‘පැපිලියවල ඩෙන්සිල් රාමනායක, පෙරිමියන්කුලමේ සීතා රංජනී, මාගාල්ලේ පත්මාවෝ මහේෂ්වරී……’ යනාදී වශයෙන් මීට දශක හතරකට පහකට පෙර ලංකා ගුවන් විදුලියේ අසන්නන්ගේ ගීත ඉල්ලීම් තීරයෙන් ඇගේ නම මුල්වරට ඇසුණු බව මගේ මතකයේ යාන්තමින් සටහන්ව පවතී. මේ නම් ගම් සමහරවිට මීට වඩා වෙනස් විය හැකිය. ඒ ගැන කමන්න.
එවක පැවති දුෂ්ට අධර්මිෂ්ඨ රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් නොවී ජීවිතය බේරාගැනීම සඳහා 1990 දී පමණ අගනුවරට සංක්‍රමණය වූ අපගේ භද්‍ර යෞවනයේදී ‘යුක්තිය’ පුවත්පතේ ලේඛිකාවක ලෙස ඇය මුල්වරට සජීවීව අපට මුණගැසුණාය.
එසේම අපද සමාරම්භක සාමාජිකයින් වූ ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ’ ප්‍රබල ක්‍රියාකාරිනියක ලෙසත් ‘මව් පෙරමුණ. රිචඩ් – රාජිණී සමරුව’ ආදී හැමතැනදීමත් ‘සීතා රංජනී’, නොඑසේ නම් ‘ආදරණීය සීතක්කා’ ඉන්පසු අපට වරින් වර සම්මුඛ වූවාය.
වික්ටර් අයිවන්, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනන්ද දේශප්‍රිය, සමන් වග ආරච්චි, වරුණ කරුණාතිලක, සුනිලා අබේසේකර, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එස්. ජී. පුංචිහේවා, ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර, ජයදේව උයන්ගොඩ ආදී වශයෙන් වූ නම් පෙළ අතර සීතා කැපී පෙනෙන චරිතයක් විය.
නුවර කලාවියේ ඈත පෙරිමියන්කුලමේ ඉපිද රජරට සේවය හරහා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සහ ගුණදාස කපුගේ වැනි විශිෂ්ටයන්ගේ ඇසුරේ ස්වකීය කලා හා මාධ්‍ය ජීවිතය ඇරඹූ ඇය ‘යුක්තිය’ පුවත්පතට සම්බන්ධ වූයේ කර්තෘ මාණ්ඩලිකයෙක් ලෙසය.
රාජ්‍ය නොවන සංවිධාන හතු නොපිපී තිබූ 90 දශකය මුල චාල්ස් අබේසේකරගේ ප්‍රමුඛත්වයෙන් පවත්වාගෙන ගිය ‘මර්ජ්’ සංවිධානයෙන් එළි දුටු ‘යුක්තිය’ ටැබ්ලොයිඩ් පුවත්පත ඒ වනවිටත් වික්ටර් අයිවන් කර්තෘත්වය දැරූ ‘රාවය’ ටැබ්ලොයිඩ් පුවත්පත මෙන්ම දූෂිත මිනීමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අභියෝගයක් විය.
එසේම ඒ අවදිය වනවිට සුනිල් මාධව ප්‍රේමතිලකගේ ‘අටවෙනි පිටුවෙන්’ පන්නරය ලැබූ අප ඔහු ‘දිවයිනෙන්’ ඉවත්ව ඇරඹූ ‘ලක්මිණ’ ටැබ්ලොයිඩ් පුවත්පතේ ක්‍රියාකාරින්ව සිට ‘හිරු’ සහ ‘ලක්දිව’ හරහා ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් සිදුවන හැමතැනකම පැතිරී සිටියෙමු.
ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර කුරිරු ලෙස ඝාතනය කොට තිබූ අතර රිචඩ් ද සොයිසා ජනමාධ්‍යවේදියා ඇතුළු උතුරේත් දකුණේත් තරුණයින් දස දස් ගණනින් මරා දමා තිබුණි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රේමදාස ජනාධිපති, රන්ජන් විජේරත්න, සිරිසේන කුරේ ආදීන් ඉතා වියරු ලෙස ශ්‍රී ලාංකේය ජනසමාජයට මර්දනය මුදාහැර තිබූ අතර ලලිත් ඇතුලත්මුදලි, ජෙනරල් කොබ්බෑකඩුව ආදීන්ද ඔවුන්ගේ ගොදුරු බවට පත්ව තිබූ අතිශයින්ම චිරස්ථීන යුගයක් විය.
ඒ අතර මහින්ද රාජපක්ෂ, මංගල සමරවීර, ආනන්ද දසනායක, නිමල් සිරිපාල ද සිල්වා, අමරසිරි දොඩංගොඩ, සී.වී. ගුණරත්න, කිංස්ලි ටී. වික්‍රමරත්න, දි.මු. ජයරත්න ආදීන් බොර දියේ මාලු බාමින් චන්ද්‍රිකා කුමාරතුංග හා සිරිමා බණ්ඩාරනායක බලයට ගෙන ඒමට කැසකවමින් සිටියහ.
ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ආදීන් අපේ කඳවුර නියෝජනය කරමින් මේ සමාජ දේශපාලනික තත්වයන්ට මුහුණ දෙමින් සැරිසරමින් සිටියහ.
එවන් අඳුරු දුර්දාන්ත සමයක ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ප්‍රජාතන්තවාදී ලෙස ගොඩනැඟූ එකම සමාජ වේදිකාව වූ ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ වර්ණවත් කළ එකම කාන්තා චරිතය සීතා රංජනී බවද මේ මොහොතේ මෙහිලා සටහන් කළ යුතුව ඇත.
ඒ වනවිටත් ඇය ඈත පෙරිමියන්කුලමේ ගැමි ජීවිතයේ නොඉඳුල් කැඩපතක් බඳු නොඑසේ නම් රජරට වන්නිකරයේ කැලෑවක පිපි වන මලක් බඳු හුරුබුහුටි පත්තරකාරිය වූවාය. නොයෙක් ආකාරයේ කවි ගී පබඳමින් මෙකී ජනසටන පණපෙවූ ඇයගේ අහිංසකකම නිසාම ඇය සමහර අවස්ථාවල මාධ්‍ය වෙස් මුහුණු පැළඳි විවිධ තක්කඩියන්ගේ ග්‍රහණයට පවා හසුවූවාය යන්න මගේ අවංක කල්පනාවයි.
‘සුනිලා අබේසේකර’ නම් මනුෂ්‍යත්වය පිරුණු ක්‍රියාධාරිනිය හැරුණු විට අගනුවර කේන්ද්‍ර කොටගත් කපුටියන් රැලක් බඳු ‘කුල්ටුර් ගැහැණුන්ගේ ප්‍රොජෙක්ට්’ සඳහා එදා සිට ඊයේ පෙරේදා ගිලන් වනතුරුම සීතා ගොදුරු වූ බව බොහෝවිට ඇයද නොදැන සිටි බව මගේ පෞද්ගලික අදහසයි.
එසේ වූයේ බරපතල දේශපාලනික හෝ සමාජ සාක්ෂරතාවක් සීතාට නොතිබු නිසා බවත් ඇය හද්දා පිටිසරින් පැමිණ අහනුවර පය තබාගත් අදූෂිත ගැමි ගැහැනියක නිසා බවත් මගේ අවංක අදහසයි.
මා එසේ සීතා සම්බන්ධයෙන් මෙහි සටහන් කරන්නේ කවර ආකාරයකින්වත් ඇයට අගෞරව කරන්නට නොවෙන බවත් ඇගේ අදූෂිත ගැමි ගැහැණුකමේ අවංකත්වය නිසා මෙසේ සිදුවූ බවත් අපගේ සියලු මිත්‍රයින් වටහා ගනු ඇති බවත් දනිමි.
ගෙවීගිය දශකත්‍රය පුරාම තැන තැන අපි එක මඟක සම්මුඛ වූ බැවින් මම එය හොඳාකාරවම දනිමි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලෙස මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ අභියෝගාත්මක කාලයක කටයුතු කළ අපට සීතක්කා සමඟ අතිශයින්ම සමීපව අදහස් හුවමාරු කර ගත හැකි විය.
සුනිල් ජයසේකර, උදය කළුපතිරණ, සී. දොඩාවත්ත, ලසන්ත රුහුණගේ, ශාන්ත විජේසූරිය, සුජීව, සම්පත් සමරකෝන් වැන්නවුන් මේ බවට ඇසින් දුටු සාක්ෂිය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිනියක ලෙස ස්වකීය අවසාන මොහොත දක්වාම අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ සීතා උතුරේත් දකුණේත් මරා දැමූ ජනමාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු රැස් කොට සංග්‍රහ කිරීමම වුවත් ඇයගේ සමාජ දේශපාලන කැපවීම පිළිබඳ වටහා ගැනීමට ප්‍රමාණවත් බව මගේ කල්පනාවයි.
එසේම සීතක්කා පිළිකා රෝගය සමඟ ඔට්ටුවී ඉන් බොහෝ දුරට ජයග්‍රහණය කළ ශක්තිමත් ගැහැනියක වූවාය.
සීතක්කාටත් ජීවිතය කියාදුන් වඩා ශක්තිමත් ගැහැනියක වූ සුනිලා අබේසේකරද දීර්ග කාලයක් සීතක්කා සේම පිළිකා රෝගය සමඟ සටන් වැද මීට දශකයකට පමණ පෙර අප හැර ගියෙන් සීතා අවසාන කාලයේ තනි ගැහැනියක වූවාය.
ඒ නිසාම සීතාගේ අවංකත්වයත් කටයුතු කෙරෙහි ඇප කැපවීමත් කුල්ටූර් ගැහැනුන්ගේ අත අවභාවිතා වූ බව ඇය සමීපව ඇසුරු කළ ජනමාධ්‍යට සම්බන්ධ බොහෝ දෙනා දනී.
එතෙකුදු වුවත් සීතා රංජනී යනු අනාගතයේ කවර හෝ දිනෙක ‘ජනමාධ්‍ය නිදහස’ වෙනුවෙන් කැපවූ ‘ශ්‍රී ලාංකේය ස්ත්‍රීත්වය’ මූර්තිමත් කෙරෙන චරිත අතර සුනිලා අබේසේකරගේ මුහුණුවර කිට්ටුවෙන්ම සිත්තම් කොට තැබිය යුතු ‘කාන්තා මාධ්‍යවේදිනිය’ බව සඳහන් කරමින් සීතාගේ මළගමට යන අතරතුර අනුරාධපුර බසයකදී කුරුටු ගෑ මේ අසම්පූර්ණ සටහනට කුණ්ඩලිය තබමි.
කුමාර අලගියවන්න
2025.02.18 දින පෙ.ව.11.00 ට පමණ
මතුගම – අනුරාධපුර මගී බස් රියකදීය.