පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුමයි : කැබිනට් නියෝගයත් ආපසු කැඳවයි !

Share post:

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත  ඊයේ (10) දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපිය යළි ආපසු කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කරන අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බරනොගන්නා ලෙස දන්වමින් එම ලිපිය නිකුත් කෙරිණි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන හපුහින්න සඳහන් කළේ ඇමති මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවයි.

කැබිනට් තීරණයක්

පෙරේදා (09) රැස්වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව අදාළ නියෝගය නිකුත් කරන බව ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ අදාළ ලිපියේ සඳහන් විය.

අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අංක 23/misc(001) හා 2023.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා බැඳේ.

2023.01.09 රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් බාරගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරන ලෙස මා වෙත දන්වා ඇත.’

(උපුටා ගැනීම – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ගේ ලිපිය)

කොමිසමේ බලය

කෙසේ වෙතත් සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් වෙත ඊයේ (10) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ද දැනුම් දී තිබුණේ ඒ ඒ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට අදාළ ව ලියාපදිංචි දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරන්නේ නම්, එම ඇප මුදල් බාරගන්නා ලෙසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4(1) වගන්තියෙන් මීට අදාළ බලතල කොමිෂන් සභාව වෙත පැවරී ඇතැයි ද එම ලිපියේ සඳහන් ය. මෙය සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ගේ වගකීමක් බව ද එමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

2018ත් පරාදයි

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ ඡන්ද විමසීමකදී ගැසට් මගින් පත්කරන දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියා වූ දිසාපතිවරයා වෙත පැවරෙන සියලුම රාජකාරි, විධිමත් ලෙස ගැසට් කරන ලද දිස්ත්‍රික් සහකාර තේරීම් බාර නිලධාරීන් වන නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට ඉටු කළ හැකි බවයි. එසේම ඇප මුදල් බාරගන්නේ තේරීම් බාර නිලධාරීන් නොව නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් බවත් ඔහු පෙන්වා දෙයි. 2018 වසරේදී ද එවකට පැවති ආණ්ඩුව මෙවැනි ම උපක්‍රමයක් මගින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්සාහ කළ බවත්, එය අසාර්ථක වූ බවත් කොමිසමේ හිටපු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නීතිවිරෝධී උත්සාහයක්

පවතින නීතියට අනුව යළිත් ජනාධිපතිවරණයක් පැවැත්විය හැකිවන්නේ 2024 නොවැම්බරයේදී ය. 2023 පෙබරවාරි මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතු වේ. කෙසේ හෝ දැනට කල් ඉකුත් වී ඇති පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය මුලින් ම පැවැත්විය යුතුය. දැනටත් මෙම පළාත් පාලන ආයතන පවත්වාගෙන යනු ලබන්නේ නිල කාලය දීර්ඝ කොට ඇති නිසා ය. පළාත් පාලන ආයතනයක සභිකයන්ගේ ධුර කාලය වසර 4කි. දැන් මෙම මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ වසර 5කට පසුව ය.

එම නිසා පවතින නීතියට අනුව පළාත් පාලන ආයතන කාලය තවදුරටත් දීර්ඝ කිරීමේ කිසිදු හැකියාවක් නැත.

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...