මත්ද්‍රව්‍ය භාවිතයේ සීග්‍ර වැඩිවීමක් පාසල්වලින් වාර්තා නොවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර thetime.lk වෙත පැවසීය.
එමගින් අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හෝ ව්‍යාප්තිය හෝ දිරිගැන්වීමක් නොවන බවත්, එය අනිවාර්යෙන්ම සමස්ත ජනතාව එක්වී වලක්වා ගත යුතු අවදානමක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. පාසල්වල පැවති තත්ත්වය ම පවතින්නේ යැයි පෙනීයන බවත්, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා තිබී නැවත විවෘත කිරීම නිසා මෙසේ පාසල්වල මත්ද්‍රව්‍ය භාවිතයේ සීග්‍ර වැඩිවීමක් පෙනෙන්නට තිබෙන බවත් සඳහන් කළ සභාපතිවරයා, පාසල්වල වැඩියෙන් ම පවතින්නේ පුවක් සහ දුම්කොළ ආශ්රිත මත්ද්‍රව්‍ය භාවිතය බව ද පැවසීය.
‘සරල ව ගන්න එපා’
‘මේකෙන් අදහස් කරන්නෙ මේක සරල ව ගන්න ඕනෙ කියන එක නෙමෙයි. ඒත් ඔය බරපතළ මත්ද්‍රව්‍ය පාසල්වල භාවිතා කරන්න ඇත්තටම ළමයින්ට ලොකු හැකියාවක් නෑ. එකට හේතුව ඒව භාවිතා කරන ක්‍රමය ටිකක් සංකීර්ණයි. පුවක් හපන, දුම්කොළ තියාගන්න ඒව වගේ කරන්න බෑ. අනෙක මේවට දරන්න වෙන වියදම. පාසල් ළමයින්ට එහෙම වියදමක් එක දිගට දරන්න බෑ. එහෙම වුණොත් ඒක පැහැදිලිවම මව්පියන්ට නිරීක්ෂණය වෙනවා.
මං ආපහු කියන්නෙ මේකෙන් මේ අවදානම සරලව ගන්න එපා. ඒත් අපි කතා කරන්න ඕනෙ දත්ත එක්කනෙ.’
සභාපතිවරයා එසේ පැවසීමෙන් පසු, අප විමසුවේ ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට කෘත්‍රිම ව නිෂ්පාදනය කරනු ලබන මත්ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් පහළයෑමක් පෙනෙන්නට තිබෙන්නේද යනුවෙනි.
‘ඒ නිෂ්පාදකයො දවසින්-දවස දියුණු තාක්ෂණය භාවිතා කරනවා. එතකොට නිෂ්පාදනවල මිලත් අඩු වෙනවා. ඒත් ඒක සැලකිය යුතු අඩුවීමක් කියලා අපිට තවම වාර්තා වෙලා නෑ. කොහොමත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වසරකට පුද්ගලයන් 40,000කට අධික පිරිසක් මියයනවා. ඒ මිය යන ගණන වෙනුවට අලුතින් මේකට ඇබ්බැහි කරන එක ඔවුන්ගේ ඉලක්කය.’
වක්‍ර ප්‍රචාරණය
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර සමග thetime.lk සාකච්ඡා කළේ වර්තමානයේ පාසල්වල සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇතැයි මාධ්‍ය වාර්තා මගින් සඳහන් කරනු ලබන කෘත්‍රිම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ය.
එහි භාවිත නම අප සඳහන් නොකරන්නේ එමගින් ද ඊට වක්‍ර ප්‍රචාරණ අවස්ථාවක් ලැබෙන නිසා ය. එහි විද්‍යාත්මක නම වන්නේ Methamphetamine ය. මාධ්‍ය ආචාරධර්ම අනුව එවැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්රවර්ධනයක් සදාචාර විරෝධී වේ.
උදාහරණයක් ලෙස මාධ්‍ය මගින් සියදිවි නසාගැනීම් පිළිබඳ වාර්තා පළකිරීමේ ඇතැම් ආචාරධර්ම විරෝධී ක්‍රම නිසා එම ක්‍රම ප්‍රවර්ධනය වූ අවස්ථා පොලිස් දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු වේ.
සංඛ්‍යා දත්ත
2020 වසරේදී Methamphetamine සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 2,387ක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට වාර්තා වී ඇති අතර, 2021 වසරේදී එවැනි සිදුවීම් 13,720ක් වාර්තා වී තිබේ. 2022 වසරේ නොවැම්බර් දක්වා වාර්තා වී ඇති එවැනි සිදුවීම් සංඛ්‍යාව 6,728කි.
එම මණ්ඩල වාර්තාවට අනුව 2022 නොවැම්බර් දක්වා වාර්තා වී ඇති සමස්ත මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය 67,900කි. එය 2021 වසරේදී 110,031කි. 2020 වසරේදී 97,416කි. Methamphetamine වලට ඇබ්බැහිවූවන් වැඩි ම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඊට පසු වැඩි ම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
මාස 03ක සමීක්ෂණයක්
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්යක්ෂ භද්‍රානි සේනානායක පවසන්නේ පාසල් ළමුන් සහ අවුරුදු 18ට අඩු පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිළිබඳ මාස 03ක සමීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. එම සමීක්ෂණය ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට එම මණ්ඩලය සැලසුම් කර තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වන මණ්ඩලයේ පර්යේෂණ අධ්‍යක්ෂිකාව පෙන්වා දෙන්නේ පාසල්වල මත්ද්‍රව්‍ය භාවිතයේ යම් වැඩිවීමක් සිදු වී ඇතැයි විශ්වාස කළ ද, ඒ පිළිබඳ මත පළකිරීමට පෙර නිවැරදි දත්ත ලබාගත යුතු බවයි. 2018 වසරේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් පාසල් ළමුන් 5,036ක් යොදාගෙන මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබේ. ඒ අතරින් සියයට 16ක්, එනම් සිසුන් 787ක් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අත්දැකීම් ඇතැයි සමීක්ෂණයේදී පිළිගෙන ඇත.
‘හෙට දවස’
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ කාර්යසාධක බලකායේ ප්‍රධානියා වන්නේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ය. එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සිදුවීම් වාර්තා වූ පාසල් 233ක් ඉලක්ක කොට මාස 03ක මෙහෙයුමක් සිදු කළ බවත්, එහිදී පාසල්වලට මත්ද්‍රව්‍ය සපයන්නන් 64 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිසුන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු ආකාරයත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු සිසුන්ගේ වෙනස්කම් පිළිබඳ ඔවුන්ට දැනුම ලබාදීමත් කඩිනමින් සිදු කළ යුතු බවයි. ඒ සඳහා තෝරාගත් පාසල්වල තෝරාගත් ගුරුවරුන්ට පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ‘හෙට දවස’ නමින් ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය. මෙම පුහුණු වැඩසටහන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ විශේෂඥයන් මගින් මෙහෙයවනු ඇතැයිද සඳහන් කළ ඔහු, අවධාරණය කරන්නේ මෙම අනතුර දැන් කොළඹට හෝ ප්‍රධාන නගරවලට සිමා වූ අනතුරක් නොවන බව තහවුරු වී ඇති බවයි.
මීට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇති අතර, එය 0777 128128 වේ. එසේ ම [email protected] විද්‍යුත් ලිපිනයට ද මීට අදාළ තොරතුරු ලබාදිය හැකි බව ප්‍රධාන පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ පවසයි.
මත්ද්‍රව්‍ය සහ අපරාධ
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට (United Nations Office on Drugs and Crime – UNODC) අනුව Methamphetamine යනු Amphetamine කාණ්ඩයට අයත්, නීතිවිරෝධී රසායනාගාරවල නිෂ්පාදනය කරනු ලබන මත්ද්‍රව්‍යයකි. කුඩු, පෙති, වීදුරු බෝල ආදී විවිධ හැඩවලින් මෙම මත්ද්‍රව්‍යය නිෂ්පාදනය කරනු ලබයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ සියලු Methamphetamine වර්ග ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇතැයි විශ්වාස කරන බවයි.
සමාජ භීතිකාවක්
මේ අතර සමාජ විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ මෑත කාලයේ මාධ්‍ය මගින් මතුකරනු ලැබූ Methamphetamine වාර්තා මගින් සමාජ භීතිකාවක් නිර්මාණය වෙමින් පවතින බවයි. එය වෙනත් දේශපාලන අරමුණක් ඔස්සේ සිදුකරන්නක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ චෝදනා එල්ලවෙමින් තිබේ.
ප්‍රධාන රුපවාහිනී නාලිකා 02ක් මාධ්‍ය ආචාරධර්ම නොතකා මීට අදාළ මාධ්‍ය වාර්තා පළකිරීම පසුගිය දිනවල කැපීපෙනිණි. එසේ ම සති අන්ත පුවත්පත් මගින් ද මෙම මත්ද්‍රව්‍ය බරපතළ ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති බවට වන වාර්තා පළකර තිබිණි. ඒ අතරින් එක් පුවත්පතක ප්‍රධාන ශීර්ෂපාඨය ලෙස සඳහන් වූයේ ‘………. ජාවාරම 25ක් අතේ – ……………. වර්ග 370ක් වෙළෙඳපොළේ’ යනුවෙනි. එහෙත් එම පුවත්පතේ ඊට අදාළ කිසිදු නිශ්චිත තොරතුරක් සඳහන් වූයේ නැත. එසේ ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුමක් සම්බන්ධයෙන් පළවූ පුවත්පත් වාර්තාවක කැපීපෙනෙන ලෙස දක්වා තිබුණේ ‘…………… පාටියක් දැයි සැකයක්’ යනුවෙනි. එම තොරතුරට අදාළ කිසිදු තොරතුරක් ද එහි සඳහන් නොවීය. (හිස්තැන තබා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍යයේ නම සඳහන් කොට තිබූ ස්ථානයට ය.)
වගකීම් සහගත මාධ්‍ය කණ්ඩායමක් ලෙස කිසිදු අයුරකින් මත්ද්‍රව්‍ය ප්‍රචාරණයට thetime.lk දායක නොවන බවත්, එසේම පිළිගත හැකි සාක්ෂිවලින් තොරව දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවත් අවධාරණය කළ යුතුය.
ගෙන්වන්නේ කවුද?
මේ අතර Methamphetamine මෙරටට ගෙන්වන ප්‍රධාන ජාවාරම්කරුවන් හඳුනාගැනීමට විමර්ශන අංශ සමත් වී ඇත්දැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් thetime.lk කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊට අදාළ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ලෙස චෝදනා එල්ල වන්නේ අනෙක් මත්ද්‍රව්‍ය මෙන්ම Methamphetamine මත්ද්‍රව්‍ය ද මෙරටට ගෙන්වන්නේ දේශපාලනඥයන්ගේ සමීපතමයන් වන නිසා ඔවුන්ගේ ජාවාරම් කිසිදු ගැටලුවකින් තොරව සිදු වන බවයි. ඊට ආරක්ෂක අංශ ද සහාය ලබාදෙන බවට චෝදනා එල්ල වේ.