‘මව්වත් හදවත්’ ඩිල්ශානි චතුරිකා දාබරේ

Share post:

ජීවිතයේ ක්ෂුද්‍ර යැයි හැගෙන සිදුවීම් පවා අපූර්ව පරිකල්පනීය ඉසව්වක ස්ථාපිත කළ හැකියැයි පසක් කෙරෙන නිර්මාණයක් ලෙස මව්වත් හදවත් හඳුනා ගන්න පුලුවන්. ඒ පරිකල්පනය ඩිල්ශානි චතුරිකා දාබරේගෙන්.

මහගෙදරක් මනුෂ්‍ය පැවැත්ම කෙරෙහි සිදුකෙරෙන බලපෑම් සහගත බව සියුම්ව කියවා ගැනීමට හැකියාව ලැබෙන අවස්ථාවක්.
එයිනුත් ගැහැනියක් විෂයෙහි මහගෙදර බලපෑම අන් සියල්ල අභිබවා නැගෙන බව පැහැදිලි කරුණක්.ගැහැනියක් ගැහැනියක් ලෙස නිර්මාණය වීම සඳහා එයින් සිදුවන සමාජානුයෝජනය බලපානවා..පවුල විසින් පවත්වා ගෙන ආ ගැහැනු කාර්‍යයන්, ගැහැනු හැසිරීම්,ගැහැනු සිතුම් පැතුම් යනාදිය නව පරම්පරාව වෙත ඔවුන් නිරුත්සාහයෙනුත් උත්සාහයෙනුත් පවරා දෙනවා.

ඒ පවරා දීමෙන් මිදීමත් ඒ තුළ ගිලීමත් මෙන් ම මහගෙදරක් තුළින් ජීවිතයට ශේෂ කරන අපූරු මතකයන් ආචාර ධර්මයන් ආදරණී‍යතා යන සියල්ල අපූරු ලෙස මව්වත් හදවත් තුළින් සූක්ෂමව පෙනෙනවා.
මහගෙදර පැවැත්මට අනුගත වන මවගේ සිතුවිලි, ඉන් මිදී ප්‍රගතිශීලි පැවැත්මක් සොයා යන පුංචි හා නූතන තරුණියගේ සිතුවිලි, ඔවුන්ගේ තීරණ ගැනීම් හරහා මේ කාර්‍ය වෙත එළඹීමට පාඨකයා පෙළඹෙනවා.

ඒ වගේ ම සාමාන්‍ය ගැහැනියකගේ කුඩා කුඩා සිතුවිලි කතුවරිය විසින් ස්පර්ශ කරන ආකාරය පාඨක සිතට ප්‍රීතියක් එක් කරන දෙයක් යැයි හැඟෙනවා. එමෙන් ම මෙහි එන තරුණිය සමඟ සංවාදයේ යෙදෙන දෙල් ගස කතාව පුරා පාඨකයාගේ සිත් ගන්නක්. පරම්පරා කිහිපයක් ගැහැනියකගේ නිරවද්‍යතා, සාවද්‍යතා ඇසූ දුටු ගස කෙරෙහි ආලයක් සි‍තෙහි ඇති කෙරෙනවා.

මෙහි එන භාෂාවේ රූපකමය ගුණය නිසා ම කතාව ඉතා සීරුවට හෙමි හෙමින් කියවා ගනිමින් කතාවේ ක්‍රීඩාශීලී ගුණ‍ය සමඟ එක් වීමට හැකියාව ලැබෙනවා.

” තාත්තා ගහක් .අම්මා ඒ වටා නැඹුණු වැලක් උනාට, මුළු ගෙවත්තම තිබුණු ගස් වලට වඩා වෙහෙසක් වෑයමක් දරන්න අම්මාට සිද්ද වුනා, ගහෙයි වැලෙයි පැවැත්ම ජීවත් කරවන්න.මිනිස්සු ගෙවල් ඉස්සරහ හිටව ගන්න හොඳ නැහැයි කියලා උගුල්ලලා අයින් කරන ගහක් වගෙයි තාත්තා හිටියෙ. ඒ ගහේ නිකමටයි කියලා මල් පිපුනේ නෑ. ගෙඩි හැදුනේ නෑ. ගහ ළඟට ආව ගස්වලට ඒ ගහ අතු වලින් දමා ගැහුවා, රණ්ඩු සරුවල් වුනා විතරයි. ගෙවත්තේ හැමතැනම කොළ හැලුණ විතරයි. නිතරම මිදුල හැඩි කරන විදිහට කොළ හැලෙන ගස්වලට මිනිස්සු කැමති නෑ. ඒ මොකද අතුගෑමේ කෙළවරක් නැහැ. මේ අතුගාලා මේ බලද්දි ආයෙ කොළ හැලිලා ” පිටු 100

ඒ වගේ ම කතාව පුරා තියෙන රිද්මීය ගලා යාම කතාවට නව්‍ය ගුණයක් එක් කරනවා. එය හරියට සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරයෙහි එන අනුප්‍රාස ගුණය සිහි කරවන්නක්..
දවසක් පාසල් මිතුරියක් මා සමඟ කියූ කතාවක් සිහියට නැගුණා කතාව කියවද්දි ” දැන් මට වයසයි. ප්‍රශ්න පිරිලා තියෙන නවකතා කියවන එක නතර කළා. හිතට සහනයක් ඕනෙ”
මගේ මිතුරිය සාහිත්‍යයෙන් පතන සහනය, චරිත නිරූපණයෙහි ඇති සාමකාමී අපක්ෂපාතී බව තුළින් මතුවෙන කතාවක් තමයි මව්වත් හදවත්..

Nishamani Adasooriya

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...