ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ දේශපාලන දෘෂ්ටිවාදයන් පරික්ෂා කෙරෙන ලිට්මස් පරික්ෂණයක් ද වේ.
මේ යුද ගැටුම විවිධ දේශපාලන දෘෂ්ටි කෝණයන්ගෙන් විමසා බැලිය හැකි අතර මෙහිදී ඉතාම සිත්ගන්නා සුළු දේශපාලනික තර්කාභ්‍යාසයක් (Reasoning exercise) ගොඩ නැගීමට අවශ්‍ය මාතෘකාවක් ඇත. එය මෙයයි. “රුසියාව යුක්රේණයට එරෙහිව යුද්ධයක් කරද්දී එය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් නොවීමටත්, ඊශ්‍රායලය සහ ඇමරිකාව ඉරාණයට එරෙහිව යුද්ධ කරද්දී එය ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීමක්“ වන්නේත් කෙසේ ද?යන්නයි.
රුසියාව විසින් යුක්රේණය ආක්‍රමණ කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති United Nations සම්මුතියට (UN Charter ) Article 2(4) අනුව වැරදිය. එයින් කියවෙන්නේ රටක් තවත් රටකට එරෙහිව යුද වැදීම හෝ ආක්‍රමණය වැරදි බවය. ඒ අනුව ඊශ්‍රායලය සහ ඇමරිකාවට ඉරාණයට කරන යුද්ධය ද එක්සත් ජාතින්ගේ Article 2(4) ට අනුව වැරදිය. රුසියාව මෙන්ම ඊශ්‍රායලය සහ ඇමරිකාව කරන්නේත් එකම වැරැද්දක් නම් ලංකාවේ වාමාංශිකයින්, ජාතිකවාදීන් සහ ඉස්ලාම්වාදීන් මේ දෙපාර්ශවය කෙරෙහි වෙනස් අදහසක් දෙකක් දරන්නේ ඇයි?
මේ ගැටලුව දෙස සියුම්ව බලනන විට පහත සඳහන් පැහැදිලි දේශපාලනික දෘෂ්ටිවාදය දැකිය හැකිය. ඇමරිකාව සහ සමස්ථ බටහිර ගැන නිසර්ග ප්‍රතිවිරෝධතාවක් ලංකාවේ වාමාශිකයින්, ජාතිකවාදීන් සහ ඉස්ලාම්වාදීන් තුළ දකින්නට ලැබේ. මේ නිසා බටහිරට පරසතුරු කවරකු ( ඒකාධිපතියකු, දේවධාර්මික අධිකාරිවාදියකු හෝ ෆැසිස්ට්වාදියකු වුවද) වුව ද පිළිගැනීමට, ඔහු පිළිබඳ දේශපාලන අනුරාගයෙන් පෙළීම මේ අයගේ ලක්ෂණයයි. මේ නිසා ජාත්‍යන්තර නීතියට පටහැනි වුව ද පුටින්ගේ යුක්රේණ ආක්‍රමණය යුක්ති සහගත කිරීමට මේ පිරිස නොපැකිලෙයි. අනෙක් අතට මේ දේශපාලන දෘෂ්ටිවාදය නිසා ඇමරිකාවට-බටහිරට එරෙහි ඉරාණය සමග සිට ගැනීමට ද නොපැකිලෙයි. එහිදී ඉරාණය යනු මුල්ලාවරුන්ගෙන් සමන්විත අධිකාරීවාදී ආගමික අන්තවාදී රෙජීමයක් ( theocratic authoritarian regime) ද? නැද්ද? එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ද යන්න වැදගත් නොවේ.
කිසියම් රටක් ස්වෛරී රටකට තර්ජනයක් වී ඇත්නම් අනුගමනය කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික භාවිතාවන් සහ ජාත්‍යන්තර නීතිය කුමක් ද?
අනතුරට ලක්ව ඇති, අවදානමට ලක්ව ඇති රාජ්‍ය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ( UNSC – United Nation Security Council) පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු එය විවාදයට ගැනෙන අතර අනතුරුව පැමිණිල්ල පරික්ෂාවට ලක් කෙරේ. අනතුරුව ආරක්ෂක කවුන්සිලය විසින් යෝජනාවක් සම්මත කරන අතර නමුත් එය පළමුවෙන්ම හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා නොවේ. පළමුව ක්‍රියාත්මක වන්නේ සම්භාදකයි ( Sanction) . අවසන් විසඳුම හමුදා ක්‍රියාමාර්ගයයි ( Using Military Force). මේ ක්‍රමවේදය නොසලකා වුව ද කිසියම් රාජ්‍යයටක සුවිශේෂ සාධාරණ තත්වයන් යටතේ ආත්මාරක්ෂාව ( Self defense) උදෙසා ආසන්න යුද තර්ජනයක් ( Imminent war threat) වැලැක්වීම හෝ අනාගත තර්ජනයක් වැලැක්වීම උදෙසා පූර්වා භංග ප්‍රහාරයක් ( Preemptive) හෝ අනාගත තර්ජනයක් වැලැක්වීමේ ( Preventive) ප්‍රහාරයකට යා හැකිය. නමුත් මේ තත්වයන් සංකීර්ණ සහ විවාද සම්පන්නය. මෙය වෙනම සාකච්ඡා කළ යුතුය.
ජාත්‍යන්තර නීතිය අනුව යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නට යන විට පැන නගින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයින් වන ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ චීනයේ නිෂේධ බලයයි ( veto power). යම් හෙයකින් ආරක්ෂක කවුන්සිලයේ බහුතරයක් විසින් රුසියාවේ යුක්රේණ යුද්ධයට අනුමැතිය දුන්නා යයි සිතමු. එහෙත් එය අනිවාර්ය යෙන්ම යුක්රේණයට පක්ෂ ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය විසින් සිය නිෂේධ බලය යොදා නවත්වනු ලැබේ. මේ තත්වයම ඊශ්‍රායල-ඉරාණ යුද්ධය ආශ්‍රයෙන් හට ගනී. ඊශ්‍රායලයේ යුද ක්‍රියාමාර්ගය ආරක්ෂක මණ්ලයේ බහුතර අනුමැතිය ලැබුනත් එය නිසැකවම ඉරාණයට පක්ෂ රුසියාව සහ චීනය සිය නිෂේධ බලය යොදා වලක්වනු ලැබේ.
අනෙක් අතින් ඉරාණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ ක්‍රියාමාර්ග වලට දශක හතරක පමණ කාලයක් තිබේ. දැන් පවතින යුද්ධය ක්ෂණිකව ඇති වූවක් නොවේ. ඇමරිකාව මුලින්ම ඉරාණයට සම්භාදක පනවන්නේ 1979 දී ( ඉරාණ ඉස්ලාමීය විප්ලවයෙන් අයතුල්ලා කමේනි බලය අල්ලා ගැනිමෙන් පසු) වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලින්ම ඉරාණයට සම්භාදක පනවන්නේ 2006 වසරේ දීය. 2015 දී බැරැක් ඔබාමා ඉරාණය සමග න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳව ගිවිසුමකට එළඹෙමින් ඉරාණයට සාමකාමී මාවතක් විවර කර දෙන්නට ගත් උත්සහය අමතක කළ යුතුය.
නමුත් රුසියාව යුක්රේණය ආක්‍රමණය කිරීම සම්භන්ධයෙන් මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික හෝ ජාත්‍යන්තර නීති සලකා බලන තත්වයකට යන්නේ නැත. ජෝර් ජියාව සහ යුක්රේණයට අයත් ක්‍රිමියාව ආක්‍රමණය කොට අල්ලාගත් ආකාරයෙන්ම රුසියාව යුක්රේණය ආක්‍රමණය කොට එහි කොටසක් අල්ලාගෙන යුද්ධයේ නියැලී සිටී. එමෙන්ම යුක්රේණය රුසියාවට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා යයි කියන්නට හෝ ඔප්පු කරන්නට තරම් සාධක රුසියාව සතුව තිබුනේ ද නැත. යුක්රේණය නේටෝවේ සාමාජිකත්වය ගන්නට යනවා යයි කියූ චෝදනාව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළි නොගත් එකකි.
නමුත් ඊශ්‍රායලය ගත් විට 1979 ඉරාණයේ අයතුල්ලා කමේනිගේ දේවධාර්මික රාජ්‍ය බිහිවුදා පටන් සෘජු සහ වක්‍ර තර්ජනයන්ට ලක් වී සිටී. ඉරාණ රෙජීමයේ නායකයා ද ජනතවා ද නිරන්තරයෙන් ඊශ්‍රායලට මරණය ( Death to Israel) කියමින් ඝෝෂා කරන විට ලෙබනනයේ හිස්බුල්ලා, යෙමනයේ හුතී සහ ඊශ්‍රායලයේ හමාස් ඇතුළු තවත් ඉස්ලාමීය සන්නද්ධ ආගමික කණ්ඩායම් ඊශ්‍රායලයට එරෙහිව යොදවමින් සිටී. ඊට අමතරව ඉරාණය පැහැදිලිවම දිගු දුර මිසයිල සෑදීමේ අඛන්ඩ ව්‍යායාමයක යෙදෙන අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමුණු බලශක්ති ඒජන්සිය (International Atomic Energy Agency (IAEA)ට වෙට්ටු දමමින් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වල ද නියැලී සිටී.
යම් හෙයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද පිළිගත් ආත්මාරක්ෂාව යන සාධකය මත පහර දුන්නත් රුසියාව සහ ඊශ්‍රායලය ගත් විට සත්‍ය වශයෙන්ම අනතුරට ලක්ව ඇත්තේ ලෝකයේ එකම යුදෙව් රාජ්‍ය වන, මුලු අරාබි භූමි ප්‍රමාණයෙන් සියයට 0.3 ක ඉඩක පිහිටා ඇති වසර 3000 ක් තිස්සේ අනෙකාගේ වාර්ගික සංහාරයට ලක්වූ යුදෙව්වන් සිටින ඊශ්‍රායලයයි. මේ යුද්ධය වනාහී ඊශ්‍රයලයේ පැවැත්මේ අයිතිය ( Right to Exist) අනතුරට ලක්වීම සම්භන්ධ එකකි. එමෙන්ම ඉරානයේ ඉදිරිවාදිකම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මුලින්ම යෝජනා කළ ඊශ්‍රායලය සහ පලස්තීන ද්වි රාජ්‍ය විසඳුම ( Two State Solution) අනතුරට හෙලන එකකි.
රුසියාව යුක්රේණය ආක්‍රමණය කරන්නේ එහි භූමියෙන් කොටසක් අල්ලා ගැනීමටය. ඊශ්‍රායලය සහ ඇමරිකාව කරන්නේ දේවධාර්මවාදී අධිකාරිවාදී ඉරාණ රෙජීමය ඉවත් කිරීම සහ ඒ තුළින් ඉරාණයෙන් ඇති තර්ජනය මගහරවාගැනීමට යුද්ධ කිරීමය.
රුසියානු-යුක්රේණ යුද්ධය සහ ඊශ්‍රායල- ඉරාණ යුද්ධය ගත් විට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීතිය රුසියාව මෙන්ම ඊශ්‍රායලය විසින් ද කඩ කර ඇත. නමුත් ලංකාවේ පුටින් සහ රුසියානු අනුරාගයෙන් පෙළෙන ඇතැම් වාමාංශිකයින් ( Leftists) , ජාතිකවාදීන් ( Nationalists) සහ ඉස්ලාම්වාදීන් ( Islamists) පුටින් අ ද ජාත්‍යන්තර නීතිය කඩ කළ බව කියන්නේ නැත. එහෙත් මැද පෙරදිග යුද්ධය ගත්වි ට ඇමරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය කඩ කර ඇති බව කියයි. කුමක් ද මේ දෙබිඩ්ඩ, කුමක් ද මේ දේශපාලන භාවිතාව?
අතුල දිසානායක
2026.03.14

