‘නිදි නැති නිම්නය’ හි විවිධ වූ ශිල්පෝපක්‍රම පාඨක මනස ප්‍රබල ලෙස කම්පනයකට පත් කරයි

Share post:

තරංගා රණසිංහගේ ‘නිදි නැති නිම්නය’

නවකතාවක් කියවීමකට ඉසිඹුවක් නැති මොහොතක රසවත් කෙටිකතාවක් කියවීමට ලැබීම ම භාග්‍යයකි. ඇතැම් කෙටිකතා නවකතාවකින් ලබා දෙන සමාජාවබෝධය; ජීවිතාවබෝධය ඉක්මවා යන තරමට ම හරවත් ය ; රසවත් ය. නිදි නැති නිම්නය ද එසේ වූ කෙටිකතා ඇතුළත් ඉතා කුඩා කෙටිකතා සංග්‍රහයකි.

තරංගා රණසිංහයන්ගේ තුන්වන කෙටිකතා සංග්‍රහය වන මෙය තුළ පිටු දහයත් දොළහත් අතර ඉතා කෙටි කෙටිකතා පහක් අන්තර්ගත වන අතර කතුවරිය යොදාගන්නා විවිධ වූ ශිල්පෝපක්‍රම පාඨක මනස ප්‍රබල ලෙස කම්පනයකට පත් කරයි.

රතු කොට්ටම්බා ගස්

ගණිතමය සංකල්ප තුළින් ග්‍රාමීය අධ්‍යාපනයේ කඩතොලු , අවපැහැ පැල්ලම් සොයා යන්නා වූ මෙම කෙටිකතාව තුළ අතීතය හා වර්තමානය අතර සියුම් ව දිවෙන කතා වින්‍යාසයත් රතු කොට්ටම්බා ගස් හා තීන්ත පෑනෙන් උපදනා උත්ප්‍රාසයත් පාඨකයාගේ රස නහර කූද්දයි.

නිදි නැති නිම්නය

යටි අරුත් වටහා ගන්නට පුහුණු පාඨකයෙක් ඉල්ලා සිටින්නා සේ සිතුණමුත් ටික්කය්යා තුළින් කතුවරිය ගොඩනගන සියුම් ධ්වනිය කෙටිකතාව මධ්‍යයට යන විට වැටහෙන්නට විය. කෙටිකතාව අවසානයේ පාඨකයා ප්‍රබල ලෙස කළඹන්නට සමත් වන්නේ නිදි නොලබන නිම්නයක පාඨකයා අත් හැර දැමීමෙනි.

නිකිණි පාලුව

බිනර මල් පූදින්නට නිකිණි පාලුවට ඉඩක් නොදෙන සුනන්දා නම් දිරිය ගැහැනිය තුළින් සැමියා නොමැති ව දිවි ගැට ගසා ගන්නට තැත්කරන සමාජයීය ස්ත්‍රී චරිතයන් සංකේතානුසාරයෙන් ගෙන එන මෙහි සුනන්දා ගැමි සමාජයේදී මුහුණ දෙන අනේක විධ හැල පැප්පීම් තුළට මුහුණ දෙන ආකාරය කතුවරිය ගෙන එයි. විටෙක රසවත් කෙටිකතාක් වන මෙය තවත් විටෙක හොඳම තැන් අල්ලා ලියන ලද වාර්තාවක් බඳු සේ ය.

ගෝල්ඩන් කී

කෙටිකතා සංග්‍රහයේ එන සාර්ථක ම නිර්මාණයක් වන මෙය අධ්‍යාපනය , විශ්‍රාමික දිවිය , ජීවන අරගල , ව්‍යාපාරික හා නවීන ලෝකය හා ඒකාබද්ධ වෙමින් පවතින මෙහි එන එකම කෙටිකතාවයි. නිශාරා දරු දැරියන් වෙනුවෙන් කරන්නා වූ කැපකිරීමේ අගය මතුවන්නේ ඔහුගේ සැමියාගේ සල්ලාල ජීවිතය හා සසඳන කල්හි ය. කතුවරිය නොකියා කියන්නා වූ වෘත්තාන්තයේ දිග පළල මැනීම පාඨකයාට භාර ය.

මහ බඹාට මුහුණු දෙකයි

ඉතා රසවත් කෙටිකතාක් වන මෙය කියවා අවසානයේ දී පාඨකයාගේ මුවින් නිතැතියෙන් ම ‘අපොයි’ කියා කියවෙනු ඇත. ගැමි සහෝදර දෙපළකගේ ආරවුලක ප්‍රතිඵල වත්මනෙහි භුක්ති විඳිමින් සිටියදී එය අනාගතයේ කෙසේ වේදැයි ඉඟිලමින් කෙටිකතාව අවසන් වන්නේ සුදාගේත් කුමාරීගේ අනාගතය පද්මයේ මීදුමක පටලවමිනි.

සමස්තයක් වශයෙන් කෙටිකතා පහ ම ඉතා රසවත් කතුවරිය ඉදිරිපත් කරන අතර සෑම කෙටිකතාවකට යොදාගන්නා සංකේත අනුභූතියට ඖචිත්ත ලෙස තෝරා ගැනීමට ඇය සූක්ෂම වෙයි. මෙහි එන බොහෝ කෙටිකතාවල වස්තු විෂයන් සම්ප්‍රදායික ලෙස වර්ග කළ හැකි නමුත් ඇය එම සාම්ප්‍රදායිකත්වය ඉක්මවා යමින් කෙටිකතාව ඉදිරිපත් කිරීමේදී ආඛ්‍යානය විවිධාකාරයේ සැත්කම්වලට භාජනය කරවයි. ගෝල්ඩන් කී , රතු කොට්ටම්බා ගස් කෙටිකතා ද්විත්වය තුළ ඇය ආඛ්‍යානය ගොඩ නැගීමේ බුහුටිතාවය ප්‍රබල ලෙස පෙන්වන අතර ම මහ බඹාට මුහුණු දෙකයි තුළින් ඇයගේ සියුම් අවස්ථා හා සිදුවීම් ගොඩනැගීම පෙන්නුම් කරයි. මෙහි කලාත්මක ම භාෂාව නිකිණි පාලුවේ දී ඔබට හමුවන ඇත.

අටෝරාසියක් දුක් කන්දක් ඉසිලූ සුනන්දාගේ විලාපයට බිය වී ඉකි ගසා හඬන කුමාරීගේ දරුවාත් තීන්ත පෑනෙන් ලොග් පොතෙහි අත්සන් තබන විදුහල්පතිවරියක ත් අන්දුන් කුන්දුන් වී සිටින කාන්තිලතා ඉදිරියේ නිශාරාගේ කෙටි තුවාය ගැලවෙන අයුරු බලන්නට ඔබත් නිදි නැති නිම්නයට පියනැගිය යුතු ය.

අකලංක මාතරගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...