අපි අපේ හිත් බැන්ද, කෙළි කවට කම් අතර

404

අපට අප පමණක්ම
හිතවත්ම බව දැනුණු
කුඩා මතක උයනෙහි
වියළි ගහ කොළ අතර
මම තවම සැරිසරමි

අප එදා පියනැඟූ
කෙටි-සිහින් මංපෙත් හි
කෙමෙන් මැකි මැකී යන
පැරැණි පිය ළකුණු මත
යළි යළිත් ඇවිද යමි

අප හෙළූ කඳුළුවල
අවසාන සිහිවටන
කුඩා පිණි බිඳිති සේ
අඳුරු තණ පත් අතර
ඉසිර ඇති හැටි දකිමි

අප යනෙන තැන පිපුණු
තණ පඳුරු මත රැඳුණු
කුඩා කහ පැහැ කුසුම්
නිකිණි පාළුව අතර
මියගොසින් බව දකිමි

අපි අසා සිටි අපේ
සුසුම්වල හඬ නැවත
පාව එන වියළි පත්
උනුන් සවනින් අසනු
යළි යළිත් අසා ඉමි

අපි අපේ හිත් බැන්ද
කෙළි කවට කම් අතර
ඔබ නැගූ කිකිණි නද
නියං සියොතුන් තුඩග
වෙළෙනු සවනත රඳමි

සිතුමිණි රත්නමලල