සිංහල – හින්දු අලුත් අවුරුද්ද මානව විද්‍යාවෙන් කෙබඳුද ?

16

සිංහල – හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව කියැවෙන විට මතකය නිරායාසයෙන්ම මගේ ළමාවිය වෙත ඇදී යන්නේ ය. එසේම සුවහසක් වැඩිහිටියන් වන ඔබේ මතකය ද එලෙසින්ම තම ළමාවිය හෝ තාරුණ්‍යය වෙත නිරායාසයෙන්ම ඇදියනු ඇතැයි කියා මට සිතේ . එසේ වී නම් එම මතකය ද පෙරදැරිව මෙම සටහට කියවනු වටී.
මල් ගොමු ගොමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුලු ලොව උයනක් කරවන්නී
තනුව හා ගායනය
ආචාර්ය පණ්ඩිත් අමරදේව
ගේයපද රචනය
අරිසෙන් අහුබුදු
පරෙවිය සාම අස්න ~ 1964
( ගුවන්-විදුලි සරල ගීතයකි )
“ඇවිල්ලා ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ
පදිමු රන් ඔංචිල්ලා”
ගායනය :
මොහිදින් බෙග්
ක්‍රිෂ්ටි ලෙනාඩ් පෙරේරා
මල්ලිකා කහවිට
ගේයපද රචනය :
කරුණාකර අබේසේකර
තනුව හා සංගීතය :
ඇම්. කේ රොක්සාමි
චිත්‍රපටය : ධීවරයෝ – 1964
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්ඩ තමා බක්මහ ළංවීලා
ගායනය : අමිතා වැදිසිංහ
ගේයපද : දයානන්ද ගුණවර්ධන
තනුව හා සංගීතය
සෝමදාස ඇල්විටිගල
චිත්‍රපටය : බක්මහ දීගය – 1969
“මී අඹ අත්තේ කොහෝ .. කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ …
රබාන රත්වෙන නැකත් වේලාවට
නලාව පිඹපන් කොහෝ … කොහෝ
ගායනය
මිල්ටන් මල්ලවාරච්චි/නීලා වික්‍රමසිංහ
ගේයපද රචනය :
අජන්තා රණසිංහ
තනුව හා සංගීතය :
සරත් දසනායක
චිත්‍රපටය : වංචල රේඛා – 1981
කොහෝ කොහෝ
කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුඹට ඇහෙනවදෝ
ගායනය :
සනත් නනදසිරි
සුජාතා අත්තනායක
ගේයපද : අජන්තා රණසිංහ
තනුව හා සංගීතය
සනත් නන්දසිරි
( ගුවන්-විදුලි සරල ගීතයකි )
බැද්දට මල් වරුසාවක් වැහැළද
ඉද්ද – පනා මල් කැන් පිපිලා
සද්දේ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද
නැද්ද කනෙයියනේ රොන් හැදිලා

ගායනය :
පියසිරි විජේරත්න
අමිතා වැදිසිංහ
ගේයපද : පියසරි විජේරත්න
තනුව හා සංගීතය
පියසිරි විජේරත්න
( ගුවන්-විදුලි සරල ගීතයකි )

බක් මාසය යනු කුමක්ද ?

පුරාතන ලක්දිව සෘතු භේදයක් නොමැති වුවද අපට සිංහල – හින්දු අලුත් අවුරුද්ද එළැඹෙන්නේ සිංහල මාස ක්‍රමයට අනුව බක් ( අප්‍රේල් ) මාසයේ දී ය . “ඛක්” නම් බා ( භාග්‍යය ) – “අක් ( අග්‍ර ) මාසය යි . එහෙයින් භාග්‍යයමත් මාසය වන්නේ ය .
“බක්” නොහොත් භාග්‍යවත් මාසය හුදෙක්ම සිංහල හින්දු ජනතාව ට සෑම අතින්ම සුබදායක වන්නේ ය. බක් මාසය පිළිබඳව අපේ ඉපැරණි පොතපතෙහි සදහන් ව ඇති නාමයන් ඒ මාසයේ සුවිශේෂත්වය ආවේණික බවක් පෙන්නුම් කරන බව පෙනේ. ජාතක කතා අටුවාවේ බග – භාග්‍යයවත් මාසය යි ( පිටුව 130 ) . ඊට භාග්‍යයවත් මාසය බග වීමට හේතු වූ කරුණු කාරණා අතර ප්‍රධාන වනුයේ මාස් මොසමේ කුඹුරු හා හේන්වල අස්වනු නෙලා අටුකොටු පිරෙන බැවිනි. මී – ගව දෙනුන් තම පැටව් බිහිකරන කාලය දුරුතු හා නවම් වන අතර බක් මහ වනවිට ගැමියන්ට කිරි අස්වැන්නෙන් අඩුවක් නොමැත. ගහේ වැලේ පළතුරුවලින් පිරෙන බක් මහේ මීවදවල පැණි පිරෙන්නේ ය. මෙකී නොකී සියල්ලගෙන් ගම්‍ය වනුයේ දොළොස්මහේ අන්-කවර මාසයකටත් වඩා සෑම අතින්ම බක්මහ ගැමියාට සුවිශේෂී මාසයක් බව බවයි.

අලුත් අවුරුද්ද හා බැඳි ඉතිහාසය කෙබඳුද ?

සූර්යයා මීන රාශියෙන් – මේෂ රාශියට මාරුවීම කේන්ද්‍රගතව පුරාතන ලක්දිව නැකත් කෙළියේ ආරම්භ වන්නේ ය. පෙරදිග විශේෂයෙන්ම ආර්යය ජනතාව අතර උපන් උත්සවයැයි කියා කිවහැකි මෙය පුරාණ “හිරු-දේව වන්දනාවේ උත්සවය” වන්නේ ය.

අලුත් අවුරුද්ද යනු හුදෙක්ම එදා නැකත් කෙළියක් විය. පුරාතන ලක්දිව නැකත් කෙළියට ලැබුණේ සුවිශේෂී වූ වැදගත්කමකි. එසේම ජන අවධානයකි. ක්‍රි. පූ 9 වැනි සියවසේ සිට එනම් ඒ මෙරටට වෛදික සභ්‍යත්වය හදුන්වාදුන් කාලවකවානුවේ සිට මෙරට ජනතාව නැතක් පිළිබඳව ගෞරවයක් හා විශ්වාසයක් තිබුණු බව පෙනේ. අනුරාධපුර මූලාරම්භක අවස්ථාවේ රජ මාලිගාවේ හා සමාජයේ නැකත් කටයුතු කරනු පිණිස රාජ-නැකත්කරුවන් හා සාමාන්‍ය නැකත්කරුවන් ( නක්ශාස්ත්‍රකරුවන් ) සිටිය බව මහාචාර්ය හේම එල්ලාවල මහතා තම පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය – 1964 පොතේ සදහන් කරයි ( පිටු 24 ).

ලක්දිවට බුදුදහම නිල වශයෙන් හදුන්වාදෙන ලද්දේ මහින්දාගමනයෙනි. එදින අනුබුදු මිහිදු හිමි ඇතුළු පිරිස මිස්සක පර්වතයට වැඩිය දා දේවානම්පියතිස්ස රජු නැකත් කෙළිය සමරනු පිණිස මුව-දඩයමේ ගිය බවද මහාවංශයේ සදහන් වේ.
සෙංකඩගල පූර්ව යුගයේ දී අවුරුදු උත්සවය සමරා ඇතතේ ද නැකත් කෙළියක් ලෙසින් බව රොබට් නොක්ස් ( Robert Knox ) තම ඵෙතිහාසික විස්තරය වන An Historical Relation of Ceylon – 1681 ( සිංහල පරි : එදා හෙළදිව – 1958 ) හි සදහන් කර තිබේ ( පිටු 33 ). එය එලෙසින්ම තහවුරු කරමින් වෛද්‍ය ජෝන් ඩේවි ( Dr, John Davy ) තම An Account of the Interior of Ceylon – 1821 පොතෙහි ද මේ බව සදහන් කරමින් එදවසෙහි රජවාසලේ පැවති අලුත් අවුරුදු උත්සවය පිළිබඳව අපූරු වාර්තාවක් ගෙනහැර දක්වයි.
වෛද්‍ය ජොන් ඩේවි මෙසේ ද සදහන් කරන ආකාරයට අලුත් අවුරුදු නැකත් මෙසේ ය.

  1. අලුත් අවුරුද්ද පටන් ගන්නා දිනය හා නියමිත මොහොත.
    2 ආහාර අනුභවය සදහා වූ නැකත
  2. ඖෂධ යුෂය භාවිතා කොට හිස සෝදා නෑමට සුදුසු නැකත.
  3. වැඩ ඇල්ලීම සදහා වූ නැකත
  4. රජුට තෑගි-භෝග පිරිනැමීමට සුදුසු නැකත ඇතුළුව නැකත් වට්ටෝරුව
    ( ඩේවි දුටු ලංකාව 159 / 160 පිටු )

සිංහලයාගේ නැකත් කෙළියේ අතිශයින්ම වැදගත් හා ආගමික අවස්ථාව වනුයේ “නොනගතය” බව පෙනේ. එය සාමාන්‍ය පිළිගත් බටහිර වේලාවට අනුව පැය දොළහකුත් මිනිත්තු අටකින් යුක්ත වේ. නොනගතයේ පූර්ව භාගයෙහි පින්දහම් කරන්නෝ අනිවාර්යයෙන්ම ගමේ තිබෙන විහාරස්ථානයට ගොස් මලක් පහනක් පූජා කොට ත්‍රිවිධ රත්නයේ ( බුද්ධ – ධම්ම හා සංඝ ) ආශිර්වාදය ලබාගැනීමට අමතක නොකරති. පසුව ඔවුහු උදාවන අලුත් අවුරුද්දේ නැකත් අරඹනු පිණිස සූදානම් වෙති.

බක් මාසයේ අසිරිය කෙබඳුද ?

විවින් විට අකුණු ( බක්මහ අකුණු ) සමගින් ඇඳ හැලෙන වර්ෂාව – ගහකොළ මලින් – පලින් බරව – කුරුල්ලන් කූඩු තනා බීජුලන – නවම් මහේ පුරන් කෙටීමෙන් “නවකම්” අරඹූ ගොවියා මැදින් මහේ මහ කන්නට වැපිරූ ධාන්‍ය අස්වැන්න නෙලන – අටුකොටු සහලින් පිරෙන – සිය පෙම්වත් කෙවිලිය කැඳවන්නට කොවුලා සුමිරි හඬින් ගීත ගයන – කැවිලි පෙවිළිවල සුවඳ දැනෙන – රබන් සුරල් දසත වැයෙන – එරබදු මල් පිපී හිනැහෙන – හැමගේ හදවත් සතුටින් දෝරේ ගලන – මේ භාග්‍යයමත් බක් මාසය කොතරම් අපේ ජීවිත් අලුත් කරත් ද ?
එරබදු මල් මොට්ටු මොට්ටු
අවුරුදදත් කිට්ටු කිට්ටු

සාමාන්‍ය සෑම අවුරුද්දකම බක් ( අප්‍රේල් )මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනු ලැබේ. සූර්යයා රාශි චක්‍රය ( පෘතුවිය ) වටේ පරිභ්‍රමණ වී අවසන් දින පරණ අවුරුද්ද කියා ද නැවත පරිභ්‍රමණ කරන දින අලුත් අවුරුද්ද කියාද සමරනු ලැබේ. මෙම සංවිධාන දෙක අතරතුර කාලය “නොනගතය”
( පුණ්‍ය-කාලය ) යනුවෙන් හැදින්වේ .

අලුත් අවුරුද්ද එළැඹෙන සමයේ එනම්, කොහා හඬින් පරිසරය කන්කළු වත්මන් ගැමියන් විසින් යම තමන්ගේ ගෙවල්-දොරවල් සුද්ධ-පවිත්‍ර කර ගනියි.
පරණ අවුරුද්දේ තම ඥාතීන්ට මෙන්ම අසල්වැසීන්ට කැවිලි – පෙවිලි යනාදිය යවනු ලැබේ. ගම්මානයේ ගෞරවනීය චරිත වන කෝරාළ – වෙද මහත්තයා – මුල්ගුරුතුමා හා වෙනත් ගරුකටයුතු චරිතයක් වෙත්ද බුලත් දී අලුත් අවුරුද්දට ආචාර – සමාචාර කිරීමට යයි.
දෙමව්පියන්ගෙන් යැපෙන කුඩා දරුවෝ වෙත්ද තම දෙමව්පියන්ගෙන් ඇදුම් – පැළදුම් ලැබ අලුත් අවුරුද්ද සැමරුමට සුදානම් වෙති. දීග-තල හෝ රාජකාරි සදහා බැභැරට ගොස් ඇති දුවා – දරුවෝ වෙත්ද අලුත් අවුරුද්ද වෙනුවෙන් තම දෙමාපියන් බැලීම විත් ඔවුනට තෑගි – භෝග දී තම යුතුකම් ඉෂ්ට-සිද්ධ කරති.
“නොනගතය” උදාවත්ම ගැමියෝ තම ගම්මානයට අයත්වූ පන්සලට ගොස් බෝධීන් වහන්සේ හා චෛත්‍යය රාජයාණන් වහන්සේ වැඳපුදා පසුව විහාරගෙට ගොස් පහන් පත්තු කොට මල්පූජා කොට බුදුන් වැඳ – පුදා ගනිති.
පසුව ආවාස-ගෙයට ගොස් නායක හාමුදුරුවන් හා සෙසු භික්ෂූන් වහන්සේලා බැහැදැක වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගනිති.
අලුත් අවුරුදු දා ලිප-ගිනි මෙලවීම හා ආහාර අනුභවය තම දෙමව්පියන් ප්‍රමුඛ පවුලේ උදවිය නැකට සිදුකරයි. එදින
ආහාර අනුභවයට පෙර දරුවෝ සියලුම දෙනා “බුලත් හුරුල්ලක්” පිළිගන්වා තම දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට වඳිති.
උදාවූ අලුත් අවුරුද්දේ ද ගැමියෝ පන්සලට දාන-මාන ( විශේෂයෙන්ම කැවිලි-පෙවිළිව ) රැගෙන නැවතත් බුදුන් වැඳ විහාරගෙට ගොස් අලුත් අවුරුද්දේ නායක හාමුදුරුවන් හා සෙසු භික්ෂූන් වහන්සේලා බැහැදැක බුලත් දී වැඳ ආශිර්වාද ලබා ගනිති.

අලුත් අවුරුද්ද උදාවී දින කීපයක් ගෙවීගිය කල්හි “හිසතෙල් ගෑමේ” නැකත උදාවේ. එදින ගැමියෝ තම දුවා – දරුවන් ද සමගින් විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ නැකතට තෙල් – ඇඹුල් යනාදිය මිශ්‍ර කොට සාදන ලද හිසතෙල් ගා අලුත් අවුරුදේ තම තමන්ගේ නිරෝගිමත්භාවය ප්‍රාර්ථනා කරති. පසුව ඔවුහු අලුත් අවුරුද්දේ හාපුරා කියා ස්නානය කරති.
ඊළඟට ( අවසනට ) උදාවනුයේ ” රැකී රක්ෂා සදහා පිටත්ව යෑමේ නැකතයි. එම නැකත එළෑඹෙත්ම ගැමියන් ත්‍රිවිධ – රන්නය හා දෙවි-දේවතාවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කොට කැත්ත – උදැල්ල රැගෙන විත් තම තමන්ගේ කෘෂි-කර්මාන්ත කටයුතු සදහා පිටත්ව යන්නේ ය.

මෙරට නවකතාවෙන් නිරූපිත අලුත් අවුරුද්ද කෙබඳුද ?

නවකතාවෙන් නිරූපිත අලුත් අවුරුද්ද අපට මුලින්ම හමුවනුයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත “ගම්පෙරළිය” – 1944 නවකතාව තුළිනි.
ගම්පෙරළිය නවකතාවේ කතා – සන්දර්භයට අනුව අලුත් අවුරුද්ද ආරම්භ වනුයේ 1904 දී බව පෙනේ. ඒ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ මහගෙදර කේන්ද්‍රගතව බව පෙනේ.
“අලුත් බත කන සුබ මොහොත පැමිණියේ දහවල් දෙක පසුවූ විටය.
සුබ මොහොත ළං වෙත්ම සාලයෙහි එළන ලද පැදුරු වල හිඳගත් මුහන්දිරම් ද බිරිඳ ද දරුවෝ ද ඔවුන් අසළ දණ ගසාගත් ගෙදර වැඩකාරයෝ ද වැඩකාරියෝ ද සුදු ඇතිරිලෙහි අනුභව කළහ. සුබ මොහොතින් කිරිබත් කෑ පසු වැඩකාරයෝත් වැඩකාරියෝත් නැගී කුස්සියට ගියහ. මුහන්දිරම් ද බිරිඳ ද හැර මහ ගෙදර අනික් සියල්ලන්ම අවුරුදු බත කැවේ තාන් රෙදි පිළි හැඳගෙන ය. අවුරුදු බත කෑමෙන් පසු ඔවුන් එදින ගත කළේ සෙල්ලමිනි.” ( 36 වැනි පිටුව ).

ගම්පෙරළිය නවකතාව පසුබිම් කරගෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ඵීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ගම්පෙරළිය – 1963 චිත්‍රපටයේ නාමාවලිය ද ආරම්භ වනුයේ කත්කාරයකු විසින් ‘ගලේ දෙවියන්” වැඳ නමස්කාර කොට මහ ගෙදරට නැවුම් වළං-කඳක් අරගෙන යන දර්ශනයකිනි.

වර්තමාන බක් මාසය කෙබඳුද ?
මවිසින් ඉහත සදහන් කරන ලද්දේ එදවසෙහි වූ මෙරට අලුත් අවුරුදු සිරියාවය යි. එදා වූ බක්මහ සිරිය වර්තමාන අපට සිහිකර ගැනීමට හෝ එමගින් හදවත පුරවා ගැනීමට හැක්කේ
අපේ ළමා – තාරුණ්‍යයේ පෞද්ගලික අත්දැකීම් මත පමණි. ඒ හැරුණු විට
අවුරුද්ද වස්තු – විෂයය කරගෙන රචිත
අවුරුදු ගීතයකින් හෝ දෙකක් ශ්‍රවණය කිරීමෙන් ද ඒහා සමාන නොවුනද තරමක හෝ අවුරුදු චමත්කාරයක් අපට
අත්පත් කර ගැනීමට පුලුවනි.

වර්තමාන අලුත් අවුරුද්ද අධි – පාරිභෝගික වෙළදපොළ ආර්ථිකය හමුවේ විවිධ වෙනස්කම්වලට ලක්වී ඇතත් සොබාදහම විසින් අලුත් අවුරුද්ද පිළිබඳව සුබ පණිවිඩය තවමත් එදා මෙන්ම කොහා හා සොබාදහම අප වෙත රැගෙන එන්නේ ය . එනමුත් අලුත් අවුරුද්ද රිසිසේ විඳගන්නට මෙරට බහුතර සමාජයට කිසියම් හෝ අවකාශයක් ඉතිරි වී ඇත්ද යන්න වර්තමානයේ අප සිතා බලනු වටී.

වර්තමානය වනවිට අලුත් අවුරුද්ද හුදෙක්ම අධි-පාරිභෝගික සමාජය තුළ වෙළද භාණ්ඩයක් බවට පත්වී ඇත්තේ ය . අපට සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව මතකයට නැගෙන්නේ එය මූලික කොටගෙන නිර්මාණය වන හුදු ගුවන් විදුලි හා රූපවාහිනී වෙළද දැන්වීම හා තුට්ටු දෙකේ නළු-නිළි කෑලි ගෙන්වා කරන බහුබූත රූපවාහිනී වැඩසටහන් මගිනි. කෙටියෙන් කිවහොත් වර්තමාන වනවිට කොහා හඬලන ශබ්දය ද අපට පළමුව ඇසෙන්නේ විද්‍යුත් මාධ්‍ය තුළිනි. ඒ වෙළද දැන්වීම් අරබයා “කොහාගේ හඬ”
යොදා ගැනීමෙනි. හැල්මේ දුවන අති- ධාවනකාරී සමාජයක ජීවත්වන අපට විවේක සුවයෙන් සොබාදහම රිසිසේ විඳගන්නට කිසිදු අවකාශයක් නැත්තේ ය. අලුත් අවුරුද්ද කියාපාන එරබදු මල් වර්තමාන දකින්නට නැත්තේම නැති තරම් ය. එහෙත් එරබදු මලේ සුන්දරත්වය ආකාරුණික ලෙස හූරාගන්නා විද්‍යුත් මාධ්‍යය එය ඉදිරියට දමාගෙන තම වෙළද පරමාර්ථය ඉතා සූක්ෂම ආකාරයෙන් පසුරා-ගන්නේ ය .

වර්තමානයේ වැඩිහිටියන් බවට පත්ව සිටින ඔබට හා මට “අලුත් අවුරුද්ද යන සංකල්පය හෝ එහි ආශ්‍වාදය” හදවතට නිරායාසයෙන්ම නැගෙන්නේ අපගේ ජීවිතේ විවිධ සංධිස්ථානයන්හිදී එය අප විසින් රිසිසේ විඳි ඇති බැවිනි. එනමුත් ඊට සාපේක්ෂව එවන් වූ හැඟීමක් විඳගන්නට මෙරට නූතන පරම්පරාවට කිසිදු අවකාශයක් නොමත. ඒ ඔවුන්ගේ ලෝකය ” සයිබර් අවකාශය” සමගින් ගෙවීයන බැවිනි. ඔවුන් ද අවුරුදු සිරිය දකින්නේ ද එසේම එය කෘතීමව හෝ විඳගන්නේ ද සයිබර් අවකාශය තුළිනි . කාලය හා අවකාශය විසින් සියල්ල උඩුයටිකුරු කර ඇත්තේ ය. එය නවතාලනු සක්කරයාටවත් බැරිය.
එවන් වූ වාතාවරණයක් හමුවේ අලුත් අවුරුදු සිරිත්-විරිත් තම තමන්ගේ ආර්ථික ශක්ති ප්‍රමාණයට අනුව සමරන පිරිසක් ද ඒවා මතු පරම්පරාවට ආරක්ෂා කරදීමට උත්සුක වන පරිසක් ද වාසනාවට මෙන් තවමත් මෙරටේ ඉතිරිව සිටීම සතුටට හා වාසනාවට කාරණාවක් යැයි මට සිතේ.
[මෙම සටහන ඔබේ දෙස් / විදෙහි ජීවත්වන දරුවන් හෝ මුණුබුරන් කියවන්නට අවස්ථාව උදාකර දෙන්න.]
සහෘද … ඔබ සැමට
සිරිසුබ සූර්යය මංගල්‍යයක් වේවා .!!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි