‘සතියක් විතර හිටියනේ, ඉස්සරහටත් එහෙමම ඉඳීවි‘ – විනිසුරු කියයි! : තමන් කැත වැඩ කරපු අය තමන්ට කැත වැඩ කරනවා කියමින් දේශබන්දු දැමූ පෙත්සමේ කතාව!

Share post:

“පෙත්සම්කරු සතියක් විතර කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එසේ හිඳීවි”

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් හෝ අඩු තරමේ එවැන්නක් සිදු නොවන බවට සහතිකයක්  ඉල්ලා සිටි විට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෆාර් තාහීර් මහතා එසේ කියා තිබුණා.

තමන් අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත්හිටුවාගැනීම වෙනුවෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා  දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වා අතුරු තහනමක් එදිනම ලබා දීම ප්‍රතික්ෂේප කළේ ඔය ආකාරයෙන් ප්‍රකාශ කරමිනුයි.

මාර්තු 10 වැනිදා පෙත්සම විභාගයට ගත්තත්, එය අභියචනාධිකරණයේ ගොනු කර තිබුණේ මාර්තු 07 වැනිදායි.

මෙය විභාගයට ගත්තේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක අභියාචනාධිකරණ විනිසුරුවරයායි.

ඒ අනුවයි, පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කොට කරුණු තහවුරු කිරීම උදෙසා මාර්තු 12 වැනිදා පෙත්සම යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කරන ලද්දේ. ඒ අනුව දින තුනක් ඇතුළත නඩුව විභාගයට ගැනීමට නියමිතයි. මෙම පෙත්සම විභාගයට ගැනුණේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පොලීසියෙන් සැඟවෙමින් කල් ගත කරන 11 වැනි දිනයේයි.

2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවු අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිළධාරීයකු මිය ගොස් තිබුණා. දේශබන්දු තෙනන්නකෝන් එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස, අදාල වෙඩි පහර කෑ පොලිස් නිලධාරියාට ප්‍රතිකාර ලැබීම වළක්වා තිබුණා. ඊට අමතරව මහේස්ත්‍රාත්වරයා සාක්ෂ්‍ය විමසමින් ස්ථානීය පරීක්ෂණවලදී ලද තොරතුරු පරීක්ෂා කරමින් එම හෝටලය අසලට ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ  නිලධාරීන් විසින් අනීතික ක්‍රියාවක් සඳහා එම ස්ථානයට ගිය බවත් හඳුනාගෙන තිබුණා. ඒ අනුව, එම අනීති ක්‍රියාව මෙහෙයවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අදාල අපරාධවලට වගකිවයුතු බවට නිගමනය කර තිබුණා.

කෙසේ වෙතත්, පෙත්සම්කරු සිය පෙත්සම මඟින් කියා සිටින්නේ, වැලිගම පොලිසිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ බවත් මේ වනවටි එහි විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන තිබෙන බවත් එය තමන්ගෙන් පළිගැනීමට කරන ක්‍රියාවක් බවත්.

උසාවියේදී මොකද වුණේ?

පෙත්සම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් කීවේ, 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝගයක් ලබා දී ඇති බවත් එම නියෝගය නීතියට පටහැනි බවත්.

ඔහුගේ මූලිකම තර්කය වී තිබුණේ, සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියා ගැන සාක්ෂ්‍ය කිහිපයක් පමණක් සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවක්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලයක් නොමැති බවට ඔහු තර්ක කර තිබුණා.

ඒ අනුව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියා. නීතිපති දෙපාර්තමේන්තුව එයට එරෙහි වුණේ, පෙත්සම සම්බන්ධයෙන් තමන්ට කිසිදු උපදෙසක් ලැබී නොමැති බව පවසමිනුයි.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා අධිකරණය අමතමින් පැවසූවේ මෙසේයි.

” අද පෙරවරුවේ තමයි මේ නඩුකරයට අදාළ නඩු ගොනුව මගේ අතට පත් වුණේ. මේ පෙත්සම තුළ අන්තර්ගත කරුණු මොනවාද කියලවත් මම තාම දන්නෙ නෑ. ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතීසි ලබා දීමෙන් පසුව පෙත්සම කරුණු තහවුරු කිරීම සුදුසුයි කියලා මම හිතනවා”

ඒ අවස්ථාවේදී යළි අධිකරණය හමුවේ නීතිඥ රොමේෂ් ද සිල්වා මෙසේ ඉල්ලුවා.

“ස්වාමීනී, අඩුම ගානේ මගේ සේවාදයකයා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකාර පාර්ශවයෙන් පොරොන්දුවක් හෝ ලබා දිය යුතුයි.”

ඊට ප්‍රතිචාර දැක්වූ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්  මහතා මෙසේ කීවා.

“පෙත්සම්කරු සතියක් විතර කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එසේ හිඳීවි”

ශානියි රවීයි ගැන තර්ක

මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්ව ගණනාවක් සිටිනවා. එහෙත්, ඒ අතරින් හයවැනි සහ හත්වැනි වගඋත්තරකරුවන් මත පදනම් වී තර්ක ගොඩනගා තිබෙනවා.

එනම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාර නිලධාරියා වන ශානි අබේසේකර යන අය වටා තර්ක ගොඩනගා තිබෙනවා.

තමන්ට එරෙහිව සිදු කර ඇති පරීක්ෂණය දේශපාලන බලපෑම් සහිත පක්ෂපාතී මෙන්ම ද්වේශ සහගත ආකාරයෙන් තමා ඉලක්ක කරගනිමින් සිදුකළ  පරීක්ෂණයක් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

එය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් සහිතව සිදුවන බව දේශබන්දු තෙන්නකෝන් අවධාරණය කර තිබෙනවා.

මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීම දේශපාලන වුවමනා මත සිදුකරන බවත්, තමාගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා සිදු කරන බවත් තර්ක කර තිබෙනවා. රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සහ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමේ සිදුවීම යන දෙකම හේතුවෙන් ඔවුන් දෙදෙනා තමන් ගැන පුද්ගලික තරහකින් පසුවන බව පෙත්සමෙහි තර්ක කර තිබෙනවා.  

එහෙත්, ඇත්තටම ශානි අබේසේකර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නොවෙයි. රවී සෙනෙවිරත්න කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා පමණයි. එය පරිපාලන තනතුරක් මිස පොලිස් විමර්ශන මෙහෙයවීමේ බලයක් ඇති තනතුරක් නොවෙයි. ඒ දෙකටම අමතරව අනෙක් භයානක කරුණ වන්නේ මේ නිලධාරීන් දෙදෙනාවම අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගත කිරීම සිදුකර ඇත්තේ දේශපාලන පළිගැනීම් ලෙස. රවී සෙනෙවිරත්නට අදාල විමර්ශනයට බලපෑම් කර තිබුණා. ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් බව ඉතා පැහැදිලිව තහවුරු වී තිබෙනවා. ශානි අබේසේකර නම් සැඟවුණේ නැහැ. ඔහු පොලීසියේ කලයක් සේවය කළ ගෞරවණීය නිලධාරියෙකු වශයෙන් පොලීසියෙන් හැංගිමුත්තං කරන අපරාධකාර චරිතයක් වුණේ නෑ. ඒ වෙනුවට ඔහු බන්ධනාගාරගතව සිටියදී තමන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් සටන් කර එය ඔප්පු කළා.

දැන් දේශබන්දු කියන්නේ මොකක්ද? මං කැත වැඩ කරපු මිනිස්සු දැන් මට මෙහෙම කරන බවක් මට හැඟෙනවා කියලාද? 

හැංගිලා ඉන්නේ ඇයි?

ඔහුගේ පෙත්සමේ හැංගිලා ඉන්නට හේතුවක් පැහැදිලිව සඳහන් කරලා නෑ.

තමන් අත්අඩංගුවට ගන්නට සිටින බව දැනගත්තේ 28 වැනිදා සමාජ මාධ්‍යවලින් සහ මාධ්‍යවලින් ගිය ප්‍රවෘත්ති නිසා බව ඔහු තර්ක කර තිබෙනවා. තමන්ව මහේස්ත්‍රාත් නඩුවට කැඳවා නැති බවත්, තමන්ට නොතීසි නිකුත් නොකළ බවත් සඳහන් කරනවා. වෙනත් අපරාධකරුවනුත් මෙහෙම කරනවාද? අපරාධකරුවෙක් අපරාධයකට සම්බන්ධ බව දැනගත්තාම අපරාධයේ පරිමාව අනුව වහා අත්අඩංගුවට ගැනීම මිසක බුලත් අතකුත් දෙන්නට අපරාධ නීතියේ නියමයක් තියෙනවාද?

කෙසේ නමුත් ඔහු තර්ක කරන්නේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට 27 වැනිදා නියෝග කළත්, 28 වැනිදා හවස් වෙනතුරු එය හෙළි නොකර සිටි බවයි. එහිදී ඔහු පෙන්වන්නට උත්සාහ කරන්නේ සිකුරාදාවක් වූ 28 වැනිදා හවස් වනතුරු සිටියේ, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඉහළ අධිකරණයකට යෑම සීමා කොට කෙසේ හෝ ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට උත්සාහ කර ඇති බව.

එහෙත්, සැබැවින්ම 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය ලබා දුන්නේ රහසිගතව නොවෙයි. විවෘත අධිකරණයේදීයි. මාධ්‍යවේදීන් මෙම නඩුව වාර්තා කර නොතිබුණු නිසා දැන නොගත්තාට මෙය රහසේ නියෝගයක් ලබාගෙන 28 වැනිදා වනතුරු සිටීමක් ලෙස අර්ථකතනය කිරීමේ හැකියාවක් නැහැ.

පෙත්සමෙන් ඉල්ලූ සහන

දේශබන්දු රිට් ආඥා කිහිපයක් නිකුත් කරමින් සහන ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

පළමුවැන්න වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට හා ඔහුව අත්අඩංගුවට ගැනීමට ගත් තීරණය අවලංගු කිරීමට සහ මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) බාර දීමට ගත් නියෝගය අවලංගු කිරීමට සර්ටියොරාරි අඥාවක් ඉල්ලා සිටීම.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ඉදිරියට කරගෙන යෑම වැළැක්වීමටත්, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් විමර්ශනයට බලපෑම් කිරීම වැළැක්වීමටත් තහනම් නියෝග ඉල්ලා තිබෙනවා.

දෙවැනියට මැන්ඩාමුස් ආඥා ඉල්ලා තිබෙනවා. එයින් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙසත්, ඩබ්ලිව්15 හෝටලය පිළිබඳ විමර්ශනය වෙනත් පොලිස් කොට්ඨාශයකට මාරු කිරීම සඳහා මැන්ඩාමුස් ආඥා ඉල්ලා තිබෙනවා.

අවසාන වශයෙන් නඩුව අවසාන වනතෙක් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක් ඉල්ලා තිබෙනවා. ඔහුට එරෙහිව කිසිදු විමර්ශනයක් සිදුකිරීම වළක්වමින් අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා තිබෙනවා. දැනට පවතින තත්වය හෙවත් ස්ටේටස් කෝ පවත්වාගෙන යෑමට ඉල්ලා තිබෙනවා.

මාර්තු 12 වැනිදා පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවේදී මෙයට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ වගඋත්තරකාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් නීතිඥවරුන් ඉදිරිපත් කරන අදහස් දැක්වීම් මත දේශබන්දුගේ නීති තර්කවලට ප්‍රතිචාර දැක ගැනීමට හැකි වේවි.

  • තරිඳු උඩුවරගෙදර

(www.whatnews.lk)

Related articles

බටලන්ද කොමිෂන් වාර්තාව රට පුරා මර්දනයෙන් බැට කෑ ජනයාට යුක්තිය ඉටුකිරීමේ අවස්ථාවක් : එය ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වගකීමක් –  කුමාර් ගුණරත්නම් 

බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (10) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී...

මහින්ද මහත්තයට හැම පන්සලකම ගෙයක්, කුටියක් හදලා තිබුණා – කතරගම දේවාලයේ බස්නායක නිලමේ සීඅයිඩිය ඉදිරිපිටදී කියයි !

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක...

රනිල් ඇණගත් පමණින් හසන් උඩදැමිය හැකිද?

රනිල් සාකච්ඡාවේදී ඇණගත්තේය. ඒ පිළිබඳ සංවාදයක් නැත. රනිල් මෙවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. ඔහු හසන්ගේ මාදිලිය නොදන්නවා නොවේ. ඔහු...

අල් ජසීරා වෙත නොකියූ උත්තරවලට රනිල්ගේ ශරීර ඉරියව් දුන් පිළිතුරු !

රනිල් වික්‍රමසිංහ පිළිබඳ දේශීය ජනතාව තුල යම් කිසි ප්‍රතිරූපයක් රැඳී තිබුනි. එසේ නැතිනම් සම්ප්‍රධායික අනුගාමිකයන්ගේ සිත් තුල ඔහු...