කතා වින්‍යාස තුනක් සමඟ ගනුදෙනු කරමින්, පාර ප්‍රබන්ධයේත් ප්‍රබන්ධයක් මවමින්, පාඨකයාව සුන්දර අපභ්‍රංසයක් වෙත ගෙන යන පොතකි, සෝබනකාරයා. මෙකී ලක්ෂණ තුන විස්තර වශයෙන් මෙසේ ය.
කතා වින්‍යාස (plot) තුන
- බර්ස්ක් නගරයේ වෙසෙන පෙෂ්කොව් ප්‍රධාන චරිතය වන, ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් ලියැවෙන කතාවයි
- ලංකාවේ ලේඛකයා ප්‍රධාන චරිතය වන, එය ද ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් ලියැවෙන කතාවයි
- පෙෂ්කොව් විසින් ලියන ලද නවකතාවේ, ආන්ද්‍රෙයි සහ හෙලේනා ප්‍රධාන චරිත වන, උත්තම පුරුෂ දෘෂ්ටියෙන් ලියැවෙන කතාවයි
කතාව ආරම්භයේදී මේ කතාවින්‍යාස තුන පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මාරුවෙන් මාරුවට කතාව ගලායාමට දායක වන අතර, පසුව 2 සහ 3 යන කතා වින්‍යාස දෙකට අනුව කතාව ඉදිරියට යයි. 3 වන කතා වින්‍යාසය නැවත එන්නේ අවසානයේදීය. එනම්, පෙෂ්කොව් ලිවූ කතාව ඉවාන් කියවා අවසන් බව දැනුම්දීම වෙනුවෙනි. ද්විත්ව කතා වින්‍යාස මිස ත්‍රිත්ව කතා වින්‍යාසයක් සහිත කතාවක් මතක ඇති කාලයකට කියෙව්වා නම් ඒ සෝබනකාරයාගෙන් විය යුතුය.
පාර ප්‍රබන්ධය
පාර ප්‍රබන්ධයක් යනු ප්‍රබන්ධයක් මත ගොඩනගන තවත් ප්‍රබන්ධයකටය. කතාන්දරයක් තුළ කතාන්තරයක් මතුකිරීමයි. කතුවරයා සිය නිර්මාණය තුළින් සෘජුවම පාඨකයා අමතන්නට වෙයි. ‘පාඨක ඔබ මෙහෙම හිතනවා ඇති’ වැනි දෑ කියමින් පාඨකයා ඇමතීමයි. එබැවින් තවදුරටත්, පාඨකයාට කේවලව, තමාට අයත් නැති වෙනත් කන්දරයක් පාඩුවේ සිට කියැවීමට නොලැබෙන අතර කතාවට තමාටත් බැසීමට සිදුවේ. මේ කතුවරයාගේ ගෙතීමක් නොව, ඇත්තක් කියා සිතීමයි. යථාර්ථය සහ ප්‍රබන්ධය එකට මුසු වීම මෙහි ප්‍රතිඵලයයි.
සෝබනකාරයාගෙන් මේ ප්‍රබන්ධමය ලක්ෂණය අපට උච්චතම ස්ථානයක්ව දැනෙන්නේ, නොඑසේ නම් එතෙක් ගලාගෙන ආ කතාව හැරවෙන ලක්ෂය වෙන්නේ, සයිමාගේ සැබෑ නම මේ පොත ලියූ ප්‍රභාත් විතානගේ බව දැනගත් අවස්ථාවේදීය. එහෙත්, මෙහි විශේෂත්වය නම් පාර ප්‍රබන්ධය ඇතුළේත් ඔහු තව ප්‍රබන්ධ මැවීමයි. ටුවිස්ට් කිරීමයි. මෙය පැහැදිලි කරගමු.
ප්‍රබන්ධය – සෝබනකාරයාය
ප්‍රබන්ධය ඇතුළේ ඇති ප්‍රබන්ධය – සෝබකාරයා පොතේ එන කතාවක් වන පෙෂ්කොව්ගේ කතාවේදී – පෙෂ්කොව් ලියන ‘වසන්ත සාදය’ නවකතාව / සයිමා ලියන ‘මනමේ අතුරු සිදුවීමක්’
ප්‍රබන්ධය ඇතුළේ ප්‍රබන්ධය ඇතුළේ ප්‍රබන්ධය – වසන්ත සාදය කතාවෙ ආන්ද්‍රෙයි විසින් ‘දයාබර පාඨකය’ ලෙසින් පාඨකයාව ඇමතීම, (Bridgerton කතාමාලාව, ‘Dear gentle reader’ යනුවෙන් අරඹන්නාක් මෙනි) / වසන්ත සාදය කතාව ඇතුළෙ හෙල්ගා කියන කෂෙයි රාක්ෂයගෙ කතාව / සෝබනකාරයා අවසන් පරිච්ඡේද වෙත එද්දී, ලේඛකයා යනු සයිමා හෙවත් ප්‍රභාත් විසින් හදපු චරිතයක් ය කියා පාඨකයාට දැනගන්න ලැබීම සහ ලේඛකයාව මරාදැමීමට ප්‍රභාත් බෙහෙත් සහ සිරින්ජරයක් සිය නිවසේ තබා ඔහුව ඒ වෙත එවීම(ප්‍රධාන කතා වින්‍යාසයේ කතෲ ඝාතනයට තැත්කරන සෝබනකාරයා ලියූ කතුවරයා)
පාඨකයාව සුන්දර අපබ්‍රංසයක් වෙත ගෙන යාම
ප්‍රධාන සිදුවීම්වලට වඩා ඒ වටා ඇති නොවැදගත් යැයි එක්වරම හැඟෙන සුළු සිදුවීම් කතාවකට කරන බලපෑම ගැන සිතන්නට, සෝබනකාරයා දෙවනි පරිච්ඡේදය,මා පොළඹවාලීය. කතාවක ප්‍රධාන සිදුවීම් තරමටම සුළු සිදුවීම් ද බලපවත්නා බව අප දන්නා කතාන්දර වෙත ගොස් යලි සිහිකිරීමේ දී වැටහේ. ‘සෝබනකාරයා’හි එන ලේනාගේ කොටස කතාවට සෘජු සම්බන්ධයක් නැති එකකි. එහෙත් එය ලේඛකයාගේ ස්වභාව නිරූපණය කරන්නට අංශු මාත්‍රයක බලපෑමක් එක්කරයි. නොහොත් පසුබිම තීව්‍ර කරන්නට දායක වෙයි. මට සිහිවූයේ, ‘කොලරා කාලේ ආලේ’ නවකතාවේ ගිරවා ගැන කියන කොටස යි.
සෝබනකාරයා ටෙක්නික් බහුල කතාවකි. අලුත් අත් හදාබැලීමකි. ලිවීම රසවත්. ප්‍රධාන සිදුවීම්වලට බර දී එය තව වැවිය හැකි, කතා වින්‍යාසයෙන් වින්‍යාසට ඉක්මන් පිම්මෙන් යන ගමන තව මල්, ඵල දා වැවිය හැකි එකකි. පිරිපහදු කර, සංස්කරණය කළ යුතු තැන් මෙහි වෙයි(දෙබස් භාවිතය ඇතුළු).අනෙක් අතින් කතාවේ ලේඛකයා තුළින් වික්‍රමසිංහගෙ කතාවල මෙන් වාදකාරයා ඉස්මතුවනු පෙනේ. අවසාන පරිච්ඡේද දෙකට යද්දී, කතුවරයා තමන් දන්නා සියල්ලෙන් එක්වර ම ප්‍රයෝජන ගන්නට පටන්ගනී. කුන්ෆු මාස්ටර් කෙනෙක් දඩබඩ ගා අත් පා දිග හැර, ශිල්පයක් පෑවාක් මෙනි. පාඨකයා බිම බාවා සමතලා කර දමයි. පාඨකයා නොව රචකයා ද පොත අවසානයේදී කුන්ෆු පහරට ලක්ව ඇත්තාක් මෙනි. ඒ මතින් කියවන්නාට ද පොල්ලෙන් ගැසුවාක් මෙනි. සෝබනකාරයා, සෝබනකාරයෙකි. අපබ්‍රංසය සුන්දර වන්නේ එලෙසිනි.