තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

Share post:

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ යුගයේ ම ශ්‍රී රාහුල, වෑත්තෑවේ, වීදාගම මෛත්‍රී ආදී යති වරුන් සිටි බව අපි දනිමු .

එහෙත් නූතන කවිය ගැන මඳක් සිතමු. මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ,ආරියවංශ රණවීර මංජුල වෙඩිවර්ධන, ලක්ශාන්ත අතුකෝරල, නඳුන් යසිත දසනායක ,ඉසුරු චාමර සෝමවීර රුවන් බන්දුජීව, අනුරාධා නිල්මිණී, සුහර්ෂණී ධර්මරත්න, කල්පනා ඇම්බ්‍රෝස් වැනි කවිකිවිඳියන්ගේ නම් මට එක්වර මතකයට එයි. මේ නම් අතර තවත් නම් තිබිය හැකිය.එහෙත් මේ නම් මතකයට එන අතර මතකයට එන එකම භික්ෂුවකගේ නමක් වත් ඇද්දැයි දෙතුන් වරක් සිතිය යුතුය . කෝ .ආනන්ද, අපරැක්කේ සිරිසුධම්ම වැනි නම් කෙනෙකුට සාහිත්‍ය ඇසුරේ හුරුපුරුදුකමක් තිබෙන්නට පුළුවන .භාෂා හයක් ගැන ගැඹුරු අවබෝධයක් ඇති භික්ෂුවක් ලෙස සැලකෙන තොටගමුවේ ශ්‍රී රාහුල ගැන ලියනගේ අමරකීර්ති පසු ගිය සැප්තැම්බරයේ කරන ලද රාජ්‍ය සාහීත්‍ය උත්සවයට සමගාමීව පැවැත් වූ දේශනයේ දී ද සඳහන් කරන ලදි. එබඳු පසුබිමක භික්ෂූන්ගේ දායකත්වය මේ මොහොතේ කවිය වෙත ලැබෙන ආකාරය ගැන සැලකිලිමත් වීම වැදගත් දෙයකි. දෙවරක් පෙරූ පිරිත් පැන් කාව්‍ය සංග්‍රහය ලියූ තැන්නේ ඤානානන්ද හිමි පන්සලේ මල් සරා නමින් කාව්‍ය සංග්‍රහයක් අප වෙත රැගෙන එන්නෙ එබඳු පසු බිමකය. මේ හිමියන්ගේ කවි කියවන විට අබියෝග දෙකක් මා අබියස පැන නගියි. භික්ෂුවක් යනු කවුද? ඔහුගේ ඇවතුම්, පැවතුම්, ලිවීම් කෙබඳු විය යුතු ද? කවියෙක් යනු කවුද? ඇත්තෙන්ම කවිය යනු කුමක්ද? එහෙත් මේ ප්‍රශ්නවලට සරල මතික පිළිතුරු ඇතැයි මම නොසිතමි. ඒවා ගැඹුරින් සංවාදයට ගත යුතු මාතෘකාය. උසස්පෙළ ළමයින් සිංහල පන්තියකට ඇද ගැනීමට යොදා ගන්නා අලංකාර වචන මගින් අල්ලා ගත හැකි සංවාදයකට එහා යන දෙයකි එය .

බෞද්ධත්වය අද දවසේ ප්‍රකාශයට පත් විය යුත්තේ කෙසේද යන්න ගැන පමණක් නොව වාම දේශපාලනය අද දවසේ ප්‍රකාශයට පත්විය යුත්තේ කෙසේද? යන්න ගැන සැලකිය යුතු සංවාදයක් සමාජය වෙත ගෙන ආ ලියනගේ අමරකීර්ති මේ කෘතියට සපයන පෙරවදන තැන්නේ හිමියන්ගේ කවිය වටහා ගන්නට වැදගත් වෙයි .

මේ කෙටි කවිය ඊටත් වඩා රමණීය නොවේ ද?
නුඹ සිරිපා
තබා ගිය මළුව
සිඹ අතුගා දමමි
සිතින් ගොළුව “
(ලියනගේ අමරකීර්තිගේ පෙරවදනෙන්)

නිතර පන්සලට එන යුවතියකගේ පාසලකුණක් මිදුලේ දැකීමෙන් ලියවෙන මේ කවිය වෙත ‘ සිරිපා’ යන වචනය රැගෙන එන්නට උන්වහන්සේ නොපැකිලි වීම ගැන පෙරවදනේ දී අමරකීර්ති කතා කරයි.

ගලගොඩ අත්තේ ඥානසාර, අම්පිටියේ සුමන වැනි අය දොඩවන වහසිබස් ඉවසන සැදැහැවත් බෞද්ධයින්ගේ කෝපය තමාගේ කවි වෙත සහසික වීමේ අබියෝගය තමන්ට ජය ගත යුතු බව දන්නා තැන්නේ හිමියන් ඒ සඳහා අවශ්‍ය නිර්භීත බව ද ගොඩ නගාගෙන සිටියි. පුස්තකාල සේවාමණ්ඩලය ද පන්සලේ මල්සරා යන නම වෙනස් කිරීමට යෝජනා කළ බව උන්වහන්සේගේම වීඩියෝවකින් අපි ඇසූ වෙමු . කවුරුන් සමග හෝ කළ සංවාදයක දී ‘බොදුබල සේනා’ හදන්නට තිලංග සුමතිපාල සල්ලි පොම්ප කළ බව ද තැන්නේ හිමියන් නිර්භීතව කී හැටි ද මතකය . අපේ සමහර බෞද්ධයන් සිතා සිටින්නේ අර හිමිවරු බුධ්ධාගම සුරැකීමට කැපවූ භික්ෂූන් ලෙසය . ඒ හිමිවරුන් පිටුපස ඇති අගතිගාමී දේශපාලන න්‍යාය පත්‍රය ඔවුහු නොදකිති නොඑසේ නම් දැන ගෙන මුනිවත රකිති.

තැන්නේ හිමියන්ගේ කෘතියේ එන තරමක් දිගු රචනයක් පහතින් දැක්වේ.

පිරිවෙන ළඟ පරවෙන මල

මා තෙමා ගිය පාතිමාවිය
රම්‍ය ,සුරම්‍ය,සුබ
තරම්‍ ය මට නුඹ

මා ළඟා කරගත්
මාලිගා කවදත්
හැර ගියත්
අතැර නොයමි
නිතර සොයමි

විහාරෙදි ලිහා රෙදි
සඳක් මඳක් වැතිරුණා
මී වදයක් මිරිකුණා
ඩිල්පදයක් හිනැහුණා

මහණ වුණු පහන පිරිනිවුණා
සල් වනේ මල් සෙලවුණා

හඳුන්කූරක් දැල්වුණි
දෙව බඹුන් සාදු නද දුණි

ඔච්චර සෙමින් ඇයි කොඳුරන්නේ
අඳුර නැත අප අඳුරන්නේ

කන්ථක ඈත මුරට උනි
සන්කොට මුවින් ඔහු නික්මුණි

කතාවේ කෙළවර
ගැලූයේ කළුවර

ඉන්පසු තබා අඩි ඉක්මන්
කළාය ඈ අබිනික්මන්

පෝය ගෙවේ අමාවකකි
තිතක් වගේ කොමාවකි
ඒ මැද ෆාතිමාවකි

සර්ධාව නැති
ෆර්දාව ඇති
ප්‍රේමයේ ප්‍රතිමාවකි

මෙබඳු කවි අප නිතර දකින පෝයට පන්සල් යන එන සරල බෞද්ධයාගේ කෝපයට හේතු වන එක ගැන කලබල විය යුතු නැත. තිත් නට් හාන් ,සුලක් සිවරක්ස වැනි අය තුළින් බෞද්ධත්වය ප්‍රකාශයට පත් වූ ආකාරය ගැන ද මේ කෘතියේ පෙරවදන ලියූ අමරකීර්ති වෙනම පොත්පත්වල ලියා ඇත. ඒ දෑ අර පෝයට පන්සල් යන එන බෞද්ධයාට දුර වුව ද තැන්නේ හිමියන්ට දුර නැතැයි මම සිතමි. මේ කෘතිය වෙනුවෙන් තැන්නේ හිමියන්ට මා සුබපතන්නේ උන්වහන්සේ කවියේ ඇති තව බොහො ම ං ගවේෂණය කරතැයි යන බලාපොරොත්තුව ද සහිතවය .

ප්‍රියංකර නිවුංහැල්ල

Related articles

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...