අපේක්ෂා දනවන කවියකුගේ ආගමනය.
මෙතෙක් අන් විවිධ මාධ්‍යවලින් අපට මුණගැසුණ ළහිරු දෙද්දුවකුමාර කවියා, දැන් සිය ප්‍රථම කාව්‍ය එකතුව පාඨකයන්ට පිරිනමමින්, කතුවරයකු ලෙසම කවි ලොවට හිස පොවා ඇත.
“සංස්පර්ශ” අප වෙත එනුයේම , අත්පිටපතක් ලෙස පූර්ව විනිශ්චයක් හා ඇගයුමක් සහිතවම නිසා විචාර අවැසිද කියාත් සිතේ. ඒ, එම අත්පිටපත කළුතර දිස්ත්‍ර්ක් ලේඛක සංවිධානයේ ‘ පන්හිඳක අසිරිය’-2024 තරගාවලියේ විශිෂ්ටතම කාව්‍ය සරණිය ලෙස සම්මානය දිනා ඇති බැවිනි.
එසේ වුව, විචාර අවැඩක් නොව වැඩක්ම සදන හෙයින්, මෙකව් ගැන විමංසනයක් කිරීමට දැනුම් පමණින් වෑයම් කරමි. සියල්ලම නොවෙතත්, මෑත පළ වූ කවි පොත් යම් තරමක් හෝ කියවා ඇති මට , සාර්ථක පළමු කෘතියක් ලෙස දැනවීමක් ඇති කළ “සංස්පර්ශ” කාව්‍ය සමුච්චය සනිටුහන් කරන , සද් ලක්ෂණ කීපයක් පළමුව දක්වමි.
1.ආධුනිකත්වය ඉක්මවාම කෘතියකට එළඹීම. –
කවිත්වයට අදාළ සියල් අංශයන්ගෙන්ම , ළහිරු ආධුනිකත්ව සීමා පසු කොට පැමිණ ඇති බව සුපැහැදිලිය. ඔහුගේ නිරීක්ෂණය සියුම්ය, දෘෂ්ටිය පුළුල්ය, කාව්‍යාත්මක ප්‍රකාශනය ගැඹුරුය. නිර්මාණකරුවකුට අනුචිත අධිවේගිබවින් මිදුණු එය වටිනා ඉවසීමකි.
2.නිර්මාණවල සංක්ෂිප්ත ගුණය ඉහළින්ම රැකී තිබීම.
කවියා ,සංස්කරණයට හා යලි යලි කියවමින් නිර්මාණ පොහොණි කරගැන්මට නිර්ලෝභ වී, නිර්භය වී ඇති බව පිළිගත හැකිය. ඔහු අනවැසි, අරුත් සුන් හෝ සක්ක වන හෝ පද කිසිවක් තබා නැත.
3.ප්‍රකාශනයේ ව්‍යක්ත, විධිමත් ,නිරවුල් ස්වභාවය.
ළහිරු , සිය අමු, රළු, මූලික අත්දැකීම තමන්ටම පැහැදිලි කරගැනීම, එයින් කවියට ගෙන ආ යුතු දෙය, ප්‍රමාණය හා මාදිලිය තීරණය කිරීම, ප්‍රකාශනයේ පිළිවෙළ සංවිධානය කරගැනීම යන නියමයන් පිළිබඳ දැනුම්වත් කවියකු බව නියතය.
4.කවිබස යනු කෙබන්දක්දැයි මැනවින් දැන, තමන්ට අනන්‍ය වූ කවිබසක් නිපදවාගන්නට එඩිතරව තීරණය කර තිබීම.
කවිබස යනු විවාදාත්මක ප්‍රපංචයක් මිස සම්මත අච්චුවක් ඇති යමක් නොවේ. එය එසේ විය යුතුත් නොවේ. මන්ද, කවියකුගෙන් කවියකුට, කවියකින් කවියකට බස වෙනස් විය හැකි හා යුතු බැවිනි. මෙහිදී ළහිරු කවියා, මෙකල ආධුනිකයන් කෙරෙන් බෙහෙවින් දක්නට ලැබෙන කතන්දර ශෛලිය, දෙබස් ශෛලිය, සරල කථන බස භාවිතය ආදී රැලිවලට සේන්දු නොවී රිද්මය, විරිත්, රස නිෂ්පත්තිය, සුඛාවබෝධය යන කවියට අදාළ සිද්ධාන්තයන් සුරකිමින්, පිළිගත හැකි, අගය කළ හැකි, සාර්ථක බසක් දැනුම්වත්ව සකසාගෙන ඇත.
එකී සාධනීය ලක්ෂණ ගැබ වන, මා වඩාත් ඇලුම් කරන කවි පෙළ කීපයක් , කෙටි නිරීක්ෂණ සහිතව දැන් ඉදිරිපත් කරමි. ඒවා ඉහත එන කරුණුවල විෂයයට හෝ අනුපිළිවෙළකට හෝ වෙන්ව නොගළපා පොදුවේ සැලකිය යුතුය. තවද, පොතේ පෙරවදනින් සුනන්ද කරුණාරත්න කවියාගේ විවරණයට බඳුන්ව ඇති රචනා මා ඕනෑකමින් අත් හල බවද කිය යුතුය..ඒවාද හොඳම නිර්මාණ බව පමණක් කියමි.
‘ විදුම් විඳවුම්’
කෘතියේ පළමු කවියයි.ඉපැදුණු පසු දෙගුරුන්, ගුරුන්, ආගමින් හා සමාජ පාර්ශ්වයන් විසින් උගන්වනු හික්මවනු, විනයගත හා රාමුගත කරනු ලබන මිනිසාට ලෝකාවබෝධය සහිත වියපත් දිවියේදි පවා සිය රුචින්, අභිලාෂයන් සාක්ෂාත් කරගන්නට ඒ මානසික බන්ධනය බාධා කරන අයුරු සියුම්ව පෙන්වන නිමැවුමකි.
තෝරා දුන්නේද
ඔවුන්මය
ඒ ඒ ඉලක්කයට
අවැසි හීතලය
…………………
මැදිවියද පසු කොට
වෙව්ලන අතින්
මානමි හීතල තවම
ඉලක්ක මතටම
පසෙකලා
ඉඳ හිටවත්
නිදැල්ලේ
මුදාලනු රිසි සිහින.
‘ බුදු පිටපත්’
පිළිම වන්දනාවට ලොල් මිනිසුන් සපිරි රටක, ඒ අන්ධභක්තිය ව්‍යාපාරිකයන් අත ඉල්ලමක් හා විකෘතියක් වන සමාජ ඛේදය මෙකවියේ සාරයයි.
තනති උහු
බුදුපිළිම තොග
ෆැක්ටේරි තුළ
බහා රිසි රිසි අච්චුවල
යතිවර රජ මැතිඳු
නොමඳ ආශිර්වාද මැද
……………………………
අහා! මනරම්ය
මේ පිළිම
දිවමන් බුදුන්
හමු වූ වැනිය
……………….
තනත් උහු
බුදු පිටපත්
තව තවත්
තව තවත්
8වැනි කවිය( මැයක් නැත)
ගැහැනියකට සිය නිවහන මුළු ලෝකය වෙද්දී , පිරිමියකුට ලෝකය වන්නේ බාහිර ලෝකයම බවට ප්‍රවාදයක් ඇත්තේය. පිරිමියකු උගතකු වන විට එය තවත් බරපතළ විය හැකිය. එබන්දකුට, ‘ මේකට වතුර චුට්ටක් දාන්න විතරයි ඔයාට තියෙන්නෙ’ කියා මිතුරියක තෑගි කළ පැළයකට අත් වූ ඉරණමයි මෙකව ගෙන එන්නේ.
……………………………….
පසුතැවිල්ලක් සිත පෙළුවද
දියවර සපයමියි සිතුවද
සැණින් අමතක වී එය
ලැගුම් ගනියි මනසේ
විශ්වයේ නොවිසඳුණු ප්‍රශ්න
නිති වැසි වැටෙන පෙදෙසක
පතොක් පැළයකි මේසයක් මත
දිය බිඳක් යදින
10වැනි කවිය( මැයක් නැත)
මැය වෙනුවට මේ නිමිත්ත ඇත.” ඩොට්ට නෝනට මං අද වෙරළු අච්චාරු ටිකක් ගෙනාවා”. දොස්තර නෝනාට මේ වෙරළු අච්චාරු ගෙනෙනුයේ සැබැවින්ම රෝගිනියකද, සේවිකාවකද, අසල්වැසියකුද යනු පැහැදිලි නැතත් එය ගැටලුවක් නොවේ.වැදගත් දෙය, සමාජ තල දෙකක වන ගැහැනුන් දෙදෙනා ඒකාත්ම වන අයුරු කවියා සියුම්ව දැකීම හා එය අපටද කීමය. එය අපට ජීවිතය පිළිබඳ බොහෝ දෑ කියන්නකි.
……………………
බුලත් කහටෙන් සිත්තම් වුණු
දසන් විහිදා මවෙත
නාය ගිය කොපුල් අතරින්
සොලවයි ඉක්බිති ඈ
ජීවිත බෙලිකටු මල්ල
වැටෙයි උණු කඳුළක්
ඉඳ හිට මේසය මතට
දිග කතා අතර තුර
විටෙක හමු වෙයි අප දෙදෙන
එකම සම බිමක
දිසෙයි ඈ දෙනෙතේ
මා පිළිඹිබුව
ගෑනු හිත් දෙකක්
සිහින් හුයකින්
යා වෙන මොහොතක
කුමක් සිදු වේද?
මෙම කව කියවා සිටියදී, 2025 නොවැ.28 ‘අනිද්දා’ පත්‍රයට සංහිතා පතිරණ ලියා තිබූ “විෂ හිතවත්කම්” නම් ලිපිය කියවන්නට ලැබීම අහඹුවක් වුවද ඒ දෙකෙහිම විෂයය එකය. යහපත් ලෙස ඇරඹෙන සම්බන්ධයක් අයහපත් වූ විට සිදු විය නොහැක්කේ කුමක්ද? ,මෙය අප කාටත් අදාළ අත්දැකීමක් නොවේද?
අර පෙනෙන ගස
සිප වැලඳ
හෙමි හෙමින්
ඉහළට ඇදෙන
ඒ කුඩා වැල
පෑහෙයිද
ගස සමඟ
මතු දිනෙක
…………………..
නොඑසේ නම්
පරපුටුවකු විලස
මඳින් මඳ
තද කරයිද
තුරු බඳ
බැඳි වෙළුම?
…………….
ඉක්බිති
එක් තීරාණාත්මක
මොහොතක
සිඳලයිද
පණ නල
27වැනි කවිය( මැයක් නැත )
අනියම් පෙම නම් සුලභ සංකල්පය , නවමු අනුභූතියකින් ගෙන එන අපූර්ව පබැඳුමකි.රූපවාහිනියෙන් දකින දේශපාලනඥයකුගේ පෞරුෂයට ඇලුම් උපදවාගත් බිරියක් , ඒ දේශපාලනඥයාගේ අකල් මරණය අසා හර්දයාබාධයකට ලක්ව රෝහල්ගත වීම සැමියාගේ කථනයෙන් කීමකි.
………………………..
ඇද වැටුණු බව ඒ ගස
ලැබුණු පසු එපවත
ලොවි පැහැ දෙනෙතකි
මා දෙනෙත මඟ හල
චිතකයෙන් ගිලිහී
පුංචි තිරයෙන් විසි වුණ
ගිනි පුලිඟුවක්
දවයි හදවතක්
මා නමින් කිසි දින
නොදැල්වුණ
“පශ්චාත්තාප”, “අගුළුලමි” , “සුඟක්” , ” නිමි ඇඳුම”, “වස වැරැද්දක්” ,මැයක් නොමැති 33 වැනි කවිය, ” ක්ලෙප්ටොමේනියා “, ” හප” ” පැලැස්තර” හා මැයක් නොමැති 39 වැනි කවිය යන කවිද මට වටනා නමුත්, සියල්ල ගෙන හැර පෑව හොත් ඔබ පොත නොකියවන්නට ඉඩ ඇති නිසා ඒ අලාභය කවියාට සිදු නොකොට ලියැවිල්ල මෙපමණකින් නිම කරමි.
දේ . වි. ගාල්ලගේ

