“අපි කළුයි..හැබැයි අපිත් මිනිස්සු…”

Share post:

ඔබව බලහත්කාරයෙන් අන් අයෙකුට විකිණීමට කෙනකුට පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? මේ පොළොවේ ජීවත් වීමට සමාන අයිතියක් ඔබට නැද්ද? ඔබ වහලකු ලෙස හංවඩු ගසා වෙළඳාමේ යෙදෙනවා නම් ඒ අසාධාරණය කාට කියන්නද? කලකට පෙර බටහිර රටවල සේවය පිණිස, විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්විපයෙන් කළු මිනිසුන් තොග වශයෙන් ඇමරිකාව වෙත රැගෙන ඒම සිදු කළ අතර, සුදු මිනිසාගේ චින්තනයට අනුව කල්ලන් හෙවත් සම්පූර්ණයෙන්ම පාහේ කළු පැහැයෙන් යුතුව හම වෙළාගත් දේහධාරී මිනිසුන් සතුන් හා සමාන පිරිසක්‌ ලෙස සුදු ජාතිකයන් හැඳින්වූයේ ය. 

ඇමරිකානු සුදු ජාතිකයන් විසින් කළු ජාතික ජනතාව දුටුවේ හුදෙක්ම අශීලාචාර ගති පැවැතුම් සහිත පූර්ණ වශයෙන් ස්වරූපගත වූ ගෝත්‍රිකයන් ලෙසයි. මේ කල්ලන්ගේ කාල වර්ණ තෙල් සමට, ඔවුන් උචිචාරණය කරන අමුතු බසට, ඔවුන්ගේ අශ්ලීල ගති ස්වභාවය සුදු ජාතිකයන් දැඩි සේ පිළිකුල් කළහ. බහුතර ඇමරිකානු සුදු ජාතිකයන් විසින් මෙම කළු ජාතික ප්‍රජාව පූර්ණ වශයෙන් වහල්භාවය සඳහා යොදා ගත්හ. එය ඉතාමත් ම්ලේච්ජසහගත ලෙස වධ බන්ධනයට ලක් කරමින් තම ඕනෑ එපාකම් වෙනුවෙන් තම ශ්‍රමය, රුධිරය දියකර හැරියේය. විශේෂයෙන් කළු ජාතික වහල් ප්‍රජාව ශිෂ්ට යුරෝපීයයා තරම්ස ම්පූර්ණ මනුෂ්‍යයෙක් නොවේය වැනි මිථ්‍යාමය අදහසක් තුළ තමයි ඒ ප්‍රජාව චිත්‍රණය කළේ.

ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාවගේ වහල් සේවය පිළිබඳ චිත්‍රපටයක් හොලිවුඩයෙන් නිර්මාණය වෙන්නේ 2022 වසරේදී ය. ඒ “Emanicipation” හෙවත් “විමුක්තිය” අරුත් ගන්වන සිනමා ප්‍රකාශනයක් ආකාරයෙනි. 1860 දශකයේදී අමානුෂික ලෙස ඇමරිකාවේ වහල් සේවය සිදු වූ ආකාරයත්, 1860 දශකයේ ඇමරිකාවේ ලුසියානා හි සැබෑවටම ජිවත් වූ කළු ජාතිකයකු වන “පීටර්” නමැති වහල් පුද්ගලයාගේ චරිතය පිළිබඳවත් චිත්‍රපටයේ කතාන්තරය ගෙතී ඇත. ඇමරිකානු සුදු ජාතිකයන්ගේ දරුණු වධහිංසන මැද වහල් ජීවිතයක් ගෙවූ පීටර් තමන්ගේ ශ්‍රමය දියකර හැරියේ සුදු ජාතික වහල් ස්වාමියන්ගේ ඔීනෑ එපාකමි පිරිමසන ආධිපත්‍යය දැරූ භූමියකයි.

ඔහු නොකළ වරදකට දීපු දඬුවමක් විදියට මාරන්තිකව කස පහරවලින් හෙම්බත් වුනු පීටර් එක මොහොතකදි පීඩාවට එරෙහිව වහල් ස්වාමියන්ට හොරෙන් ඈතට පළා යනවා. පීටර්ගේ පළා යාමෙන් කෝපයට පත්වන වහල් ස්වාමියෝ තමන්ගේ දඩ බල්ලන් යොදාගෙන පීටර් පසුපස හඹා යනවා. පීටර් තමන්ගේ නිදහස, විමුක්තිය සොයා කිලෝමීටර් 40ක් පමණ අති වෙහෙසකර ගමනාන්තයක නිරත වෙනවා. වගුරු බිම් මැද, ගංගාවන්, කඳු නිම්න පසුකරගෙන නිරුවත් දෙපයින් ඇඳි වත පමණක් දරාගෙන ඔහු තමන්ගේ නිදහස සොයා වහල් හිමියන්ගෙන් ඈතටම පළා යනවා. ඉතාමත් සංවේදී කතාවක් විදියට දිග හැරෙන “Emancipation” චිත්‍රපටය පුරාවටම ඇමරිකාවේ සුදු ජාතිකයන්ගේ බලය, ප්‍රචණ්ඩත්වය, වහල් සේවයේ ඇති දුෂ්ටකම්, ම්ලේච්ජත්වය කදිමට නිරූපණය වෙනවා.

             මානව ඉතිහාසයේ මානව අයිතීන් කඩකිරීම් විෂයෙහි දහසක් ඇඟිලි ඇමෙරිකාව වෙත දිගුවිය හැකි වුව ද ඒ සියල්ල අමතක කළ හැකි එක් දැවැන්ත මානුෂීය මෙහෙවරක් චිත්‍රපටය තුළින් හුවා දක්වයි. ඊට නායකත්වය දෙනු ලබන්නේ ඒබ්‍රහම් ලින්කන් ය. ඒ නම් වහල් මෙහෙය අවලංගු කරවීමයි. ඇමෙරිකාවට සිය ජීවිත කාලයටම ඒ ගෞරවය ප්‍රමාණවත් වන්නේය. 1863 ජනවාරි පළමුවැනිදා මෙම ඓතිහාසික සිදුවීම සිදුවෙයි. Emanicipation Proclamation ප්‍රකාශයත් සමගම නිල සංඛ්‍යලේඛන අනුව මිලියන 3.5ක ජනයා වහල් බවින් මිදෙන්නේය. 

“අපිට එරෙහිව ඔවුන්” යන ගැඹුරු තේමාව ඔස්සේ චිත්‍රපටයේ යටිපෙළ තුළ ඉස්මතු කරන අදහස අතිශය වැදගත් වේ. ඇමරිකානු සුදු ජාතිකයන් සිතන්නේ තම ජාතියට එරෙහිව ක්‍රියා කරන බවට සුළුතරය වූ කළු ජාතිකයන් තම පැවැත්මට විනාශකාරී තර්ජනයක් ගෙන දෙන බවයි. ඒ හෙයින් සුදු ජාතිකයන් කළු ජාතිකයන්ව පාගා දමා ඔවුන්ගේ නිදහස කප්පාදු කොට වහලුන් සේ තම දෙපා මුල තබා ගන්නට වෑයම් කළේය. මෙම ඇමරිකානු සුදු – කළු වර්ණභේද සිදුවීම තුළ ලංකාවේ සිංහල – දමිළ ජාතිවාදී අර්බුදය පිළිබඳ සමපාත කළ හැකි ය.

සිංහල බහුතරය සිතන්නේ දමිළ සුළුතරය තම ජාතියේ පැවැත්මට එරෙහිව කටයුතු කරන බවක්, තම නිජබිම අල්ලා ගන්නට උත්සාහ කරන බවයි. එය හුදු මිථ්‍යා විශ්වාසයක් පමණකි. තම පැවැත්මට බාහිරින් තර්ජනයක් තිබේය යන මිථ්‍යාමය විශ්වාසය, ඇත්ත වශයෙන්ම මෙම බය ඒ ඒ ප්‍රජාවන් විසින් පරිකල්පනය කරනු ලබනවා මෙන්ම ඒක “පරිකල්පිත බියකි(Imagined fear)”.

චිත්‍රපටයේ කළු – සුදු වර්ණයෙන් නිම වී තිබෙන නිසාම චිත්‍රපටයේ තේමාව තීව්‍ර වෙයි. පීටර් නමැති වහලාගේ ජිවිතයේ සිදු වූ වැදගත්ම සිදුවීම පිළිබඳ තතු මෙවැනි ගණයේ සිනමාපටයකින් හෙළිදරව් වීම තුළ සුදු ජාතිකයන් පිළිබඳ දැවැන්ත ආකාරයෙන් යුතු විකෘතිමය, පිළිකුල්සහගත අදහසක් සහ වෛරී ස්වභාවයක් ඉස්මතු වීම වැළැක්විය හැකි නොවෙයි. සිනමාපටය පුරාවටම 1860 දශකයේ පරිසරය යථාර්ථවාදී ස්වරූපයෙන් චිත්‍රපට රෑපය(Shot) තුළ පිහිටුවීමට ගත් වෑයම චිත්‍රපටයේ සාර්ථකත්වය විපුල ඵල නෙළා ගෙන තිබේ. චිත්‍රපටය කාලය සහ අවකාශය පෙන්වීමේ දී එම යුගයට අදාළ ඇඳුම් පැළඳුම්, මෝස්තර, ගති ස්වභාවය සහ පරිසරය විශිෂ්ට අන්දමින් නිරූපණය වෙයි. චිත්‍රපටය හි තිර රචනයේ ඇති ශක්තිමත්බව නිසා ම සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කර ඇත.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පණ පොවන්නේ හොලිවුඩයේ විශිෂ්ටතම නළුවෙක් වන විල් ස්මිත් ය. භාවාත්මක රසය(Emotional Flavour) තීව්‍ර වන විල් ස්මිත්ගේ මුහුණේ සියුම් ඉංගිතවලින් සහකමිපනය ඇති කරවයි. විල් ස්මිත් වරෙක සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබුණේ තමන්ගේ සිනමා රංගන දිවියේ සිදු කළ අසීරුතම රංගනය මෙය බවයි. “Emancipation” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ “Olympus Has Fallen”,The Equalizer 1,2 ” වැනි ජනප්‍රිය ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Antoine Fuqua විසින්. හොලිවුඩයේ සුපිරි නළුවකු වන බෙන් ෆෝස්ටර් රංගනයෙන් දායකත්වය සපයන්නේ සුදු ජාතික වහල් ස්වාමියාගේ චරිතයකටයි. කළු සුදු සහ වර්ණ මාධ්‍යයෙන් චිත්‍රපටය නිමවී තිබෙන නිසාම කළු-සුදු වර්ණභේදවාදය ගැන කියැවෙන තේමාව පිළිබඳ අරුත තීව්‍ර කරවයි.

Emancipation” චිත්‍රපටය පිළිබඳ විචාරකයන්ගේ අදහස නම් විල් ස්මිත්ගේ මෙතෙක් දුටු විශිෂ්ටතම රංගනය මෙය නොවුනත් පීටර් නමැති චරිතයට සාධාරණයක් ඉටු කර ඇති බවයි. එසේම පීටර් නමැති වහලාව නිරූපණය කිරීමට වෙනත් කිසිදු නළුවෙකු නොමැති බවත් ඊට නියම සුදුසුම නළුවා විල් ස්මිත් පමණක් බව ප්‍රකාශ කරයි. දෑසට කඳුළු උනන්න තරමේ සංවේදීබවක් ගැබ් වු “Emancipation” චිත්‍රපටය නැරඹුවහොත් උසස් ගණයේ චිත්‍රපටයක ආස්වාදය සමඟ විශිෂ්ට චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව උදා කරගන්න යැයි ඉල්ලා සිටීම පමණක් සිදු කරන්නම්.

මලින්ත විතානගේ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...