රනිල්, වජිර කළේ බරපතළ වරදක් – අනුර : අපි කිසිදෙයක් දන්නෙ නෑ – අගමැති

Share post:

පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් බාරනොගැනීමේ නියෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන එක්ව කැබිනට් ලේකම්වරයා මගින් ප්‍රකාශයට පත්කරන ලද්දක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

රාජ්‍ය පරිපාලන ඇමති නීල් බණ්ඩාර හපුහින්න විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ බව සඳහන් කරමින් ලිපියක් යොමුකර තිබූ අතර, කැබිනට් ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ද එය දැනුම් දී තිබිණි.

අපි දන්නෙ නෑ

මේ පිළිබඳ ව අද පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක විසින් අගමැති සහ රාජ්‍ය පරිපාලන ඇමති දිනේෂ් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරන ලදි. ඊට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ එවැන්නක් පිළිබඳව පසුගිය 09දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකළ බවයි. එසේ ම මෙය නිර්මාණය කරන ලද අසත්‍ය ප්‍රවෘත්තියක් බවට ද අගමැතිවරයා චෝදනා කළේය.

කැබිනට් ලේකම්

ඉන්පසු අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ මෙය ජනාධිපතිවරයාගේ සහ වජිර අබේවර්ධනගේ තීන්දුවක් බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. රටේ වැදගත් තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලයට අදාළ තීන්දු මෙසේ ගැනීම අතිශය බරපතළ තත්ත්වයක් බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය. එසේ ම කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීන්දුවලට නිල ස්වභාවයක් ලැබෙන්නේ කැබිනට් ලේකම්වරයා මගින් එය දැනුම් දීමෙන් බව ද අවධාරණය කළ මන්ත්‍රීවරයා, මෙහිදී කැබිනට් මණ්ඩලයේ බලය ලේකම්වරයා හරහා අවභාවිත කර ඇති ආකාරය ද පාර්ලිමේන්තුවට පැහැදිලි කළේය.

පසුගිය 10දා පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අදාළ ලිපිය යොමු කර තිබූ අතර, එදින ම පස්වරුවේ තාක්ෂණික දෝෂයක් නිසා යනුවෙන් දැනුම්දෙමින් එම ලිපිය ඉවත් කරගන්නා ලදි. ඒ වනවිටත් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් මතු වො තිබූ අතර, මැතිවරණ කොමිසම මගින් මේ පිළිබඳව විමසීමට ලේකම්වරයා කැඳවන ලදි.

එහිදී ලේකම්වරයා තමන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඉල්ලා තිබිණි.

ව්‍යවස්ථා විරෝධීයි

මේ අතර මෙම ලිපිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ව්‍යවස්ථා විශාරදයන් උපුටා දක්වමින් එදින ම  thetime.lk අවධාරණය කළේය.

ව්‍යවස්ථා විශාරදයන් පෙන්වාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් එක්කළ 104 (උ) යටතේ අමාත්‍යංශ ලේකම්වරයා බරපතළ වරදක් කර ඇති බවයි.

එම වගන්තියේ මෙසේ සඳහන් වේ.

104(උ) : යම් ඡන්ද විමසීමකදී හෝ ජනමත විචාරණයකදී කාර්යය සහ කර්තව්‍ය ඉටුකරන සියලුම රජයේ නිලධරයන් විසින්ඒ කාර්යය සහ කර්තව්‍ය ඉටුකිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානවලට යටත් ව ක්‍රියා කළ යුතු අතරඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිවයුතු සහ උත්තර දිය යුතු වන්නේය.

එසේ ම මෙම විධිවිධානවලට අනුකූල නොවීම වරදක් වන බව ද ව්‍යවස්ථාවේ සඳහන් ය.

 104(උ උ) : කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව;

(අ)යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ යම් නීතියක් බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන හෝ ;

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පිහිටුවා ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අදාළ පනත, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම අනාගතය සඳහා වන නරක පූර්වාදර්ශයක් වන බවත්, එම නිසා මේ ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවත් ව්‍යවස්ථා විශාරදයෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

එසේ ම ලේකම්වරයාගේ ලිපියට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද ලිපියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් විය.

‘2023.01.09 රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් බාරගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරන ලෙස මා වෙත දන්වා ඇත.’

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...