ජාගර මිනිස් භාව අඩවි තියුණුව කියවන කවියෙක්

Share post:

සමහර කවි තියෙනවා, එකපාරක් කියෙව්වම එතනින් එහාට අඩිය එසවෙන්නෙ නැති. එක ම කවිය ආකාර දෙකකට කියවිය හැකි. කවියෙ කවිගුණය පරයා වෙනත් කලා ශානරයක ආකාර මතුකරගත හැකි. ගගන වර්ණකුලසූරියගේ ‘ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්?’ කවි එකතුව පෙරළන් යද්දි එහෙම කවියක් හමුවුණා. කවියෙ නම, ‘මේක මං උපන් ගේ බොලව්’.

ගෙදර කියන්නෙ අපිට මානසික සහනය ලබාදෙන, අපිව ආරක්ෂා කරන, අපිව ගලවාගැනීමේ, බේරාගැනීමේ, අපිට අපි ලෙස ඉන්න හැකි ස්ථානයක් වගේ දෙයක් කියල අපේ ඔලුවෙ තියෙනව. ගුහාව ඇතුළට, කටුව ඇතුළට, හෙවණ ඇතුළට යාමේ, එහි රැඳී සිටීමේ, එහි රැකවරණය ලැබීමේ, අයිතිය ප්‍රකාශ කිරීමේ ආසාව දක්වා එය පැතිරෙනවා.

“රෑ වෙනකොට කොයි කවුරුත් ගෙදරට එනවා
ගෙදර කියා දෙයක් ලොවේ හැමට තියෙනවා
පුදුමයිනේ එහෙම තැනක් ලොවේ තියෙනවා
මටත් එහෙම තැනක් ඇතැයි නිකං හිතෙනවා’

– අමල්බිසෝ පොතේ, ගුණදාස අමරසේකර එහෙම ලියනවා.

මේ වගේ ම ගෙදර ගැන සම්ප්‍රායෙන් පිට කෙරෙන අදහසුත් තියෙනවා, අපේ ඔළු හොල්ලන.

“නිවස යනු ඔබ ඉපදුණු ස්ථානය නොවේ. නිවස යනු ඔබගේ පලායාමේ උත්සාහයන් නතර වන තැනයි.” (නගුයිබ් මෆුස්)

“නිවස හෙවත් ගෙදර නූතන සමාජයේ තිබෙන වඩාත් අනතුරුදායක ස්ථානය සේ සැලකිය හැකිය…” (ප්‍රවාද, ජනවාරි- දෙසැ,2009)

හීනය සහ සැබෑව ලෙස මේ ස්වභාවයන් දෙක වුවමනා නම් අපිට අර්ථ දක්වගන්න පුලුවන්. ගගනගේ කවිය ම එහෙම එකක්. මුළු කවිය ම පහතින් උපුටා දක්වන්න මුලින් අවසර දෙන්න. ඉන්පස්සෙ විමසන්න හැකි.

“කූඹියනි
ලෑස්ති වෙයල්ලා විඳවන්ඩ
සුළු ජාතික වීමේ වරදට’

යන එන අතර නිතර ම
පයින් ගැහුවට විසිර යන්නට
වෙහෙසින් තැනූ පස් ගුල
පාගලත් ඇති ඉඳහිට
රබර් සෙරෙප්පු දාගෙන
මහ ලොකු දෙයක් යැ ඒක
දැනුනෙවත් නෑ කකුලට

උන් දැන් ඇවිත් මගේ ඇඳට
කනවා රෑ එළිවෙනකම්ම
මුන් හදන්නේ අල්ලගන්ඩ
මගේ මුළු ගෙදර ම

‘මේක මං උපන් ගේ බොලව්’

මරනවා කියලත් කොච්චරක් ද
හීනෙනුත් පේනවා වරින්වර
මං ලිව්වා බිත්‍තිවල හැමතැන ම
‘මේ රට මගෙ රට – මා ඉපදුණු රට’
උනුත් ලියලා තිබ්බා හීනියට
‘අපි දන්නවා ගන්න හැටි අයිතිය’

මිත්‍රවරුණි, සැලුණද?
මං ගිනි තිබ්බා මුළු ගේ ම
දැන් පුළුවන් නම් ගනිං
සින්නක්කරේට ම මේ බිම”

ගෙදරට කූඹි බෝවුණාම, උන්ව එළවගන්න බැරුව අන්තිමේ ගෙදරට ම ගිනි තියන කථකයෙක් මේ කවියෙ ඉන්නෙ. කථකය තමන් ගැන කට කියවන්නෙක්. ගේ ගිනිලෑවට මේ බිම අයිතිකරගන්න බෑ වගේ වියරුවෙන් වහසි බස් දොඩමින් කූඹින්ට කොකම් පාන අරුම මනුස්සයෙක්. ගෙදරට යද්දි එද්දි මගදි හම්බෙන කූඹිගුල්වලටත් පයින් ගහගෙන යන්නෙ. ගෙදර අයිතිය තමන්ගෙ කියල පෙන්නගන්න ඕනෙ නිසා මේ මනුස්සය ගෙදර බිත්තිවලත් ඒ බව ලියනව, හරියට සුනඛයො මේ ඒරියා එක තමන්ගෙ බව ඔප්පු කරන ක්‍රමේ වගේ. තමන් ඉපදුණු ගේ දාලා යන්න බැරුව ගෙට ම වෙලා කූඹි එක්ක මරාගන්න බලන් ඉන්නෙ. මේ කවියෙ ඉන්නෙ ඇත්තටම අධ්‍යයනය කරන්න, නිරීක්ෂණය කරන්න වටින මිනිස් චරිතයක්. මං කැමතියි, ගගන මේ කථකයව සම් – මස් – නහර කවලා ගොඩනගන විදියට.

මේ කවිය කියවල ඉවරවෙලා මං කල්පනා කළේ, ජී.බී.සේනානායකට මේක කියවන්න ලැබුණා නම් ඔහු මේකෙන් කෙටිකතාවක් ලියාවි කියලා. මොකද මිනිස්සුන්ගෙ හිත්වල ජාගර අදහස්, මනෝභාව ඕජස් ගලන හැටි ගැන ස්ථර ගලවමින් විමසන්න පුලුවන් කවියක් නිසා සහ සේනානායක මිනිස් සිත ගැන ලියන්න සමතෙක් නිසා. ගගන මේ කවියෙ දි, පරිකල්පන හැකියාව මුවහත් කරගන්න විදියට මම කැමතියි. කූඹියා සහ මිනිසාව අරන්, චිත්ත රූප ගොඩනගන විදිය, විවිධ අරුත් මවන විදිය, භාෂාව අහිංසක නොකර ඒ එක්ක කඩු ෆයිට් කරන්න තරම් අවංක වෙන විදිය, ක්‍රමිකව සහෘදයාගේ භාව කම්පනය කරන විදිය, කථකය තමන්ගෙ හිත එක්ක ම කතාකරමින් ගනුදෙනුව කරන හැටි කවියට ගන්න විදිය, උච්චම ස්ථානයෙදි ගේ ගිනි තියන විදිය, ගෙදර ගැන අර කිව්ව සියලු තියරි කුඩුසංසාර කරලා ‘එහෙව් රැක්ක ගේත් එපා, මට මේ ගේ තිබ්බ පොළොව ඇති’ කියන මට්ටමට අර කථකයව එයාටවත් නොතේරී දමනය කරන විදිය කියන මේ දේවල් එක්ක, කවියකට වඩා කෙටිකතාවක ලක්ෂණ මට මේ කවිය මතක් කරන්නෙ.

මේ කවිය තවත් අර්ථයකින් ගන්නත් පුළුවන්. ඒ, මිනිස්වර්ගයා සුළු – මහා විදියට කුලකවලට බෙදන සමාජය ගැන. පීඩක – පීඩිත මිනිස්සු ගැන. පන්ති – පැලැන්ති භේදය ගැන. සොක්කන් – ලොක්කන් ගැන. ප්‍රභූ – නිර්ප්‍රභූ භේද ගැන. සටහන දැනටමත් දිග නිසා ඒ කොටස ගැන මතු කියවීමකට ඉඩ තියන්නෙ, ගගන මේ කවියට ආවේශ වීමේ වෙහෙස අගයමින්.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...