැතිවරයා මුලින් කී කතාව සනාථ කරමින් ඉන්පසු වාර්තා වුණේ ලංකා හොස්පිට්ල්ස්හි බෝම්බය තබාඇත්තේ ද මෙම සැකකරු විසින් බවයි. ඊට අදාළ ව මුලින් සඳහන් කළ පරිදි ඔ්ෂල හේරත් නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ පියා ද අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් දෙදෙනා සිද්ධිය පිළිගත් බව පසුව වාර්තා කළේය.
ඊළඟට ඇති බරපතළ ම කාරණය වන්නේ සිද්ධි දෙක සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් තිදෙනෙකු වගකීම බාර ගැනීමයි. ලංකා හොස්පිට්ල්ස් සිද්ධිය සම්බන්ධයෙන් එය මුලින් දුටු පුද්ගලයා, තමා එය තැබූ බවට වගකීම බාර ගත් බව වාර්තා විය. ඊළඟට පල්ලියේ වැඩකරන පුද්ගලයා පල්ලියේ බෝම්බයේ වගකීම බාරගත් බව වාර්තා විය. අවසානයේ වෙනත් පුද්ගලයෙකු ඒ බෝම්බ දෙක ම තැබූ බවට වගකීම බාරගත්තේයැයි වාර්තා විය. අවසන් පුද්ගලයාගේ සිද්ධිය නිවැරදි නම්, පළමු සිද්ධි දෙක ම වැරදි විය යුතුය. එසේ නම් සිද්ධි දෙකට ම මුලින් අත්අඩංගුවට පත්වූවන් අහිංසකයන් විය යුතුය. මුලින් සිද්ධිය අසත්‍ය නම්, අවසානයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා, වෛද්‍යවරයා සහ රන්නේ පුද්ගලයා අහිංසකයන් විය යුතුය.
මේ විමර්ශන සිදුවන ආකාරය දෙස බැලූ විට හෙට තවත් පුද්ගලයෙකු පැමිණ මේ සියල්ල කළේ තමන් යැයි බාර ගත් බවට පොලිසිය ප්‍රකාශ කළහොත් පුදුම විය යුතු නැත. ‘පිටපත’ අවුල් යද්දී, හදිසියේ ජවනිකා ඇතුළත් කරද්දී මෙවැනි පරස්පරතා ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙම සිදුවීම් දාමය දෙස බැලූ බැල්මට පෙනෙනුයේ ද මෙවැන්නකි.
මෙහි බරපතළ කාරණය වන්නේ පොලිසිය විවිධ උවමනා-එපාකම්වලට මෙලෙස කටයුතු කරද්දී පොලිස් විමර්ශන ගැන ඇති මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදුවීමයි. මෙය හාස්‍යයට ලක්කරමින් සමාජ මාධ්‍යවලින් එළියට එන්නේ එයයි. එය පොලිසියේ පිටපත් රචකයන්ට පමණක් නොව සත්‍ය විමර්ශකයන්ට ද බරපතළ ගැටළුවක් විය හැකිය.