ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම් කරමින් ගාසාවේ විදියටම මිනිසුන් සංහාරයට ලක්කරමින් ඊශ්‍රායලය සහ ඇමරිකාව අරන් යන ‘පරණ පොතේ සෙල්ලම’ ගැන කතා නොකර ඉන්න පුළුවන්ද? මම ආවේ වෙනත් මාතෘකාවක් ගැන කතාකරන්න උනත් මේ අවස්ථාව මම යොදාගන්නේ මේ මිනිස් ඝාතන ගැන කතාකරන්න.
ටෙහ්රාන්, ඉස්ෆහාන්, බේරූට් වගේ ලෝකේ ලස්සනම නගර ගිණිජාලා වලින් වැහිලා යනකොටත් ඒවා ගැන කතානොකර ඉන්න පුළුවන් කාටද?
හැබැයි ඉරානය කියන්නේ ගාසව නෙවෙයි….
මේ දිගහැරෙන යුද නාට්‍යය විසින් මේ මුළු ලෝකයම යම් මොහොතක ගිලගන්න පුළුවන්. අප ඉන්නේ න්‍යෂ්ටික යුද්දයක එළිපත්තේ. ලෝක ආර්ථිකය තියෙන්නේ බිඳවැටෙමින්. වරෙක හිරෝෂිමා නාගසාකි වලට න්‍යෂ්ටික බෝම්බ අතහැරිය උං දැන් ලෝකයේ ඉපැරණිම ශිෂ්ටාචාරවල නගර මතට එවන් බෝම්බ හෙළීමට අධිෂ්ටාන කරගෙන. අනෙක් දේවල් වෙනත් වෙලාවක කතාකරමු. නමුත් දැන් මම ඉරානය පැත්තේ සිටගන්නවා. කොන්දේසි විරහිතව. එක්සත් ජනපදය වේවා, ඊශ්‍රායලය වේවා, වෙනත් ඕනෑම රටක වේවා බලයේ සිටින රෙජීමයක් වෙනස් කළයුතු නම් ඒ ඒ රටවල මිනිසුන් එසේ කළාවේ. ඔළුව ඉදිමුණු, චාටු, බොරුකාර, බලකෑදර, සම්පත් සූරාකෑමට ඉවඅල්ලන, බෝම්බ දමන අධිරාජ්‍යවාදීන් සහ උංගේ හවුල්කාර බලමුළුවලින් ලෝකයට අයුතු බලපෑම් කරන උංට අපි දන නොනැමිය යුතුයි.
මේ අයුතු බලපෑම් හමුවේ ඉරානය එයට මුහුණදෙමින් ඉන්නවා. ඊට සාපේක්ෂව ඉන්දියාව ඉන්නේ කුදු ගැහිල. අපේ ආණ්ඩුව මෙතරම් පිටකොන්ද කඩාගැනීම ගැන මට ඇත්තටම ලැජ්ජයි. මීට කලකට ඉහත අපි දුප්පත් මිනිසුන් හිටිය දුප්පත් රටක්. හැබැයි අපිට ආත්ම අභිමානයක් තිබ්බ. අද අපි පොහොසත් රටක්. හැබැයි අර දුප්පත් මිනිසුන්ගේ දුප්පත්කම විරැකියාව තවමත් එහෙමම. හැබැයි ඇත්ත අහාර වෙනුවට දැන් කන්න දෙන්නේ වෛරය, ක්‍රෝධය, බොරු සහ විෂ. අපේ ආත්ම අභිමානය දැන් නැහැ. අපේ ධෛර්යසම්පන්න බව දැන් නැහැ. ඒවා දැන් තියෙන්නේ අපේ සෙලුයිලොයිඩ් චිත්‍රපටිවල විතරයි.
වෙනත් රටක නායකයෙක් මහ රෑ නිදිඇඳෙන් පැහැර ගන්නකොට ඒකට විරුද්ධවෙන්න බැරි පාලනයක් නම් අපි පත්කරගෙන තියෙන්නේ අපි කොයි වගේ මිනිස්සුද? ඒ දේම අපිට උනානම්? අපි ඒකට කැමති ද?
අපේ රටේ නායකයා තකහනියේ ඊශ්‍රායල් ගිහිල්ල බෙන්ජා (යෙදුම මගේ) බදාගෙන හිටියේ ඉරානයට පහරදෙන්න දවස් කීපයකට කලින්. මොකක්ද ඒ පණිවිඩය?
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය වැරදියි කියල එයාලගේම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලාට පස්සෙත් අපේ ආණ්ඩුව අපේ ගොවියන්ගේ ගොවි නිෂ්පාදන සහ රෙදිපිළි උත්පාදන අවාසිදායක ලෙස උංටම පාවලා දෙනවා නම් ඒ මොන විදියේ ආණ්ඩුවක් ද?මොකක්ද ඒකෙ අර්ථය? දැන් කියනවා අපේ රටට රුසියාවෙන් තෙල් මිළදී ගන්න ‘අවසර දෙනවලු’? තව මොනවටද අපිට අවසර ඕනි? වැසිකිලි යන්න? සෝදාගන්න? නිවාඩුවක් ගන්න? අම්මල තාත්තල බලන්න යන්න?
දිනපතා ට්‍රම්ප් අපිව ප්‍රසිද්ධියේ තුට්ටු දෙකට දාල කතාකරනවා. හෙලා දකිනවා. අවමන් කරනවා. අපේ නායකයා හැමදාම එයාගේ පුරුදු අවමන් සහගත හිනාව දානවා. ගාසා සමූලඝාතනය වෙලාවේ ඊශ්‍රායලය එලියට දාපු පලස්තීන කම්කරුවන්ට හිලව් වෙන්න දුප්පත් ඉන්දියානුවන් ඊශ්‍රායලයේ මෙහෙකාරකමට යැව්වා. අද ඊශ්‍රායල්කාරයෝ බෝම්බවලින් ගැලවෙන්න බංකර් යටට යනකොට අර ඉන්දියානුවන්ට එහෙම රැකවරණ දෙන්නේ නැහැ. මොන මඟුලක්ද මේ වෙන්නේ? ලෝකයේ මෙතරම් ලැජ්ජාසහගත, අප්‍රසන්න, නිවට සහ ජුගුප්සාජනක තැනකට අපි ඇදදැමුවේ කවුද?
මට මාවෝගේ යෙදුමක් මතක්වෙනවා. ඒ තමයි ‘අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ’ කියන එක. ස්වාමියා දඩයමේ යනකොට බල්ලෝ ටික ඉස්සරහින් පස්සෙන් දුවනවා. මේ යෙදුම අපිට තමයි දැන් හරියන්නේ. දැන් කොහෙද වීරයෝ ඉන්නේ? දැන් වීරයෝ නැහැ. දැන් ඉන්නේ දඩ බල්ලෝ. දැන් ඉන්නේ සෙලියුලොයිඩ් වීරයෝ. අපේ විෂ පිරුන ටොක්සික් චිත්‍රපටි වල. උං තමයි යුද්ද දිනන්නේ. එකකින් පස්සේ එකක් විදියට. අත්වල මාංශ පේශි විතරයි. මොලේ මුකුත් නැහැ. අපේ ලේ පිපාසෙ සංතෘප්ත වෙන්න හරියන ප්‍රචණ්ඩත්වය දෙන්නේ උං. උංගේ මොළේ තියෙන්නේ අශූචි….
මහේෂ් හපුගොඩ
(ප්‍රකට ඉන්දීය ලේඛිකාවක් වන අරුන්දතී රෝයි ලොව අදහස් ප්‍රකාශ කිරීමේ නිර්භයම කාන්තාවක් ලෙස සැලකේ.)

