X-Press Pearl නෞකාවේ ඇති වූ ගින්නෙන් ලංකාවේ මුහුද සහ වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතියට සිදු වූ හානිය වෙනුවෙන් ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න වන්දි මුදලක් අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ.
2021 මැයි 20 දින කොළඹ වරාය ආසන්න මුහුදේදී බහාලුම් 1,486ක් සහිත වූ මෙම නෞකාව ගිනිගැනීම ආරම්භ විය. රසායනික ද්‍රව්‍ය වර්ග 46ක් මෙහි අඩංගු වූ අතර, ප්ලාස්ටික් නිෂ්පාදන අමුද්‍රව්‍ය ඇතුළු වෙනත් රසායනික අමුද්‍රව්‍ය වර්ග රැසක් ද මෙම ගින්න හේතුවෙන් මෙරට මුහුදු සහ වෙරළ පරිසර පද්ධතියට එකතු විය.
එකඟ වූ දිනය
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (Marine Environment Protection Authority – MEPA) සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය පිළිබඳ ගැටළුවක් හේතුවෙන් මෙම විනාශයට අදාළ අවසාන තක්සේරු වාර්තාව මෙතෙක් සකස් කර නැත. එය පසුගිය සැප්තැම්බර් 19දා බාරදිය යුතුව තිබිණි. මෙම වාර්තාව සම්බන්ධයෙන් පසුගිය ජුනි මාසයේදී නෞකාව පාර්ශ්වයේ නීති අංශ සමග පැවති සාකච්ඡාවකදී ද මෙරට බලධාරීන් මෙම දිනයට වාර්තාව බාරදිය හැකි බව අවධාරණය කර තිබිණි.
MEPA ප්‍රතිචාරය
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර පවසන්නේ එම වාර්තාව ලබන ජනවාරි මැද වන විට අනිවාර්යෙන්ම ලබාදිය හැකි බවයි. ආසන්න වශයෙන් මෙම නෞකාව ගිනිගැනීම නිසා සිදු වූ හානිය ඩොලර් බිලියන 3ක් පමණ වන බව ද ඇය සඳහන් කරයි.
නීතිපති චෝදනාව
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යංශය පාර්ශ්වයෙන් මෙම වාර්තාව ප්‍රමාදවීමට අදාළ සම්පුර්ණ වගකීම පවරන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ය. එසේ ම ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාවේ කෙටුම්පත මෙරට නීති බලධාරීන් වෙත ලබාදීමට පෙර, ඕස්ට්‍රේලියානු නීතිඥ සමාගමක් වෙත ලබා දී ඇති බවටත්, එය විධිමත් ක්‍රමවේදයෙන් පිටපැනීමක් බවටත් නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
මෙම චෝදනාවට පිළිතුරු දෙමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර පෙන්වාදෙන්නේ ඊට හේතුව සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කළ යුතු වීම බවයි. පසුගිය අගෝස්තු මාසයේදී සිංගප්පූරු යාත්‍රාවක් මුහුදේ ගිලීම ඇතුළු ආසන්න කාලයේ සිදුවූ සමස්ත සිද්ධි අධ්‍යයනයෙන් පසු මෙම අවසන් වාර්තාව සකස් කළ යුතු බව ද ඇය පවසයි. එම හේතුව නිසා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක නීති සමාගමක් සමග සම්බන්ධ වීම අත්‍යවශ්‍ය බව ද ඇය පෙන්වා දෙයි.
සමුද්‍ර දූෂණ නීති යටතේ මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ මීට අදාළ චෝදනා ගොනුකොට ඇත.
නිව් ඩයමන්ඩ් උදාහරණය
මීට පෙර 2020 සැප්තැම්බර් 03දා නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් මුහුදු සීමාවේදී ගිනි ගත්තේය. එයින් සිදු වූ තෙල් කාන්දුවක් නිසා නැගෙනහිර මුහුදට බරපතළ පරිසර හානියක් සිදු විය. එහි වන්දි මුදල් ද මෙතෙක් සම්පූර්ණයෙන් ලබාගැනීමට හැකියාවක් ලැබී නැත.
ග්‍රීක සමාගමකට අයත් මේ නැව, දිගින් මීටර් 330ක් වූ අතර, ඒ තුළ බොරතෙල් ටොන් 2,70,000ක් ක්වේට් සිට ඉන්දියාව වෙත ගෙනයමින් තිබිණි. මෙම ගින්න සැප්තැම්බර් 03දා නැවේ යන්ත්‍රාගාරය තුළ හටගත් අතර, එය මුළුමනින්ම නිවා දමන්නට හැකිවූයේ සැප්තැම්බර් 11දා ය.
මේ සිද්ධිය නිසා තෙල් කාන්දුවීමක් සිදුවූ අතර, එය නැවේ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා තිබූ තෙල් මිස ගබඩා ටැංකි තුළ තිබූ තෙල් නොවන බව ප්‍රකාශ විය. ඉන්පසුව මෙම නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් ඔබ්බට ඇදගෙන යන ලද අතර, පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන ගොස් තෙල් තොගය ගොඩබා තිබේ.
එසේම මෙම ගින්න නිවීම වෙනුවෙන් වැයවූ මුදල ලෙස ප්‍රකාශිත රුපියල් මිලියන 441, එම නැව අයත් සමාගම මගින් ගෙවන ලදි.
සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත
මේ සඳහා බලපවත්නා නීතිය වන්නේ 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත ය. මේ පනත යටතේ මෙවැනි අවස්ථාවක අදාළ සමාගමට එරෙහිව අපරාධ නඩුවක් මෙන්ම සිවිල් නඩුවක් ද පැවරිය හැකි වේ. මේ පිළිබඳව අපරාධ නඩු පැවරීම කළ හැක්කේ පනතේ 26 වන වගන්තිය යටතේ ය. එසේම සිවිල් නඩුවක් පැවරීමට අදාළ ප්‍රතිපාදන පනතේ 34 වන වගන්‍තියේ දක්වා තිබේ.
මේ නැව් අනතුර වලක්වා ගැනීමට නිසි පරිදි කටයුතු නොකිරීම යන කරුණ පාදක කර ගනිමින් නැවේ කපිතාන්වරයාට එරෙහිව අපරාධ නඩුවක් පවරන ලදි. ඔහු ඊට වරද පිළිගත් අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 12ක දඩයක් නියම කෙරිණි. ඔහු එය ගෙවා තිබිණි.
රුපියල් මිලියන 3,480ක්?
නමුත්, පරිසර හානියට අදාළ ව තක්සේරු කර තිබෙන රුපියල් මිලියන 3,480ක මුදල තවමත් සම්පූර්ණයෙන් ගෙවා නැත.
පනතේ 34 වන වගන්තිය යටතේ පවරනු ලබන සිවිල් නඩුවක් හරහා ශ්‍රී ලංකාවට මෙම මුදල අයකර ගත යුතුව තිබුණද, ඊට අදාළ නීති කටයුතු සිදු වුයේද මන්දගාමීව ය.
රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPE), 2022 මාර්තු මාසයේ අනාවරණය වූයේ අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා තිබෙන බවයි. සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ කටයුතු සිදුකිරීමේ බලය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට (Marine Environment Protection Authority – MEPA) පැවරී තිබුණත්, නඩු පැවරීමේ බලය පනතේ 50 වගන්තියට අනුව පැවරී තිබෙන්නේ නීතිපතිවරයා වෙත ය.
එම නිසා මේ නඩුවට අදාළ ප්‍රමාදයට වගකිවයුත්තේ නීතිපතිවරයා ය.