රුසියානු සාහිත්‍ය ගැන කෙටි විපරමක්

Share post:

අපරාධය සහ දඬුවම.. ඇනා කැරනිනා.. කරමාසොව් සහෝදරයෝ.. ඩොක්ටර් ශිවාගෝ.. පීටර්ස්බර්ග්.. අම්මා… මේ විදිහට නම් සිය ගණනක් අපිට මතක්වෙනවා දිගින් දිගටම. මේ සිහිවටන හරියට කොඩැක් කැමරාවක ෆිල්ම් රෝල් එකක් වගේ.

පෙරළු නැවුම් පස හෝ වානේ පන්නරය ලැබූ හැටි අපේ මතකයේ රැඳෙන්නේ අපේ ළමාකාලයේ මතකයන් එක්කයි. හිම දියවෙලා පාර මඩවෙනහැටිත්.. කරත්ත රෝදය මඩේ එරෙන ආකාරයත්.. බේකරියේ උදේම පුළුස්සන පාන් සුවඳත් අපේ මතකයට එන්නෙ තමන්ගෙ ගමේදි ලැබුනු අත්දැකීම් වගේ.

සිංහල සාහිත්‍ය තරමටම.. සමහරවිට ඊටත් වඩා රුසියානු සාහිත්‍ය ලාංකික පාඨකයාව ඇද බැඳ තබාගන්නේ ඇයි.?

කිසි දවසක බිරියෝසා ගස් දැකපු නැති පාඨකයා කොහොමද බිරියෝසා ගස්වල කොල හෙලවෙන ශබ්දයට ආදරය කරන්නෙ.?
හිම කබායක් අතින් අල්ලා නැති කියවන්නා අකාකි අකාකියෙවුච්චිගේ හිම කබාය ගැන දුක්වෙන්නෙ කොහොමද?
සීතල ගැඹුරු වතුරේ නොපෙනී යන මුමූ ගැන මතකය අමතක කරන්න බැරි ඇයි?
අසරුවෙක් හෝ අශ්වයෙක් දැකලා නැති ඈත ගමක තරුණියක් දේවදාර ගස් අතරින් නොපෙනී යන අසරුවාට ආදරේ කරන්නෙ කොහොමද? මේ තමා සාහිත්‍යයේ දකින්න පුළුවන් මැජික් එක.

ලංකාවේ ප්‍රසිද්ධ පරිවර්තන කෘති වගේම සිංහලට පරිවර්තනය නොවූ අති විශිෂ්ට පොත් රාශියක් රුසියානු සාහිත්‍යයේ දකින්න පුළුවන්. දක්ශ ලේඛකයන් රාශියක් ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය වූ ආකාරයටම අති දක්ශ ලේඛකයන් සිය දාස් ගාණක් සයිබීරියාවේ සීතල සිර කඳවුරු තුලදී අකාලයේ මියගියබවත් අපිට රහසක් නෙවෙයි.

ක්‍රෙම්ලිනයේ මැදිහත්වීම මත දේශපාලන ප්‍රොපගැන්ඩාවක් ලෙසත් සෝවියට් පොත් පත් මුද්‍රණයකර බෙදා හැරුණු බව ඇත්තක්.නමුත් මේ දේශපාලන මැදිහත්වීම පසෙකින් තිබ්බත් රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටත්වය ගැන අපිට කතා නොකර ඉන්න බැහැ.දිගු කාලයක සිට මුල් අතු විහිදුවන ප්‍රංශ හා ඉංග්‍රීසි සාහිත්‍යයේ සම මට්ටමට කෙටි කාලයකින් රුසියානු සාහිත්‍ය ලඟාවුනේ කොහොමද?

අපි දන්නවා ක්‍රිස්තු වර්ශ 860 දී පමණ චීන ජාතිකයන් අකුරු මුද්‍රණය සඳහා දැව යන්ත්‍රයක් හෝ තාක්ශණය භාවිතාකල බව.මගේ මතකය නිවැරදි නම් ඒ දියමන්ති සූත්‍රය ( Diamond Sutra) ලේඛණගත කිරීමේ අවස්ථාව. මුල්ම මුද්‍රණ යන්ත්‍රය බිහිවෙන්නෙ ජර්මනියේදී වර්ශ 1440 දී පමණ ගුතන්බර්ග්හිදී. ගුතන්බර්ග් බයිබලය මෙහිදී මුද්‍රණය කරන ලද ප්‍රථම පොත ලෙස ඉතිහාසයට එක්වෙනවා.

නමුත් පලවෙනි නව කතාව බිහිකිරීමේ ගෞරවය හිමිවන්නේ ජපානයට. ද ටේල් ඔෆ් ගෙන්ජි ඒ නවකතා පොතේ නම. The Tale of Genji ගැන අපිට අහන්න ලැබෙන්නෙ ක්‍රිස්තු වර්ශ 1000 තරම් ඈත කාලයකදි.

රුසියානු සාහිත්‍ය ගැන කතා කරද්දි රුසියානු ඉතිහාසය අපිට අමතක කරන්න බැහැ.
ට්සාර් යුගයේදීත්.. කොමියුනිස්ට් කාලයේදීත්.. වර්ථමාන ටෝටලිටේරියනිස්ම් (totalitarianism) පාලන තන්ත්‍රයේත් අපි දකින සමානකම් ඉතාම වැදගත්. ඒ ගැන අපි පසුවටම කතාකරමු.

නෝර්ඩික් කලාපයෙන් පැමිණෙන වයිකින්ග්වරු කියෙවාන් රුස් ( වර්තමාන යුක්‍රේණය) නිර්මාණය කල ආකාරය ගැන අපි මීට පෙර කතාකලා. පෙශෝරා.. වොල්ගා.. රීන් ගංගා හරහා නැගෙනහිර හා මධ්‍යම යුරෝපයට ඇතුල්වන වයිකින්ග්වරු මේ ප්‍රදේශයේ ඉතා සංවිධානාත්මක නගර හා ජනාවස ගොඩනගනවා. ඉන්පසුව මොස්කව් දක්වා විතැන්වෙන කියෙවාන් රුස් රාජ්‍ය හරහායි වර්ථමාන රුසියාව බිහිවෙන්නෙ. ජපාන.. චීන.. කොරියානු .. මොංගෝලියානු සංස්කෘතීන්වලට නැගෙනහිර රුසියාව නෑකම් කියද්දි.. කසක්ස්තාන.. ටජික්.. කිර්ගිස් වැනි මධ්‍යම ආසියානු සංස්කෘතීන් මධ්‍යම රුසියාවට බොහොම සමීපයි. අනෙත් අතින් පීටර්ස්බර්ග්.. මොස්කව් නගර නෑකම් කියන්නෙ යුරෝපීය සංස්කෘතියට. මේ ආකාරයෙන් බලද්දි රුසියාව කියන්නෙ විශාල පරාසයක දිවෙන සංස්කෘතික මිශ්‍රණයක්.

1700 වර්ශය පමණ කාලයකට එනතෙක් රුසියාව කියන්නෙ යුරෝපීයන්ට එක්තරා ආකාරයක් ප්‍රහේලිකාවක්.
ශිෂ්ට නොවූ නැගෙනහිර යුරෝපය ලෙස‍යි මේ කාලයේදී බටහිර යුරෝපීයයන් රුසියාව හඳුන්වනු ලැබුවේ.
බටහිර යුරෝපය හා නැගෙනහිර යුරෝපය අතර තිබෙන මේ අඳුරු තිරය ඉවත්කරන්නෙ ශේෂ්ඨ පීටර් එහෙමත් නැත්තං පීටර් ද ග්‍රේට් ලෙස හඳුන්වන ට්සාර්වරයා විසින්. ( Peter the Great 1672 -1725)

පීටර් බොහෝම දක්ශ තරුණයෙක්. ට්සාර් පදවියට පත්වන්නට පෙර පීටර්ට අවශ්‍යවෙනවා බටහිර යුරෝපය ගැන දැනගන්න.
1697 / 1698 වසර දෙකේදී පීටර් වෙස්වලාගත් සංචාරකයෙක් විදිහට යුරෝපය පුරා සංචාරය කරනවා.
මේ වෙනකොට රුසියාව පාලනයවන්නේ ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගම මුල්කරගත් ට්සාර්වරුන් මගින්.

යම් කෙනෙක් රුසියාව තුල ලේඛණ කලාවේ යෙදෙනවා නම් ඔහු ඕතඩොක්ස් පල්ලියේ හා රජයේ නිසි අවසරය ලබාගත් කෙනෙක් පමණක් විය යුතුයි. නමුත් පුනරුදයේ ප්‍රථිඵලයක් විදිහට ආගමික නිදහසත්.. නිර්මාණකරනයේ නිදහසත් අත්පත්කරගත් බටහිර යුරෝපීයන් දිග ගමනකට මුල පුරලා ඉවරයි. පීටර් දකිනවා මේ දියුණුව හා වෙනස්කම්.

එයාට අවශ්‍යවෙනවා රුසියාවටත් මේ දකින දියුණුව හෝ වෙනස්කම් හඳුන්වාදෙන්න.
ලතින්.. ඉංග්‍රීසි.. ජර්මනික්.. ප්‍රංශ ආදී විවිධ භාශාවලින් ලියවුනු කෘති රාශියක් පීටර් විසින් රුසියාවට රැගෙන යන්නේ මේ වෙනස්කම් කිරීමේ උවමනාවෙන්.
මේ කාලයවන විට රුසියානු ගැමි කතා.. දේව කතා…. සුරංගනා කතා බොහොමයක් පවතින්නෙ ජනප්‍රවාද විදිහට. මේ කතාංදර බොහොමයක් ආකර්ශණීයයි වගේම වෙනත් රටවල දකින්න නැහැ. යුරෝපයෙන් ලැබෙන නව පන්නයේ හිතීමේ රටාවත් .. ඉතාම ආකර්ශණීය ගැමි කතාත් එකිනෙක හමුවන්නේ අපි මේ කතාකරන පීටර්ගේ කාලයේදීයි.

මේ වෙද්දි උතුරු යුරෝපයේ බලය පතුරුවන්නෙ ස්වීඩනයේ හත්වන චාර්ල්ස් රජු. ඉතාම දක්ශ හා තරුණ පාලකයෙන්වන චාර්ල්ස් හා සටන් කරන්න පීටර් පෙළඹෙන්නෙ බටහිර යුරෝපයට තම රටේ දොර කවුළු විවෘත්ත කිරීම කොයිතරම් වැදගත්ද යන්න පීටර් පාලනය තේරුම් ගත් නිසයි.
මෙන්න මේ ආකාරයටයි කලින් ස්වීඩනයට අයත්ව තිබූ භූමියක සෙන්ට් පීටර්ස්බර්ග් නම් දැවන්ත නගරය ගොඩනගන්න රුසියානු පාලකයාට හැකිවෙන්නෙ.

රුසියානු සාහිත්‍ය ගැන කතාකරන මගේ මිත්‍රයෙක් කියනවා රුසියානු ලේඛකයා බටහිර යුරෝපීය හෝ ඇමරිකානු ලේකකයාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් බව. අනෙකුත් බටහිර ලේඛකයන් වැඩි දෙනෙක් බලාපොරොත්තුවෙන්නෙ මුදල්.. ජනප්‍රියත්වය.. ලිංගික ආකර්ශණය හා වෘතීය සාර්ථකත්වය. නමුත් රුසියානු ලේඛකයාට ඕනෙ ලියන්න. කතාවක් කියන්න.

ඒත් එක්කම පැයකින් කියවලා පැය භාගෙකින් විචාර ලියන කලාවක් රුසියානු සාහිත්‍යයේ දකින්න අමාරුයි.
අද දකින සෙල්ෆී දෙකයි.. ලේඛකයාගේ අත්සනයි නෙවෙයි රුසියානු පාඨකයාට ඕනෙ. ඒ අයට ඕනෙ කියවන්න. පොත් හරහා සංචාරය කරන්න.
ට්සාර් පාලනයේත්.. ස්ටාලින්වාදී කොමියුනිස්ට් පාලනයේත්.. වර්ථමාන ඒකාධිපති පාලනයේත් එකවගේ දකින්න පුළුවන් නිදහස අඩු දරදඬු පාලන ශෛලියක්. බටහිර යුරෝපයේ දකින නිදහස රුසියානු ලේඛකයාට දකින්න වෙන්නෙ නැහැ.

ඔවුන් ලියන්නෙ අධික පීඩනයක් යටතේ. ඔවුන්ගෙන් වැඩිදෙනා දන්නවා එක වාක්‍යයක් වැරදුනොත් නවතින්න වෙන්නෙ සයිබීරියානු සිරකඳවුරක බව. ආගම හා දේශපාලනය එකවගේම හොල්මන් කරනවා ලේඛකයා ලියන තීන්ත ඇතුලෙ.

එතකොට ලේඛකයාට ලියන්න සිදුවන්නේ හැබෑම සිද්ධීන් හෝ කතාවන් නොවේ. නමුත් ප්‍රභන්ධ ලියද්දි ඔවුන් එදිනෙදා ජීවිතයේ මුහුණදෙන දුක්ඛ දෝමනස්ස.. පීඩනය.. අමතක කරන්නත් බැහැ. ඒත් එක්කම ජනකතාවල එන ගැමි සුන්දරත්වය හා ආදරය මෙතුලින් බැහැර කරන්නත් බැහැ. මෙන්න මේ ත්‍රිත්වය මිශ්‍ර කරන කදිම සමබරතාව තුලයි විශිෂ්ට රුසියානු කෘතීන් බිහිවෙන්නෙ.
අපි නැවතත් යමු 1800 වර්ශයෙන් ඇරඹෙන ලේඛන කලාව දෙසට.

ඇලෙක්සැන්ඩර් පුශ්කින්
නිකොලොයි ගොගොල්
ෆ්‍යොඩෝර් ඩොස්ටොඑව්ස්කි
ලියෝ ටෝල්ස්ටෝයි

ඉවාන් තුර්ගෙනෙව් වගේ විශිෂ්ට ලේඛකයන් වසර හතලිහක් පනහක් ඇතුලත බිහිවෙනවා. මේ අය එකිනෙකාව හඳුනනවා විතරක් නෙවෙයි එකිනෙකාට උදව්කරනවා එක් එක් ආකාරයට. මේ අයගේ කෘති තුල එකිනෙකාගෙ චරිත ඇතුලත්වෙනවා වෙනස් වෙනස් ක්‍රමයන්ට.

රුසියානු සාහිත්‍යයේ පුරෝගාමියා පුශ්කින්. එයුජින් ඔනෙගින් (Eugene Onegin) කෘතිය හරහා අපි කියවන්නේ රුසියානු ගැමි ජනප්‍රවාද හා බටහිර යුරෝපීය අදහස්වල සංකලණයක්. නමුත් පුශ්කින්ට හැකියාවක් නැහැ දේශපාලන අධිකාරිය ඉක්මවා යන්න. ඔහු එක්තරා ආකාරයකට ට්සාර් පාලනයේ ලේඛකයා.

The poet and the Supreme Authority විදිහට පුශ්කින්ව හැඳින්වෙන්නෙ මේ හේතුවෙනුයි.
ඕතඩොක්ස් ආගමික බලය යටතේ ආගම ගැන ලියන්න හෝ විවේචනය කරන්න රුසියාවේ ඉඩක් නැහැ.
දේශපාලන බලය යටතේ දේශපාලනය ගැන.. ආර්ථිකය ගැන.. සමාජ ප්‍රථිසංස්කරණ හෝ සමාජ ව්‍යුහය ගැන .. දර්ශණය ගැන.. අසාධාරණ නීති ගැන ලියන්න කියන්න කිසිවෙකුට අයිතියක් නැහැ. අසාර්ථක අස්වැන්න.. අධික බදුබර.. දුක්විඳින ගෙවිලිය හෝ කාන්තාවගේ නිදහස ගැන සෘජුවම ලියන්න කිසිවෙකුට බැහැ. එතකොට ප්‍රභන්ධ ලිවීම පමණයි තම පීඩනය පිටකරන්න ඉතුරුවන කවුළුව.

සැබෑ ජීවිතයට වක්‍රාකාරව සම්භන්ධවන ප්‍රභන්ධ යටතේ ලේඛකයා හොයාගන්නවා යුක්තිය. ඔවුන් සොයාගන්නවා සාධාරණය. මේ චරිත සැබෑ ජීවිතයේදී හමුනොවන නිසා පාඨකයා බොහොම ඉක්මනින් ආකර්ශණය වෙනවා මේ අළුත් පොත්වලට.

පුශ්කින්ගේ අකල් මරණයත් එක්ක නිකොලායි ගොගොල් වැඩි අවධානයක් දිනාගන්නවා. ගොගොල් තමන්ගෙ කාලයට වඩා බොහොම ඉදිරියෙන් හිටපු ලේඛකයෙක්. මේ ලේඛකයා තමා වටා සිටින හා දකින හැම දෙයක්ම විහිළුවට ගන්නවා. සමාජයේ දකින චරිත හා සිද්ධීන් නිර්භය ලෙස විහිළුවක් කරගන්නා ගොගොල් ඉතාම සියුම්ව පාලකයාවත් සමච්චලයට ලක්කරන්න උත්සාහ කරනවා.
මේක රුසියානු සමාජයට අළුත් දෙයක්.

තමන්ට පොත් පත් ලියන්න අවසරදෙන හා උදව්කරන රජය එක් අතකින් තබාගෙන රජය හා පල්ලිය විවේචනය කරන්නේ කොහොමද කියන ගැටළුව මත ඉතා සියුම් කතාංදර බිහිවෙනවා. උදාහරණයක් විදිහට ඉවාන් තුර්ගෙනෙව් කෙටි කතා රාශියක් හරහා ජීවිතය හා මරණයත්.. නිදහසත් ආගමත්.. ට්සාර් පාලනයේ වහල් සේවයත් ඉතාම උපක්‍රමශීලීව ප්‍රශ්ණකරනවා. ( Ivan Turgenev 1818 -1883). තුර්ගෙනෙව්ගේ ප්‍රශ්ණ කිරීම හරහා එවකට රුසියාවේ ට්සාර් වූ පලමු ඇල්ක්සැන්ඩර් පියවර ගන්නවා වහල්සේවය අහෝසිකරන්න. ඒ 1861 අවුරුද්දෙදි.
පුශ්කින් සහ ගොගොල් ගොඩනගන රුසියානු සාහිත්‍ය රුසියාවෙන් එලියට අරගෙන යන්නෙ තුර්ගෙනෙව් විසින්.
තුර්ගෙනෙව් විසින් නිර්මාණය කරන ලද මාර්ගයේ ගමන් කරන විශිෂ්ට ලේඛකයන් දෙදෙනෙක් ගැන කතා නොකරම බැහැ.
ඒ ලියෝ ටෝල්ස්ටෝයි සහ ෆ්‍යෝඩෝර් ඩොස්තොඑව්ස්කි. ( Leo Tolstoy 1828-1910 , Fyodor Dostoevsky 1821- 1881).
මේ දෙදෙනා සමකාලීනයි.
ටෝල්ස්ටෝයි අයිතිවන්නේ සුපිරි ධනවත් පැලැන්තියට. නමුත් ඩොස්තොඑව්ස්කි දුප්පත් පවුලක දුප්පත් ශිෂ්‍යයෙක්.
කුසගින්නෙන් පීඩා විඳින තරුණ ෆ්‍යෝඩෝර් ඩොස්තොඑව්ස්කි බියක් නැතුවම.. පරෙස්සමක් නැතුවම ලියන්න තීරණය කරනවා.
ප්‍රථිඵලය පැහැදිලියි.
1848 අවුරුද්දෙදි ඩොස්තොඑව්ස්කිව අත් අඩංගුවට ගන්නවා විතරක් නෙවෙයි ට්සාර් පාලනය මගින් ඔහුට මරණ දඬුවම නියමවෙනවා. මේ කදිම ලේඛකයාගේ ගෙල වටා තොන්ඩුව දාලා එල්ලා මරන්න සියල්ල සූදානම්.
නමුත් අවසාන විනාඩි දෙක තුලදී ට්සාර් පාලනයෙන් ඔහුට නිදහස ලැබෙන්නෙ නොසිතූ ආකාරයට.
මොනතරම් තමන්ගෙ පාලනය විවේචනය කරත් ට්සාර් මේ තරුණ ලේඛකයාගේ ලිවීමට බොහොම කැමතියි. නමුත් දීර්ඝ සිර දඬුවමෙන් ඔහුට නිදහසක් ලැබෙන්නෙ නැහැ.
වසර ගණනාවක් සයිබීරියාවේ සිර දඬුවම් විඳින ඩොස්තොඑව්ස්කිගේ ලිවීම තුල මේ මරණයේත්.. සිර දඬුවමේත් වේදනාව දකින්න පුළුවන්.
අපි දැන් ඇවිත් ඉන්නෙ 1880 වර්ශයට. මේ වෙනකොට ඩොස්තොඑව්ස්කි මියයනවා වගේම තෝල්ස්තෝයි ලිවීම නතරකරනවා.
මෙන්න මේ කාලය වෙනකොටයි ට්සාර් පාලනයට විරුද්ධව තැන තැන පොඩි කැරලි ඇතිවෙමින් තියෙන්නෙ.
1890 – 2020 අතර කාලය ගැන ඊලඟ කොටසින් සාකච්ඡා කරමු.

Malcolm Sang

( පිංතූරය – ඩොස්ටොඑව්ස්කි.. පුශ්කින්.. තෝල්ස්තෝයි.. තුර්ගෙනෙව්)

Related articles

Deen Brothers Imports සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි !

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur...

වවන්නෝ දිනන්නෝ වෙනුවට වැවීමෙන් දිනිය හැකි හෙටක් !

ලාබදායී නොවන කෘෂිකර්මයෙන් තරුණ පරපුර ඈත්වෙමින් සිටී. ඔවුන්ගේ වැඩිහිටි පරපුර පුරුද්දට කළත්, දිගින්-දිගටම ලබන පාඩුව නිසා ඇතැම් වගා බිම්...

අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?

රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ වාද-විවාද ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරුවරුන් සහ...

ඔහු නමින් දෙනගම සිරිවර්ධන වේ

ලාංකේය කවියේ සාහිත්‍යයේ මානවවාදයේ අභ්‍යාසවෘද්ධ විශිෂ්ට මිනිසා….. "උදෑසන අරුණැල්ල හිමි හිමින් එයි ගලාපැණි කුරුල්ලෝ හඬති පාළු ගේ බල බලාසිඟිති...