මේ අපරාධ රාජ්‍යය තුළ ලසන්තට කිසිදා යුක්තිය ඉටු නොවනු ඇත!

Share post:

ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් වසර 14ක් ඉක්ම ගියේය.
එය යුක්තිය ඉටු නොවී ගතවූ වසර 14කි.
ලසන්ත ඝාතනයට යුක්තිය ඉටු නොවිම රාජ්‍යයේ ව්‍යූහාත්මක ගැටලුවක් මිස අනෙකක් නොවේ.

ලසන්ත ඝාතනය තවදුරටත් අබිරහසක්ද?

ඍජු පිළිතුර වන්නේ, දැන් එය කොහෙත්ම අබිරහසක් නොවන බව යි.

මෙයින් වසරකුත් මාස දෙකකට පෙර, එනම් 2021 සැප්තැම්බරයේ සිට නොවැම්බරය දක්වා, මේ අවකාශයේ ම මා විසින් ලියා පළකරන ලද කොටස් 09කින් යුතු “අපරාධ රාජ්‍යයක ලේ පැල්ලම් ඔස්සේ… ලසන්ත ඝාතනයේ සැඟවූ කතාව”, මේ ඝාතනය පිළිබද මෙතෙක් සිදුකැරුණු වඩාත්ම සවිස්තරාත්මක වාර්තාකරණය වීමට ඉඩ තිබේ.

ලිපිපෙළ දිගු නොකිරීමේ වුවමනාව මත අප අත ඇති සියලු කරුණු එහි ද ලියැවී නැති අතර, ලිපිපෙළ පළවන අතරතුර හා ඉන් අනතුරුව අපවෙත ලැබුණු තොරතුරු ද තවත් මහත් සම්භාරයකි.

ඒ අලුත් තොරතුරු පැත්තකින් තැබුවත්, එතෙක් හෙළිදරව් වී තිබූ තොරතුරු හා ම’විසින් ඉහත ලිපිපෙළේ හෙළිකරන ලද තොරතුරු සියල්ල ගත් කළ, ලසන්ත ඝාතනය තවදුරටත් කිසිදු ‘අබිරහසක්’ නොවේ.
ඝාතනයට අණදුන්නෝ, ඝාතකයන් මෙහෙයවූවෝ හා ඝාතකයෝ

ලසන්ත ඝාතනයට අණ දුන්නකු සිටී. ඒ අන් කිසිවකු නොව, එවකට ආරක්ෂක අමාත්‍යාංශෙයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ය.
එම අණ අනුව ඝාතන කල්ලිය මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයෝ කිහිපදෙනෙක් සිටිති.

ඒ හිටපු මේජර් ජනරාල් අමල් කරුණාසේකර, කපිල හෙන්දාවිතරණ ඇතුළු එවකට සිටි යුදහමුදා බුද්ධි අංශ ප්‍රධානීහු ය.
එම මෙහෙයවීම අනුව ක්‍රියාත්ම වූ ඝාතන කල්ලියක් සිටී. ඒ මරදාන ට්‍රිපොලි යුදහමුදා බුද්ධිඅංශ අනුඛණ්ඩයේ සාමාජිකයන් පිරිසකි.
ඝාතන කණ්ඩායම මෙහෙයවූවෙක් සිටී. ඒ එවකට ට්‍රිපොලි කඳවුරේ මෙන්ම කොළඹ බුද්ධි සමූහයේ ද අණදෙන නිලධාරියා වූ මේජර් බුලත්වත්ත යි.

ඝාතනය සිදුවූ පසු ඒ ඝාතනයේ සත්‍ය තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට කටයුතු කළ විශාල පිරිසක් සිටිති. ඒ ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත්කළ අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාරගේ සිට ඝාතනයේ සාක්කි වසංකිරීමට, විනාශ කිරීමට හා වෙනස් කිරීමට කටයුතු කළ හා පරීක්ෂණ නොමග යැවීමට බලපෑම් කළ එවකට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී හා නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ට ඇතුළු ඉහළ පොලිස්නිලධාරීහු ය.

මේ වැඩිහරියකගේ නම් ගම් සහිතව ඔවුන්ගේ ක්‍රියාකලාපයන් සවිස්තරාත්මකව ඉහත ලිපි මාලාවෙන් හෙළිදරව් කළෙමි.
සැබවි, විධිමත් නඩුකටයුත්තක් සිදුවී තීන්දුවක් ලබාදී නැති බැවින්, මේ චෝදනා එල්ලවන සියල්ලන් සැකකරුවන්, චූදිතයන් වශයෙන් පමණක් දැනට නීතිය හමුවේ හැඳින්වෙන බව සැබෑ ය.

එහෙත් අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාවිරහිත කර, යුක්තිය ඉටුවීම ඇණහිටවා ඇත්තේ ද අන් කිසිවකු නොව ඉහතින් කියන ලද ඝාතන චෝදනා ලබන ඉහළම බලවතාගේ සිට පහළට පෙළගැසෙන චූදිතයන්ම ය, ඔවුන් ආරක්ෂාකරන අපරාධකාරී දේශපාලන බලඅධිකාරිය ය. අවසානයට, ලංකාව නමින් ගොඩනගා ඇති සමස්ත අපරාධ රාජ්‍යය ය.

එබැවින් මේ අපරාධකාරයන් ලෙස නම් කියැවෙන, මේ රටේ ජනාධිපතිවරයා බවට ද පත් වූ ගෝඨාභය ගේ සිට පහළට පෙළගැසෙන සියලු අපරාධ චූදිතයන්ට තමන්ගේ නම සුද්දකර ගැනීමට අවශ්‍ය නම් කළයුත්තේ කැලෑ උසාවියකදී නොව ස්වාධීන වූ ද, අපක්ෂපාතී වූ ද අධිකරණ ක්‍රියාදාමයක් ඉදිරියේ මේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වා එහි අවසන් යුක්තියක් ඉටුවීමට ඉඩදීම ය.
එසේ නොවන තාක්කල් මේ නම්කියැවෙන පුද්ගලයන්ට අපරාධකරුවන්, ඝාතකයන් ය යන නාමයන් හැර වෙනත් නාමකරණයන් අස්සේ මුවාකිරීමේ හැකියාවක් අපට නොමැත.

ලසන්ත ඝාතනයට යුක්තිය ඉටුවේද?

මේ ප්‍රශ්නය කිසිවකු ඇසුවොත්, මාගේ පිළිතුර ‘මේ පවත්නා රාජ්‍යේ ඉතාම රැඩිකල් ව්‍යූහාත්මක ඛණ්ඩනයක් සිදු නොවන තාක්කල් ලසන්ත ඝාතනය නොව, රාජ්‍යයේ අපරාධකාරීත්වය හෙළිවන කිසිදු අපරාධයක්, රාජ්‍යය විසින් විසඳන්නට නියමිත නැත’ යන්න ය.
අනෙකුත් මනුෂ්‍ය ඝාතන ඇතුළු ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුවී, අධිකරණ ක්‍රියාමාර්ග ගැනී යුක්තියක් ඉටුවීමේ ඉඩකඩක් පවතී. එවැනි දෑ දැනුදු සිදුවෙයි. එහෙත් ඒ අපරාධ සිදුකළ අපරාධකාරයා රාජ්‍යය වන තාක්, ඒ අපරාධ සම්බන්ධයෙන් යුක්තියක් ඉටුවන්නට මේ පවත්නා රාජ්‍ය ව්‍යූහය තුළ ඉඩක් නැත.

එබැවින් ආණ්ඩු වෙනස් වීමෙන් මේ අපරාධවලට යුක්තිය ඉටුවන්නේ නැත. මේ රාජ්‍ය ව්‍යූහය තුළ බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් කලින් තිබූ ආණ්ඩුවේ රාජ්‍ය අපරාධ එළියට නො අදින බවට බලගතු සම්මුතියක සිටී. දූෂණ, වංචා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් ඇතුළු පහුගිය ආණ්ඩුවල වෙනත් ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් මොනවාම හෝ සිදුවීමේ හැකියාවක් ඇතත්, රාජ්‍ය අපරාධ එළියට නොඅදින බවට, ඒවා සම්බන්ධයෙන් යුක්තිය නොසොයන බවට ඉතාම දැඩි සම්මුතියක් මේ අපරාධකාරී රාජ්‍ය ව්‍යූහය විසින් සම්මත කරගෙන ඇත.

රනිල්ගෙන් ලසන්තට යුක්තිය ඉටුවේද?

කොහෙත්ම නැත. මන්ද, මේ අපරාධකාරී රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ජීවමාන ‘දැනුවත්’ නිදර්ශනය රනිල් වික්‍රමසිංහ වන බැවිනි.

රනිල්ට ලසන්ත කිහිප ආකාරයකින් අත්‍යන්ත ලෙස සම්බන්ධ ය‍.
ලසන්ත යනු රනිල් පෞද්ගලිකව ඉතා හොඳින් දැනසිටියෙකි.

ලසන්තගේ මාධ්‍ය භාවිතය මූලික වශයෙන් දැඩි එජාප හිතවාදී එකක් විය‍. මෙය ඔහු ජීවත්ව සිටියදී අප අතින් විවේචනයට බඳුන් වූවක් සහ අප අතර නිරන්තරයෙන් විවාදයට තුඩුදුන්නකි. (දේශපාලන පක්ෂපාතීත්වයන් තිබූ, මෙසේ විවේචනයට – විවාදයට ලක්වූ එකම ප්‍රධානපෙළේ ජනමාධ්‍යවේදියා ලසන්ත නොවේ.)

තවත් අතකින් 2015 දී රාජපක්ෂ රෙජීමය පෙරළා තමන්ගේ කඳවුරට දේශපාලන බලය අත්පත් කරගැනීමට රනිල්ට මහත් පිටිවහලක් වූ සිදුවීමකි, ලසන්ත ඝාතනය‍. එබැවින් ඒ අරුතින් ද ඔහුට ලසන්ත ඝාතනයට යුක්තිය ඉටුකිරීමේ සදාචාර බැඳීමක් තිබේ.
එහෙත් මේ සියලු පෞද්ගලික සබඳතා, දේශපාලන නැමියාවන් හා සදාචාර බැඳීම්වලට ඉහළින් යන දේශපාලන බැම්මක් අනෙක් නායකත්ව තලයේ දේශපාලකයන්ට මෙන් ම රනිල්ට ද තිබේ.
එක් අතකින් ඒ බැඳීම න්‍යායාත්මකව, දේශපාලන භාෂාවකින් සූත්‍රගත කරගතහැකි එකම නායකයා රනිල්ය යි කීමටත් බැරි නැත‍.

රනිල් සූත්‍රය

රනිල්ගේ ඒ සූත්‍රගතකිරීමට අනුව, රාජ්‍ය අපරාධවලින් තොරව ලංකාව වැනි රටක් පාලනය කළ නොහැකි ය. මොන ලිබරල් දේශපාලනය දැනගෙන හිටියත්, ඒවා ගැන මොන පම්පෝරි ගැහුවත්, ජාත්‍යන්තර දේශපාලනයේ මොන මොන සෙල්ලම් ගැන කවුරු උදම් ඇනුවත්, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන, මානව අයිතිවාසිකම් ගැන මොන හෑලි දෙසාබෑවත්, මොන තරම් පොත් කන්දරාවක් කියවා සිටියාය කීවත්, රනිල්ට අනුව ලංකාව වැනි රටක්, රාජ්‍ය අපරාධවලින් මුලුමනින්ම විනිර්මුක්තව පාලනය කළ නොහැකි ය‍. ඒ රනිල්ට අනුව “තමන් රාජ්‍ය අපරාධවලට පක්ෂ නිසා නොව, රාජ්‍ය අපරාධවලින් තොරව පාලනය කිරීමට තරම් ලංකාව ‘ශිෂ්ට’ නැති නිසා” ය.‍‍

පසුගිය අරගල සමය තමන්ට ‘වාසනාවකට මේ කාරණය නැවතත් ඇහැට ඇඟිල්ලෙන් ඇණ පෙන්වූ බව’ රනිල් සිතනවා නම් එය පුදුමයක් නොවේ. මේ ජාතියේ අරගල බලය නැතිවිට ආශීර්වාදයක් ලෙස පෙනුණත්, කිසියම් ම බලයක් අතපත් වූ විගස රනිල්ට පෙනෙන්නේ දුටු තැන තලාදැමිය යුතු සර්පයෙක් ලෙස ය. හෙට දකුණේත්, ඊළඟ දවසේ උතුරේත්, නැගෙනහිරත් යළි අරගලකාරීත්වයන් පැනනැඟුණොත් ‘රාජ්‍යය බේරාගැනීමට’ රාජ්‍යයේ අපරාධ යාන්ත්‍රණය අත්‍යාවශ්‍ය වන්නේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන රාජපක්ෂලාට එරෙහිව විපක්ෂයේ ඉන්නා කළ රනිල් කළකී දෑ හා දැන් රනිල් ම එය මර්දනයේ අවියක් ලෙස පාවිච්චි කරන ආකාරය දෙස බැලීමෙන් පමණක් වුව මේ කරුණ වටහාගත හැකි ය.

රාජ්‍ය අපරාධ නොමැතිව මේ රාජ්‍යය පවත්වාගෙන යා නොහැකි නම්, රාජ්‍ය අපරාධවලට යොදාගන්නා ආයුධ මොට්ටකරගැනීම කෙසේවත් ම කළ නොහැකි ය. ඊනියා ‘බුද්ධි අංශ’ හෙවත් ‘හමුදා ඔත්තුසේවා’ යනු අවශ්‍ය විට අනීතික ඝාතන කල්ලි ලෙස ද භාවිතා කළහැකි එවැනි බලවත්ම ආයුධයකි.

දෙමළාට (හා දැන් මුසල්මානුවාට) එරෙහි අපරාධ ගැන අදටත් අමුතුවෙන් බයවෙන්නට දෙයක් නැත. එබැවින් සිවරාම්ලා, නිමලරාජන්ලා ගැන අමුතුවෙන් වදවියයුතු නොවේ. දෙමළාට හා දැන් දැන් මුසල්මානුවාට එරෙහි රාජ්‍ය අපරාධ ‘සිදු නොවූදේවල් ලෙස’ සැලකීම සම්බන්ධයෙන් රාජ්‍යයත්, රටේ මහජාතියත් අතර ඇත්තේ පූර්ණ එකඟතාවකි‍. දෙමළාට එරෙහිව රාජ්‍ය අපරාධ සිදුකළා ය කීම රාජ්‍ය ද්‍රෝහීත්වයකි‍. එබැවින් එසේ කියන්නා රාජ්‍යයෙන් පිටමං කරදැමෙයි. රාජ්‍යයට ඒ සඳහා මහජාතියේ පූර්ණ අනුමැතිය තිබේ.
‘මහජාතියේ ම උන් වූ’ ලසන්තලා ප්‍රගීත්ලා රිංගාගෙන ඉන්නේ මෙන්න මේ අස්සට ය. එමනිසා ලසන්තලා ගැන මහජාතියෙන්මත් යුක්තිය ඉල්ලා හඬ නැඟෙයි‍.

එහෙත් පරහට ඇත්තේ ඒ ඝාතන රාජ්‍යයේ අපරාධ යාන්ත්‍රණයට ගැටගැසී තිබීම ය. ලසන්ත ඝාතනය ගත්තත්, ප්‍රගීත් පැහැරගෙන යාම ගත්තත්, කීත් නොයාර් හා පෝද්දල ජයන්ත පැහැගෙන ගොස් අතපය කඩාදැමීම් ගත්තත්, ඒ අපරාධවලට ඍජුව ම සම්බන්ධ වී සිටින්නේ ඊනියා ‘හමුදා බුද්ධිඅංශ’ හෙවත් ‘හමුදා ඔත්තුසේවා’ ය.

එතෙක් අයාලේ ගිය ලසන්ත ඝාතනයේ විමර්ශන විධිමත් කරන්නට 2015 බලයට ආ රනිල්ලාට අනිවාර්යයක් ලෙස සිදුවිය. එහෙත් විමර්ශන දිගට යනවිට, ඒවාට ඊනියා ‘බුද්ධිඅංශ’ ඈඳෙන විට, විමර්ශනවලට තිරිංග වැටෙමින් තිබූ හැටි, අධිකරණ ක්‍රියාවලි පීලි පනිමින් තිබූ හැටි තතු දත්තවුන්ට රහසක් නොවේ.

මන්ද යත්, මේ අපරාධ සොයන්නට ගොස් රාජ්‍යය පවත්වාගෙන යාමට අවශ්‍යවන අපරාධ යාන්ත්‍රණයේ ආයුධ මොට්ටකරගන්නට රනිල් කොහෙත්ම සූදානම් නැත.

පළමුව, ඔහු ලංකාව දෙස බලන වපරැස් දේශපාලන කෝණයෙන්මත් ඔහු ඒ වැඩේ කරන්නට සූදානම් නැත‍.
ඇරත්, තමන්ගේ ඔඩොක්කුවට ජනාධිපති කමක් කඩාවැට්ටීමට පවා සමත් වූ ‘ජනඅරගලයක’ අත්දැකීම් සහිත රනිල්, ඒ අපරාධ ආයුධ මොට්ටකරගන්නා වැඩේ කරන්නට හීනෙකින්වත් නොසිතනු ඇත.

ඒ නිසා රනිල් යටතේ ලසන්තට යුක්තියක් ඉටුවන්නට නියමිත නැත‍.

ඒ රනිල්, රාජපක්ෂලාගේ රෙද්දක් අස්සේ රිංගාගෙන ඉන්නවායයි කියන නිසා නොවේ.
රනිල් රනිල් නිසා ය.

රනිල් හිටියත් නැතත්, රාජ්‍යය මේ පවත්නා ව්‍යූහයෙන් රැඩිකල් ලෙස ඛණ්ඩනය නොවන තාක් මේ කිසිදු රාජ්‍ය අපරාධයකට යුක්තිය ඉටුවන්නට නියමිත නැත!

මහජාතියේ එකෙකුට එරෙහි අපරාධයක් සම්බන්ධයෙන් සැමරුම් දිනයට හෝ කෑගසන මහජාතියේ අපත්, දෙමළාට හෝ මුසල්මානුවාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මීක් නොකියා සිටීම තුළින් කරන්නේ මේ අපරාධකාරී රාජ්‍යය ඉස්සරහට ගෙනයාමට මුක්කු ගැසීම ය.

දෙමළාට – මුසල්මානුවාට ගහනකම් අප මේ අපරාධ රාජ්‍යයට පක්ෂපාත ය. අපට එය වන්දනීය ය. අප ඒ අපරාධකාරීත්වයට අනුරාගී ය.
අපට ගහන විට පමණක් අප අපරාධ රාජ්‍යයට විරුද්ධ ය.
ඒත් රාජ්‍යයට මේ දොන් සිමං වැඩ හරියන්නේ නැත.
දොන් නම් දොන් ය. සිමං නම් ඒත් දොන් ය.
තෝරාගත් කේවල අපරාධවලට පමණක් එරෙහි වෙමින්, සමස්ත රාජ්‍යයේ අපරාධකාරීත්වයට අනුරාගික වන තාක්කල් අපට හමුවනු ඇත්තේ අප මෙතෙක් පසුකර ආ දේවල් පමණක්ම ය!

  • සනත් බාලසූරිය

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...