රනිල් සාකච්ඡාවේදී ඇණගත්තේය. ඒ පිළිබඳ සංවාදයක් නැත. රනිල් මෙවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. ඔහු හසන්ගේ මාදිලිය නොදන්නවා නොවේ. ඔහු බලාපොරොත්තු වූයේ මීට වඩා අඩු අභියෝගයකි.
එහෙත් හසන්ගේ මාදිලිය ද මට අනුව ගැටලු සහගත ය.
හසන් වැඩේට උපරිමයෙන් සූදානම් වී සිටියේය. ඔහු සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් කරන්නට තම කණ්ඩායම සමග වෙහෙසෙන ආකාරය ගැන දළ අදහසක් තිබේ. ඒ නිසා ඒ වෙහෙසට ගරු කරමින් වුවද, මම ඔහුගේ සම්මුඛ සාකච්ඡා මෙහෙයවන ආකාරය අනුමත නොකරන බව කිව යුතුය.
එහෙත් ඔහු සිය ප්‍රශ්න – නිශ්චිත මූලාශ්‍ර සමග ඉදිරිපත් කරන ආකාරය අතිශය වැදගත් ය.
හසන්ව බොහෝ ඉහළට ඔසවද්දී මේ පැති දෙක ගැන ම සිතිය යුතු යැයි මම යෝජනා කරමි.
- ඔහු වැඩේට සූදානම් වී සිටි ආකාරය, ඊට අදාළ මූලාශ්‍ර ඔහු සතු වීම සහ නිකම්ම ඒවා අතේ තියාගෙන නොසිට ඒවා අධ්‍යයනය කර ඇති බව පෙනීයෑම වැදගත් ය. එම නිසා රනිල්ට මගහැර යෑමට නොහැකි විය. රනිල් අවස්ථා කිහිපයකදී මගහැරයෑමේ උත්සාහයන් කිහිපයක් ගත්තද, ඒවා අසාර්ථක වීමෙන් පසු ඔහු එහි සිටියේ මහත් අපහසුවෙන් බව ඔහු හැසිරුණු ආකාරයෙන් පෙනේ. හසන් ඔහුගේ ඉලක්කය වෙත ගියේය.
රනිල් සැලසුම් සහගතව හෝ එසේ නොමැතිව ගැලවීමේ අවසන් ඉලක්කය ලෙස ලංකාවේ බහුතරය අල්ලාගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත විය. එහිදී ආගමික, වාර්ගික සංඥා පවා ඔහු එළියට දැම්මේය. ඔහුට ඒවා අලුත් දේවල් නොවේ. - දෙවනුව ඔහු අල්-ජසීරාහි චමුදිත පන්නයෙන් මේ වැඩේ කිරීම මට අනුව, යළිත් කියමි, මට අනුව ගැටලු සහගත ය. රනිල්ට තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදිය යුතුයැයි යන්න මගේ අදහසයි. ඔහු පැනල් එකේ, සභාවේ ආදී වශයෙන් කාලය කළමනාකරනය කිරීමේ වැඩක ද සිටින්නට ඇත.
ඇතැම් අවස්ථාවලදී ඔහුගේ කඩාපැනීම සාධාරණ ය. එය කළ යුතුය. එසේ නොවූයේ නම් කපටි නූල් සූත්තරකාරයකු වන රනිල් වැඩේ තමන් අතට ගන්නට දඟලන්නේය. එසේ වූවා නම් වැඩටහන අවුල් වේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී ඔහුගේ කඩාපැනීම් අසාධාරණ ය. මේ ලයින් එකේදී රනිල් කොහොමත් බිත්තියට හේත්තු වී අවසන් ය. සම්මුඛ සාකච්ඡාවට ආරාධනා කොට ගෙන්වා ගත් ඔහුට අවස්ථාව දිය යුතුය. එහි අදහස ඔහුට යටවීම නොවේ.
වැදගත්
හසන්ගේ මේ වැඩේ සමග ඇතැමුන් ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ භාවිතාව සංසන්දනය කරන්නට උත්සාහ කරනු දැකිය හැකිය. ඒක නම් එහෙම පිටින්ම තේරුමක් නැති වැඩකි. අල්-ජසීරා මේ වැඩේ වෙනුවෙන් දරන වියදම, මේ වැඩේට අවශ්‍ය පෙර සූදානම සඳහා සපයන සම්පත් පිළිබඳව වෙනම කතා කළ යුතුය.
ඒ වගේම ලංකාවේ මාධ්‍ය ආයතන වැඩක් වෙනුවෙන් කීයක් වැයකරන්නට සූදානම් ද, ලංකාවේ මාධ්‍යවේදීන්ට වහලුන් සේ එක දිගට වැඩ රාශියක් කිරීමට සිදු වී ඇත්තේ ඇයි යන්න ද ඉහත කරුණ සේ ම වෙනම කතා කළ යුතුය.
අල්-ජසීරා යනු ස්වාධීන මාධ්‍ය ආයතනයක් නොවේ. ලෝකයේ එසේ ස්වාධීන මාධ්‍ය කියා දෙයක් නැත. ලංකාවේදී සිදු වී ඇත්තේ අඩු තරමේ යට කලිසමක් හෝ ඇඳසිටිය යුතු යැයි මාධ්‍ය සහ මාධ්‍ය මෙහෙයවන්නන් නොසිතීම ය. මාධ්‍ය හිමිකරුවන් මෙන්ම ඔවුන්ගේ න්‍යාය පත්‍ර තමන්ගේ කරගෙන, ඔවුන්ටත් වඩා ස්වයං වාරණයන් දමාගෙන කටයුතු කරන මාධ්‍ය මෙහෙයවන්නන් ද බොහෝ ය.
කළ යුත්තේ කුමක්ද?
සීමාසහිත තත්ත්වයන් සහ බාධා, ගැටලු මධ්‍යයේ වුවද හසන්ලාටත් වඩා කැපවීමෙන් සත්‍යය ලුහුබඳින ආයතනගත වෘත්තීය ජනමාධ්‍යවේදීහු අපට සිටිති. ඒ කියන්නේ හසන් පහළට දැමීමක් නොවේ. ලංකාවේ සමස්තය සහ ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ හැඩය අමතක කර මේ වැඩේ ගැන කතාකිරීම අසාධාරණ බව කියන්නට ය.
යෝජනාව
ප්‍රජා ජනමාධ්‍ය ආයතන වැඩි-වැඩියෙන් බිහිකිරීම අප අපේක්ෂා කරන වෘත්තීයමය තත්ත්වය වෙනුවෙන් අත්‍යවශ්‍ය වේ. දැනුම එකතු කරමින් – තොරතුරු ගවේෂණය කරන්නට නිදහස මෙන්ම කැපවීම අත්‍යවශ්‍ය වන අතර, එවැන්නන් වැඩි-වැඩියෙන් ගොඩනගන ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වේ.
අයවැය විවාදයේ ජනමාධ්‍ය අමාත්‍යංශ විෂයපථය අවස්ථාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පැවසුවේ ජනමාධය වෘත්තියට වටිනාකමක් එකතු කරන වරලත් ආයතනයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවත්, එහි මූලික අදියර සඳහා රුපියල් මිලියන 25ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවත් ය.
ව්‍යාපාරිකයන්ගේ ඉලක්කවලට යන ජනමාධ්‍ය ආයතන වෙනුවට ජනතා ඉලක්කවලට යන ජනමාධ්‍ය ආයතන බිහි කළ හැකි පරිසරයක් ගොඩනැගිය යුතුය. එවැනි තත්ත්වයක් යටතේ ඔබට හසන් පන්නයේ සිය ගණනක් මේ පොළොවේ දැකිය හැකි වනු ඇත.
ශාලික විමලසේන