කැබිනට් නියෝග අනුව ඡන්දය කල්දාන්න ව්‍යවස්ථාව කැඩූ අමාත්‍යංශ ලේකම්ට නඩු !

Share post:

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත ඊයේ (10) දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ව්‍යවස්ථා විශාරදයෝ අවධාරණය කරති.

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කරන අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බාරනොගන්නා ලෙස දන්වමින් එම ලිපිය නිකුත් කෙරිණි. මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊට ප්‍රතිවිරුද්ධ ලිපියක් නිකුත් කිරීමත්, එමගින් කොමිෂන් සභාව සතු බලය පිළිබඳ පැහැදිලිව අවධාරණය කිරීමත් නිසා ලේකම්වරයාගේ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු කැඳවන ලදි.

ව්‍යවස්ථා විශාරදයන් පෙන්වාදෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් එක්කළ  104 (උ) යටතේ අමාත්‍යංශ ලේකම්වරයා බරපතළ වරදක් කර ඇති බවයි.

එම වගන්තියේ මෙසේ සඳහන් වේ.

104(උ) : යම් ඡන්ද විමසීමකදී හෝ ජනමත විචාරණයකදී කාර්යය සහ කර්තව්‍ය ඉටුකරන සියලුම රජයේ නිලධරයන් විසින්, ඒ කාර්යය සහ කර්තව්‍ය ඉටුකිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානවලට යටත් ව ක්‍රියා කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිවයුතු සහ උත්තර දිය යුතු වන්නේය.

එසේ ම මෙම විධිවිධානවලට අනුකූල නොවීම වරදක් වන බව ද ව්‍යවස්ථාවේ සඳහන් ය.

 104(උ උ) : කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව;

(අ)යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ යම් නීතියක් බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන හෝ ;

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පිහිටුවා ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අදාළ පනත, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම අනාගතය සඳහා වන නරක පූර්වාදර්ශයක් වන බවත්, එම නිසා මේ ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවත් ව්‍යවස්ථා විශාරදයෝ වැඩිදුරටත් අවධාරණය කරති.

එසේ ම ලේකම්වරයාගේ ලිපියට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද ලිපියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ.

2023.01.09 රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් බාරගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරන ලෙස මා වෙත දන්වා ඇත.’

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...