‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

Share post:

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස් තුනකි. කිවිඳියක ලෙස දීර්ඝ කාලයක් පුරා ඇය කාව්‍ය ක්ෂේත්‍රෙයහි සක්‍රීයව හිඳින්නීය. එහෙත් ඇගේ කවියටද නිසි අවධානයක් තවමත් ලැබී නැති සෙයකි. කම් නැත, ඇය තම මගෙහි ඉදිරියට යන්නීය.

උපෙකලාගේ කවි සැරිය පෙම් සැරියකි. ඇගේ සමස්ත කාව්‍යාවලියෙහිම දක්නට ලැබෙනා පොදු ලක්ෂණය වනුයේ එයයි. ඒ පෙම්සැරිය යනුද වියෝගයෙහි සංතාප සළකුණු තැවරි ලිවි සැරියකි. මෙසේ එක් තේමාවක් කරාම යොමුව සිය නිර්මාණ දහරාව පවත්වාගෙන යාම ලෙහෙසි නැති කාරියකි. එවැන්නක් කළ හැක්කේ කවිය මෙන්ම භාෂාවද, ලිවීමේ අනුරාගය මෙන්ම තම මග කෙරේවන අවාබෝධයද සහිත නිර්මාණකරුවකුටම පමණි. උපෙකලා ඒ සියල්ල මනාව කළමනාකරණය කරගන්නීය. ඇය සිය සහෘදයා රඳවා ගන්නී තමන්ගේ කවියට භාවිතා කරනා භාෂාවෙහි රම්‍යතාව තුළිනි. ඇගේ බස සංවේදීය. සියුම් සංවේදනයන් දනවන්නට සමත්, සියුම් රිදුමක්ද සමගින් අතීතකාමී මිහිරක්ද කැටිව එන ඒ කවිය තුළ රසිකයාට තමන්ද ඊට අනන්‍යවන සෙයක් දැනෙන්නට ගන්නා තරමට ජීවිතයට සමීප බවක් එ ගැබ්වෙයි.

ඇගේ කවිය තුළ පන ගැහෙන, රළ නගන වියපත් නොවන පෙම පෙලින් පෙල ගොඩනැගෙන ආකාරය අපූරු සහෘදාමන්ත්‍රණයකි. ඇගේ කවියෙහි සාර්ථකත්වය ඇත්තේම ඒ ගොඩනගන්නට ඇය වෙහෙසෙන ආකාරයෙහිය. එය ගලින් ගල සෙමින් තබ තබා කරනා ඉදිකිරීමක් වැනිය. මේ ඇගේ තව පැයෙන් මං ඔතන නම් කවියයි. ඒ කවිය තම සිතපැහැර ගත්තා එනතුරු බලා හිඳිනා කතකගේ සිතුවිළි සමුච්ඡයකි. ඒ කවියෙහි අලංකාරය වන්නේ සිත=විළි විදාරණය කරනා සමත්කමෙහිය.

ඉතින් මං
මුලින්ම ‍සූදානම් කරන්නේ මොනවාද?

ඇය ඉන්පසුව පෙමාතුර කතකගේ නොඉවසිලිමත් සිත සිත්තම් කරයි. මේ පොදු මනෝභාවයන් හා රසිකයා එක්වරම බැඳෙයි.

දැන් ඔබ රෑ අහරට ගන්නේ
මොනවා වන්නට ඇතිද?
අහරට පෙර මදුවිතක් සුදුසුද?

නමා ඇති සරම
ආ විගස දිය යුතුද?
ඉන් පෙර මා සුසුවඳවත් විය යුතුද?

පෙමාතුර සිතක චකිතය, නොඉවසිල්ල, ආදී සියළු පාර්ශව ඇගේ සීමිත වදන් තුළ මනාව ගැබ්වෙයි. සුසුවඳවත්- මේ තනි වදනෙහි ඇති පුළුල් බවම ඇගේ කවියෙහි මිහිර ගැබ්වෙයි. පෙම්වතකු පෙම්වතියක එකිනෙකා වෙනුවෙන් වන සූදානම යනු මිනිස් ජීවිතයේ අතිශය සියුම් කලාපයකි. අපට නූතන බහුභාණ්ඩික ලෝකය තුළ අහිමි වෙමින් යන්නේ මෙවන් සියුම් මිනිස් සංවේදනයන්ය. කිවිඳිය අප ඒවා කෙරේ යලි අල්ලා බැඳලන්නීය.

සැඳැල්ලේ හිස් කොනක
ඉටිපහන් එළි දල්වම්ද
නැතිනම් අලුත් ඇඳැතිරිලි අතුරම්ද?
කිසිවක්ම නොවිමසා
ගේ දොර හරිම්ද
ආ විගස බදාගෙන වැලපෙම්ද?

ඇගේ කවියෙහි මහරුබව රැඳෙනුයේ ඇය තම කවිය කූටප්‍රාප්තිය කරා ගෙනෙ ආකාරයෙහිය.

එනවා කීවා මිසක
ඉන්නවා කියා කීවාදැයි
මට හරියට ම මතක නැත

මිසයිල් රජයන, ඝාතනය දෛනික ක්‍රීඩාව බවට පත්ව පොදු මනුෂ්‍යයා හට ජීවිතය අහිමි කරවන පසුබිමක උපෙකලා තම කවියෙන් ජීවිතය ස්පර්ශ කරනා ආකාරය මනරම් ය. අද අපට සිදුව ඇත්තේ අප වෙනුවෙන් මිනී වලවල් වෙන් කරනා බලවතුන්ගේ කෑදර අපේක්ෂාවන් නැමති දංගෙඩියෙහි වැනසී යාමය. එවන් මොහොතක ඇය මනුෂ්‍ය ජීවිතයට ගැඹුරක් ගෙන එන්නට කවිය හරහා මගක් තනන්නීය.

දහස් හදකින් නැගෙන සෝකා
තබා ගිය පසු වෙරළ අයිනක
රළින් රළ විත් එ දුක අස අස
ඇදන් යනවා ඈත දියඹට

කම්පාව තනියෙන්ම උහුලන්
සයුර දුක්ගිනි දරනු දැක දැක
අහස සිතුවා සුසුම් ගොස ගෙන
බැරිම තැන්වල ඇද හැලෙන්නට

මේ උපෙකලාගේ නව කවි එකතුවෙහි එන මිහිරිතම නිර්මාණයකි. විවේකී මනසක් ඇති කරගත හැකි නම් එය මේ මොහොතේ අප දවනා බොහෝ ලිනි දැල් මැද ජීවිතය විඳින්නට, ජීවිතය ගැන සිතන්නට, මනුෂ්‍ය ජීවිතය සහ අරමුණු ගැන මෙනෙහි කරන්නට කදිම එළඹුමකි. ඇග් පරෙස්සම් සහගත වදන් හැසිරවීම මගින් මතු කරනා සියුම් කම්පනයන් කවියක් කියවීම සහ විඳීම ගැන රසිකයාට මනා අභ්‍යාසයක් ඉදිරිපත් කරයි.

උපෙකලාගේ කවි අතර බොහෝ විට හමුවන්නේ සංතාපී ස්වරයකි. සියුම් වේදනාවක් කැටිව සරන්නියකගේ ඉවසිලිවන්ත, දරාගන්නාසුළු සිතක ඉපිල යාමකි. එහෙත් ඇගේ කවි අතර විටෙක සවිමත් කතකගේ මතුවීමද දැකිය හැකිය. එවන් කවියකදී අපට හමුවනුයේ යටපත් කළ නොහෙනා, පරාජය බාරගන්නට සූදානම් නැති කතකගේ මැදිහත්වීමකි.

මා අතිශය ජවාධික වෙළඹක වෙමි
වැටි වැටී හතිලන හදවත් අතට ගෙන
වේගය දෙගුණකොට ඇදගෙන දුවමි
නොනින්දේ රෑ දවල් ගිල්වමින්
හිසත් උරහිසත් මම වෙමි

මේ නම් පරාජිත ස්ත්‍රිය පුපුරුවා හැර නැගෙන මොහොතකි. ඇය කියන්නී හිසත් උරහිසත් මම වෙමි යනුවෙනි. ඇය එතැනින් නතර නොවන්නීය.

මා අතිශය සැහැසි වෙළඹක වෙමි
මා අතපත් කිසිවකුට වින කටින
කාටත් පා පහර දී වේගයෙන් හඹමි
බස ලෙසට මොළවා දල්වමි
ගින්නත් දියත් මම වෙමි

ඉදින් මේ උපෙකලාව ය.

මා පරාජිත වෙළඹක නොවෙමි
සටන් මග මුරකා නූලටම සකසමි
නොදිනන සටනකට අත නොතබමි
අයිතියක් නොකියාම අතහරිමි
අසිපතත් පලිහත් මම වෙමි

උපෙකලාගේ කවියෙහි ඇති සුන්දරත්වය රැඳෙනුයේ ඒ සෑම කවියකම පාහේ ගැබ්වන හද මතින් ලිස්සා යන ගුණයෙහිය. ඇය නොපවසා පවසන්නීය. ඇගේ ඔසු නමින් එන කවිය ව්‍යංගාර්ථවත් බසකින් ජීවිතය කැණ බලනා අපූරු ව්‍යායාමයකි. ඇය තම කවිය අරඹන්නේම රසිකයාට කවිය අත හරින්නට බැරි වන බැඳීමක් ඇති කරමිනි.

ඉස්මුරුත්තාවෙන්ය ඒ ගස්
වෙනස් අරමුණුවලට
වෙන වෙනම පොහොර ගිල

ඉදින් රසිකයා ඇගේ කවිය දිගටම කියවන්නේ නම් ජීවිතය පිලිබඳ කියවීමක් සමගින් රසිකයාට තමන්ද ඒ මැදදී හමුවනු ඇත. ඒ සඳහා රසිකයාට ද සංයමය ඇවැසිය.

චූලානන්ද සමරනායක

Related articles

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...

යුද සමයක මානුෂීය නායකත්වය !

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට...