නූස් කඳු බෑවුමක වැතිරුණ කුඩා තණ පිටියකින් කාට නම් පලක් වේද? කවියාට එය දෙව් ලොවක් සරිය. එහෙයිනි මේ වැනුම.
හෙතෙම තණ පිටියට ජීවිතය දෙන්නේ එය වැතිර සිටිනවා යැයි කීමෙනි. දැන් පණැති තණ පිටියක් තරබාරුවෙන්, පැත්තක් බා ඇලවී ඉන්න රූපයක් පෙනෙන්නට ගැනීම වළකාලනු නොහේ.
“….මට ඉන්න දෙන්න මෙහෙමම
මේ සිඟිති තණමල් වඩාගෙන
සුළං සර සරයේ වෙලීගෙන
සැඳෑ හිරුරැස් සළුව ඇඳගෙන
සඳ එළිය සිපගෙන
උදා පිනි නාගෙන
.
තමනුත් ඉන්න බව
ලෝකෙටම කියන්නට
ඇයි ඔයතරම් වැඩිවැඩ?”
-නමක් නැති මිනිසුන්ගේ සුසානය-සනත් බාලසූරිය-34 පිටුව
හෙතෙම තණ පිටියට ජීවිතය දෙන්නේ එය වැතිර සිටිනවා යැයි කීමෙනි. දැන් පණැති තණ පිටියක් තරබාරුවෙන්, පැත්තක් බා ඇලවී ඉන්න රූපයක් පෙනෙන්නට ගැනීම වළකාලනු නොහේ.
සනත් බාලසූරියගේ පළමු කවි එකතුව වූ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’ හරහා ගෙන ආ ‘සැඟවූ ශෝකය’, දෙවැන්න වූ ‘නමක් නැති මිනිසුන්ගේ සුසානය’ ඇතුළතින් ද සොයාගත හැකිය. තමන්ව උපන් පොළොවට බැඳ තබාගත් රැහැන අනෙකෙකු විසින් සිඳ දැමූ හෙයින් මේ සැඟවූ ශෝකය, සෑම කවියක් යටම වෙනත් වේෂයන්ගෙන් මතුව එයි. පරිසරය කෙරෙහි ඇති ආශක්තභාවය, සුළු දේ විඳීමෙහි සූක්ෂමතාව මෙන්ම අලංකාරී දේ පිළිබඳ යටපත් කළ සිහින ද විටින් විට අපට හමුවෙයි.
මතු උපුටා දැක්වූ කවියෙහි තණ පිටියක සොඳුරුබව කියන්නට පෙරට එන කවියා ඒ යට වෙනත් ඇඟලුමක්ද සඟවා තබයි. කවිය තේරුම් ගැනීමට නම් ඒ දෙවැනි ඇඳුම ගලවා බැලීමට කියවන්නාට සිදු වේ. මේ දාර්ශනික සැඟවුම අපට හමුවන්නේ කවියේ අවසානයට ළඟා වන විටයි. තමනුත් ඉන්නා බව ලෝකයට කියන්නට මෙතරම් වැඩි වැඩ අනවශ්‍ය බව කථකයා පවසන විට යළිත් කවියේ මුලට ගොස් බලන්නට සිත් වෙයි.
කවියා නිතරම පරිසරයෙන් දෑ රැගෙන ඒවා තමන්ට ඕනෑ හැටියට වෙනස් කර කියවන්නාට පිරිනමයි.
“මීදුමක් වගෙයි ඔබත්
ඉතිරි නොකර යන කිසිත්”
-11 පිටුව
පෙම් කවි පවා පෙනී සිටින්නේ ආගන්තුක හැඩයකිනි. ප්‍රේමාතුරව, එහෙත් පාලනයක් සහිතව කථකයා ඇය හෝ ඔහුව අමතයි. බාගදා මේ පෙම් කවි, පෙම් කවිම නොවේ යැයි කීමට තුරුම්පුවක් කථකයා අත ඇත්තාක් මෙනි. මීදුමක් වගේ කිසිවක් ඉතිරි නොකර යන කෙනෙකු ගෙනඑන්නේ කොතරම් බර සොවක්ද? එහි ඇති තෙත්බව සේම, නොපැහැදිලිබව විසින් අනවශ්‍ය ශෝකයකට ඇදහෙළයි.
‘මගේ කාන්තාරය’ ලෝක දෙකක් සැසඳීමක් මෙනි. සරුසාර පොළොවක් අතැර දමා පැන ආ කෙනෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා කථකයා කාන්තාරයක තතු අපට කියයි. ඒ ද අලංකාර භාෂාවකිනි. මේ භාෂාත්මක විස්කම් හේතුවෙන් දූලි උඩ නටන ශුෂ්කත්වයට කියවන්නා ආශක්ත වෙයි. ඒ තමන් නොදන්නා කාන්තාර සිරියක් වෙනුවෙනි. එහෙත් කථකයා විසින් තමන් විස්තර කරන්නට යෙදෙන කාන්තාරය පිළිකෙව් කරන බව එක හුස්මකින් පාඨකයා වටහා නොගනී.
“නේක ගස්වැල්, කඳු ද කෙත් බිම්,
නදී, විල්,
හෝ ගාන මහ වැව්,
රුසිරු දිය ඇළි, හරිත වන බිම්
දමා පැන ආ කෙනෙක් වෙමි මම්…”
-12 පිටුව
ජීවිතයේ අතිශය දුෂ්කර සමයක පවා කාන්තාරයකට හුරු වීමට හිත හදාගත් කථකයා කිසිවෙකුට දොස් නොකියයි. විසැති පතොක් ගස්වල පවා කලකට මල් පූදින බව පවසයි. ඉන් නොනැවතී නිරුදක කතරේත් වැසි වැටෙන බව පවසයි. වසන්තය ගැනත් ඉඟි කරයි. එහෙත් හදිසියේම පෙර කී ‘යටපත් කළ ශෝකය’ රබර් බෝලයක් මෙන් උඩට පැමිණෙයි. හදවත බර වෙයි.
හාදකම්, පියතෙපුල් හිඟ බව කථකයාට නොකියා සිටීම දුෂ්කර වෙයි. තමන්ගේ සිහිනවල තවමත් ඇත්තේ හරිත පැහැය බව තව දුරටත් අපට පවසන හෙතෙම විප්‍රවාසීබව ලාකඩ මුද්‍රාවක් සේ තැන තැන අලවයි. වන ගුල්ම ගිනිගෙන, කැඳැලි ඉහිරුණු කෙනෙකුට දෙන් හෙතෙම ඇසට-ඇස තබා කතාවේය.
“…ඇතැම් විට ඔබ,
එඬරු දඬුවක්
මුලක්,
තෙත්බර පසක් නැතුවත්
වැටුණු ඕනෑම තැනක දලුලන..”
-14 පිටුව
මේ අවසාන ප්‍රාර්ථනයයි. කථකයා තමනුත් එඬරු දඩුවක්ව, ඒ හා සමාන අත්දැකීම් ඇති සෙස්සන් ද එඬරු දඬු බවට පත් කරවයි. දැන් ඔහුටත්, අපටත් බලාපොරොත්තුවක් තිබේ. ඒ නොමැරී සිටීමටයි. යළිත් ඕනෑම පොළොවක දලුලෑමටයි.
මේ මැදහත් සිතින් ලෝකය දෙස බැලීමේ ගුණාංගය සහ වේදනාව, ශෝකය, කෝපය තනුක කර දැක්වීමේ භාෂාත්මක පරිචය ‘බාලසූරිය කවි’ යම් තැනිතලාවකට ගෙන යයි. එහි මෘදුව සතපවයි. එහෙත් ඕනෑ නම් ඉන් ගින්නක් දල්වා ගැනීමට ලේයර යට ගිනි පුපුර සඟවා තැබෙයි.
‘අවබෝධාත්මක පෙම්වතී’ ඇතුළේද ඇත්තේ මේ ලේයර ගලවා විවිධ අරුත් උත්පාදනය කරගත හැකි කවියකි. ලෝකයේ කුරිරු බව කීමට හෙතෙම පෙම්වතියව කැඳවන්නේ ‘සංකේතයක්’ ලෙසිනි. පෙම්වතා විසින් පෙම්වතියට කියන්නට යෙදුණු ලෝකයේ කුරිරු බව පෙම්වතිය විසින් යළි නිර්වචනය කෙරෙන අයුරු අපූර්වය. පුංචි කුහුඹුවා දඩයමට ගිය විට දරුණු බව පැවසෙන අතර,
“…ඇද-ඇද පණපිටින් ඇඟ මස
කඩ-කඩා කයි….”
“….ජර-ජර ගා තණකොළපෙති
පෙති දෙපෙති හැපෙන හැටි,
ඔව්, මට සිහිනෙනුත් ඇසෙයි….”
“…ඔබ තාම පණපිටින් මා
කා දමා නැතිවීම
ආශ්චර්යයක් තමයි!…”
-15 පිටුව
කවියේ මුදුන පෙම්වතාව සුනු-විසුනු කර දමයි. එහෙත් පෙම්වතා මේ කවියේ කථකයා වූයේ නම් කුමක් පවසනු ඇතිද? ඔහු, ලෝකයේ රුදුරුබව කෙලෙස චිත්‍රණය කරනු ඇතිද? සංවාසය අවසන පිරිමියාව කා දමන කළු වැන්දඹු මකුළුවාව උදාහරණ ලෙස කැඳවනු ඇතිද? නොදනිමි!
කාව්‍යෝක්ති බහුලව යොදාගෙන තිබීම නිසා ශෝකී තානය විටින්-විට යටපත්ව අලංකාරයද මතුව එයි. එහෙත් සැනින් අලංකාරය යට සැඟව සිටින ශෝකය මතුව එයි. කටහඬ බිඳී යයි.
” …ඉලෙක්ට්‍රොනික් භූතයෙක් ය
මහ නගරය…”
“…නගර අහස් රේඛාවට දුම් පිඹ පිඹ
දුමේ ගැලී ඉන්නා දුම්බටයක් වෙමි..”
-20-21 පිටු
ඒ අතර කථකයා අපව වාරියපොළ සති පොළටද ගෙන යයි. තලෙළු කම්මුල් මත වකසුළි නැඟෙන තරුණියක මුණගස්වයි. ඈ විළියෙනි, සරුවත් බීම බෝතල් පසුපස හැංගීය. කථකයාගේ මතකය ජීවී රූපාවලියකි. හේ දුක්වන්නේ ඇගේ මතකය එතරම් බලවත් නැතැයි සිතමිනි. වාරියපොළ පොළත්, ජර්මනියේ රීපබාන් පාරත්-එල්බ ගඟත් එකට හප්පන මොහොතේ ඉන් විසිවන්නේ සරුවත් බීමක්ද, නිකංම නිකං වතුරක්දැයි පහසුවෙන් කොහේ හෝ වාඩිගෙන ඔබට සිතන්නට පුළුවන.
කවියා තම මතක කොතලය හලමින් විටින් විට අපට ඉදිරිපත් කරන මේ කවි මාල එකිනෙකට සම්බන්ධය. ‘කැෆ්කියානු වංකගිරිය’ සේම ඒකතානීය ගලායාමක් සහිතය. සමහර විට ඒ ගලායෑමේ රිද්මය නොහිතාම මතු වූවක් විය හැකිය.
‘යපී පෙම්වතිය, ඈ මගේ’ සිටින්නේ 53 වැනි පිටුවේය. ඈ නැබක් එරෙන විසල් යහනක තනිව නිදන්නේ යැයි කී සැනින්ම මතුව එන සෘංගාරය වළකාලනු නොහී එකකි. ඒ කවි ශරීරයට අයත් වැස්මක් සේය. වැස්ම ඉවත් කිරීමට කියවන්නාව පෙලඹවීම කවියාගේ කපටි බලාපොරොත්තුව විය හැකිය. ඈ වෙසෙන තැන විස්තරය මනබඳිනසුලුය. නිවාඩු දිනයේදී අයිපෑඩ්, ලැප්ටොප්, මොබයිල් ‘බීප්’ හඬ නැඟුවත් නෙත’ඟ බැල්මක්වත් ඈ නොහෙලයි. නිවාඩු දා ඈ වලා සළුවක් සේ නිදයි. මහල් විස්සක්-තිහක් උඩ-පහළ යන විදුලි ලිෆ්ටය සාලයක් තරම් විශාලය. සුඛෝපභෝගී ජීවිතයක් ගැන ඉඟි කරමින් කථකයා විසින් යපී පෙම්වතියව අපට පෙන්වයි. දැන් ඇගේ රූසිරි වර්ණනා කිරීමේ මොහොතයි.
“…සෘදියෙන් ඔබ පැමිණ එසැණක
නිරුවතිනි
මා රුවට පසුපස!
.
දෙළුම් පල පියයුරු,
පෙතැලි නැබ,
වසාරොද මුඩුකැරුණු ඉකිළිය,
කලව පිළිමිණි අතර සිරවුණු
තුන්හුලස් ආලෝක උමගය…”
-54-55 පිටු
ඒ නැවත කීම නොහොබී. මා කවුළුව හැර තබා ඇත. එබී බැලීමට ඔබට හැකිය.
සනත් බාලසූරිය ‘කැෆ්කියානු වංකගිරිය’ක අප අතරමං කර දැමූ සේම, ඔහුගේ දෙවැන්න වූ ‘නමක් නැති මිනිසුන්ගේ සුසානයේ’ත් අපව අතරමං කර දමා පැනගොස් ඇති සෙයියාවකි. සංචාරක කවි යැයි පළමු කවි පොතට නම් වාසගම් දුන් හෙයින් දෙවැන්න සංචාරක කවි යැයි නොකිවමනා යැයි කෙනෙකුට සිතිය හැකිය. එහෙත් දෙවැන්නත් එක්තරා වටයකින් ගොස් බැලූ විට සංචාරක කවිමය.
පළමු වැන්නට වඩා ශෝකයෙන්බරිතය; එහෙත් එක ලෙස අලංකාරිතය.
දැන් මම තෙවැන්නක් ගැන බලාපොරොත්තුවකය.
